සුද්ද වගේ සුුද්දා සොයා යන ගමනක තාවකාලික සටහන


මා කොළු කාලයේ වයෝවෘද්ධ කෙනකුන් අප පවුලේ හිතවතකුව සිටියේ ය. ඔහු බොහෝ කලකට පෙර ලංකා ගුවන් හමුදාව එදා රාජකීය ගුවන් හමුදාව (රෝයල් එයා ෆෝස්) ලෙස තිබියදී එහි සේවය කළ නිලධාරියෙකි. කලක් ඒ යටතේ එංගලන්තයේ ද සේවය කර තිබුණි. ඔහු ඇන්දේ පැළැන්දේ ද කෑවේ බිව්වේ ද සුද්දකු මෙනි. හැම් බේකන් චීස් බටර් ආහාරයට නැතිවම බැරි විය. මහළු වුව ද ටයි කෝට් තොප්පි දමා ජැණ්ඩියට ඇන්දේය.   


කොටින් ම ඔහු කළු සුද්දකු විය. ඔහුට ලංකාවේ කිසිම දෙයක් ඇල්ලූවේ නැත. ‘‘දෝස් වර් ද ගෝල්ඩන් ඩේස්’’ (ඒව තමයි රංත්තරං දවස්) ඔහු සුද්දාගේ කාලය පිළිබඳව කීවේ, මේඝයක් බඳු සුසුමක් ද පිටකරමින් ය. එදා ඔහුගේ වචනය පරිදි ඒ සුද්දාට අයුක්තිය පේන්න බැරිය. නීතිය අකුරට ම ය. නිර්ලෝභී ය. පරිත්‍යාගශීලී ය. අත දිගහැර වියදමට ‘‘ලෝස්’’ නැත. පිරිසිදුකමේ ප‍්‍රතිමූර්තියකි. ‘‘කරතොත් කරපන් හරියට නැත්නම් බැහැපන් එළියට’’ ඒ සුද්දාගේ නීතිය විය. මෙලෙස කීවෝ කෙරුවෝ එදා පමණක් නොව අද ද වෙති. මේ අනුව සුද්දා මාර බඩුවක් ය.   


අද අප රටේ යුක්තිය සාධාරණත්වය බෙහෙතකටවත් සොයාගැනීමට නැත. නීතිය බල්ලාට ගොසින් ය. මිනිස්කම වල් වැදිලා ය. කෙළින්ම සිතට එන්නේ සුද්දා ය. ඔහු හඳුනාගත යුතුය. රැකගත යුතුය. මෙවන් වාතාවරණයක් යටතේ සුද්දා සොයා යාමට සිත් විය. දැන් ඒ කාර්යය අසීරු නැත. මුළු ලොවම එකම ගමනක්ව තිබියදී අපේ ඔත්තුකාරයෝ ලොව පුරාමය. නව තාක්ෂණයට පිංසිදුවෙන්නට අද එක තත්පරයෙන් මුළු ලෝකෙ පුරාම සිටින සුද්දා ගැන තොරතුරු සොයාගත හැකි ය.   


එදා සුද්දා යයි කීවේ ඉංග‍්‍රීසිකාරයාට ය. එහෙත් අද ඉංග‍්‍රීසි ප‍්‍රංශ ඉතාලි ජර්මන් සියල්ලෝ ම සුද්දෝ ය. සුද්දා ගැන මුල්ම තොරතුර ලෙස ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ මගේ මිතුරකු කීවේ, අද සුද්දා කුණු පෙරේතයකු බව ය.   


ප‍්‍රංශයේ මිතුරාට කතා කිරීමටවත් ඉඩක් දුන්නේ නැත. එදා උදෑසන ඔහුගේ පුද්ගල හැඳුනුම්පත සමග මුදල් පසුම්බියට සුද්දෙකු විදලා ය. එංගලන්තයේ මිතුරකුට කතාකරන විට, පදික මාරු මංතීරුවකදී සුද්දකු විසින් වාහනයට යටකර රෝහල්ගතව සිටින තම මිතුරකු බැලීමට ඔහු යමින් සිටියේ ය. එංගලන්තයේ සිට ඉතාලියට ගුවන් මගින් පැමිණි තව කෙනකුගේ ගමන් මල්ල ගුවන් තොටුපොළේදීම අතුරුදන්ව තිබුණි. කැලිෆෝනියාවේ මාර්ග වර්ණ සංඥා එළි ඉදිරිපිට නවතා තිබුණු ශ‍්‍රී ලංකිකයකුගේ වාහනය හප්පා අලාභහානි සිදුකර පළාගොස් තිබුණේ ඇමෙරිකානු කාන්තාවකි. පඩි නැතුව සුද්දාට විරුද්ධව නඩු දැමූ අපේ අය යුරෝපයේ එමට ය. මාර වැඩකි ! සුද්දා වගෙ සුද්දො දැන් උන්ගේ මව්බිමේවත් නැත.   


සුද්ද වගෙ සුද්දා සොයා ඉදිරියට යාම නවතා මඳක් ආපස්සට ගියෙමි. තිස් වසරක් තිස්සේ අප රට රුධිරයෙන් නහවමින් භීතිය වැපුරූ බෙදුම්වාදී ත‍්‍රස්තවාදය අතුගා දමා සාමය ස්ථාපිත කිරීම සුද්දාට ඇල්ලූවේ ම නැත. තවමත් ලෙඩ ඒකය. ඉරාකයට පහරදීම සාධාරණීකරණය කිරීමට සුද්දා කීවේ සදාම් හුසේන් සතුව රසායණික අවි ඇති බව ය. එහෙත් මෙදා වෙන තුරුම එවැන්නක් සොයාගෙන නැත. අර එදා සුද්ද වගෙ කිවූ සුද්දා මේ දිනවල ද සිට නැත.   


මම සුද්ද වගේ සුද්දා සොයා තවත් අතීතයට යමි. අපේ කෞතුක වස්තුවලින් එංගලන්තයේ කෞතුකාගාර පිරිලා ය. ආරක්ෂා සහිතව මේ ප‍්‍රදර්ශනය කරන්නේ හොර බඩු ය. සුද්දා එදා ද ‘‘සුද්ද වගෙ සුද්දා වගේ’’ කියමින් යහමින් සුද්ධපාර දී ඇත. නැත්නම් මේ බඩු මෙතැන තිබෙන්නට බැරිය.   


සොයාගත් තොරතුරු අනුව සුද්ද වගේ සුද්දා දැන් නැත. ඌ මියගියා වෙන්නට ද බැරි නැත. දැන් සෙවීමට සිදුව ඇත්තේ සුද්ද වගේ සුද්දාගේ සොහොන් කොත ය. එකවරම මට තවත් දෙයක් සිහිවිය. ඒ 1848 දී සුද්දා සමග ඇතිකරගත් උඩරට ගිවිසුම ය. ඉංග‍්‍රීසීන් හා සිංහලයන් අතර අත්සන් කරන්නට යෙදුණු එම ගිවිසුමේ ඉංග‍්‍රීසි පිටපතේ වූ අපට අවාසි වෙන ඇතැම් වගන්තියක්, සිංහල පිටපතේ තිබී නැත. සුද්දා එදා ද අපව අන්දා ඇත. එදා බොහෝ දෙනකු කිවූ සුද්ද වගේ සුද්දා කවදා හෝ සිටියා දැයි දැන්නම් සැකයකි. එදා සිටම සුද්දා කළේ අපව ඇන්දීම බව අවසන් වශයෙන් සටහන් කිරීමට සිදුව ඇත.   


රංජිත් කොස්තා   
රෝමය,