සුන්දර වැනීසියේ පශ්චත්තාපයේ කවුළුව


ආරුක්කු පාලම් මගින් ඇළ දෙපස යාවෙන ජලය මත ගොඩනැගුණු සුන්දර වැනිසියේ සැන් මාර්කෝ චතුරශ්‍රයට නුදුරුව ප්‍රධාන ඇළෙන් වම් පසට උස් ගොඩනැගිලි දෙකක් මැදින් ඇදී යන කුඩා ඇළ මාර්ගය රියෝ දි පලට්සෝ නමින් හැඳින්වේ. මෙම ඇළ මාර්ගය දෙපස ඇති ගොඩනැගිලි දෙක ඇළ මතින් ගොඩනැගුණු මුළුමනින්ම ආවරණයවී මුහුද දෙසට යොමු වූ ලැටිස් කවුළු දෙකක් ගුවන් පාලමකින් යාවී ඇත. මෙම ගුවන් පාලමේ වම්පස ඇති ගොඩනැගිල්ල එවකට වැනිසියේ අධිකරණ ශාලාවයි. දකුණුපස ගොඩනැගිල්ල එවකට සිපිරිගෙයයි. අධිකරණ ශාලාවත් සිපිරිගෙයත් යා කෙරෙන මෙම ගුවන් පාලමේ පිහිටා ඇති ලැටිස් කවුළු දෙකින් කියැවෙන්නේ විශේෂ කතාවකි.   


කිසියම් වරදකට සාධාරණ නීතියක් යටතේ දඬුවම් පැමිණවීමේදී කරුණු දෙකක් කෙරෙහි විශේෂ අවධානය යොමුකෙරේ. පළමුවැන්න නම් වරදකරුට තමන් විසින් කරන ලද වරද පිළිබඳව නැවත මෙනෙහි කර පසුතැවිලි වීමට වාතාවරණය සලසා දීමයි. දෙවැන්න නම් ඉදිරි අනාගතයේදී එම වරදම කිරීමට පෙළෙඹෙන්නන්ට අනතුරු ඇඟවීමක් කිරීමයි.   


එවකට වැනිසියේ අධිකරණ මගින් කිසියම් චෝදනාවකට වරදකරු ලෙස තීන්දු වෙන්නෙකු අධිකරණ ශාලාවේ සිට සිපිරිගෙය වෙත ගෙනගොස් ඇත්තේ ඉහත සඳහන් ගුවන් පාලම මතින්ය. මෙම ගමනේදී වරකරුට ඔහු විසින් කරන ලද වරදට දඬුවම ලෙස අහිමිවෙන නිදහස් ලෝකය මෙම කවුළු දෙකින් පෙන්වූ බවද එම අවස්ථාවේ සිරකරුවෝ කෑගසා හඬා වැළපුණු බවද ජනප්‍රවාදයේ එයි. එම හේතුවෙන් මෙම කවුළුවට පශ්චත්තාපයේ කවුළුව යන නම ලැබී අැත.   


ඡායාරූපයෙන් පෙනෙන්නේ පශ්චත්තාපයේ කවුළුව සහ එම කවුළුවේ ඇති ගුවන් පාලමයි.   


යටියන   
ක්ලැරන්ස් කොස්තා   
ෂෙසානෝ රෝමය, ඉතාලිය.