සිරා අතින් මැරුම් කෑ හේමා යළි ඉපදුණු හැටි


දිනය හරියටම 1977 නොවැම්බර් 29 වැනිදාය. එදින දහසක් දෙනා ඉදිරියේ තවත් අයෙකු සමඟ සිදුවූ බහින්බස්වීමකදී වැදුණු වෙඩි පහරකින් ඔහු මියගියේය. නමුත් එය සැබැවින්ම නොවේ. ඔහු මියගියේ හොරණ රංගන නාට්‍ය උළෙලට ඉදිරිපත් කර තිබූ “සිරා සහ තුවක්කුව” නාට්‍යයේ මහජන දර්ශනයේදීය.  


සිය රඟපෑමටත්, කතා රචනයටත් සම්මාන ලැබූ හේමා කටුකුරුන්ද අපේ කතාවේ කථා නායකයාය. ඇත්ත වශයෙන්ම ඔහු ලංකාවේ හිටියා නම් එය සිදුවන්නට ද ඉඩ තිබුණි. දෛවයෝගයකින්ද නැතිනම් වෙනත් බලයකින්ද නොදනී. කෙසේ හෝ ඔහුට රට ගැන ඇතිවුණ කලකිරීම නිසා මව්බිම අතහැර දමා ගියේය. එයට මුල්ම හේතුව වූයේ තමා විසින් නිර්මාණය කර රටට කියන්න ගිය පණිවුඩය කියා ගන්න බැරිවීම ගැනය. “සිරා සහ තුවක්කුව” නමැති එම නාට්‍ය ජනප්‍රිය වීගෙන එන අවස්ථාවේදී (1978දී) රැගුම් පාලක මණ්ඩලය මගින් එය තහනම් කරන ලද්දේ එවකට රටේ තිබුණු වාතාවරණයත් තමා විසින් එම නාට්‍ය හඳුන්වාදීමේදී ලියන ලද කවි පද දෙකක් නිසාය.  


“සිහින සිතුම් එළිදකිමින් අද උපදින පුතේ   

ජීවත් වෙන්නට ඔබහට හෙට දවසක් ඇතේ/නැතේ” 


මීට දශක 4කට පෙර එය ලියවුණත් ඊට වඩා යමක් ඒ ගැන ඔහු කතා කළේ නැත. නමුත් පසුගිය වසරේ ඔහු විසින් එළිදක්වන ලද ඔහුගේ කවි සහ ගීත ඇතුළත් “පන්හිඳයි මමයි” නිර්මාණ පොතේ එම කියමන නැවත රටට මතක් කර දී ඇත.  


එවකට විවාහ වී සිටි ඔහු තම බිරිඳව ද තනිකර දමා මව් රටින් පිටවීමට තීරණයක් ගත්තේය. සුන්දර ප්‍රංශ රටේ තනිවූ විට ජීවිතයේ තනිකම දැනෙන්න පටන් ගත්තේ සයුරෙන් එතෙර වූ පසුවය.  


ඒ තනිකම මකා ගන්න වේදනාව කියන්න පාළුව මකන්න තම කමිස සාක්කුවේ හදවත ළඟම ගැටෙන පන්හිඳ ඔහුට තවත් ළං විය. නිතර හිතට වද දෙන නොයෙකුත් සිතුවිලි ගොනු කර පදවැල් ලියන්න පටන් ගත්තේය. සමහර පදවැල් තමන්ට හිසරදයක් විය. එසේම තවත් පදවැල් සතුට ආදරය කරුණාව වැඩි කළේය.  


එසේ ලියන ලද කඩදාසි කැබලිවලින් සාක්කු පිරී ගියේය. මේ අතර සමහර නිර්මාණ පුවත්පත්වලට යොමු කළත් කිසිම දිනෙක පළ නොවුණ බව ඔහුගේ “පන්හිඳයි මමයි” පොතේ මතක් කර දී ඇත. එහෙත් අහඹුවෙන් මෙන් වරක් ඔහුගේ නිර්මාණයක් පුවත්පතක පළවී තිබෙන බව ඔහුට දැනගන්න ලැබෙන්නේ මිතුරෙකුගෙනි. එතෙක් කල් ගුවන් බලපත්‍රයේ තිබෙන හේමරත්න නාමය වෙනස් වී හේමා කටුකුරුන්ද නමින් නිර්මාණ පුවත්පත්වල පළවිය.  


දශක දෙකක් පුරා (1995-2015) ඉරිදා ලංකාදීප, ලක්බිම, සිළුමිණ, සරසවිය වැනි ප්‍රධාන පුවත්පත්වල පළවූ නිර්මාණ 200ක් පමණ ඇතුළත් විය. වරක් කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණි අවස්ථාවක තම හිතවත් මිත්‍රයකු වූ දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයකු වූ වික්ටර් දළුගම මහතා එම නිර්මාණ ඇගයීමකට ලක් කළේය. ඒ අනුව ඔහු අතින් ලියවුණු පදවැලක් තෝරාගෙන තනුවක් හදා සංගීතය මුසු කර ගීතයක් ලෙස ගායනා කරන්න සියල්ල සූදානම් කර තිබියදී එදින එම ගායකයා සහභාගි නොවීය. නමුත් අවසානයේදී එදින බො​ෙහා් දෙනකුගේ ඉල්ලීම පිට වික්ටර් දළුගම මහතාටම ගීතය ගායනා කරන්න සිදුවිය.  


වික්ටර් දළුගම මහතා එම සංගීත දිවියේදී ගැයූ එකම ගීතය YouTube ඔස්සේ රෑප රාමු සහිතව “දෑස අඳ වී මේ පියාගේ” නමින් ඇත. හේමා ඉන් පසු ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් වන අයිවෝ ඩෙනිස්, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, චන්ද්‍රානි ගුණවර්ධන වැනි අයට ගීත ලියා ඔහුගේ නිර්මාණ ලෙස එක් රැස් කළේය. ඊට අමතරව “පන්හිඳයි මමයි” ගීත සහ කාව්‍යය සංග්‍රහයේ ගීත රැසක් මෑතකදී රෝහණ බෝගොඩ මහතාගේ තනු සහ සංගීතය අනුව ඉෂාක් බෙග්, ප්‍රියංකර පෙරේරා, පුන්සිරි සොයිසා, රෝහණ බෝගොඩ, සමිතා මුදුන්කොටුව වැනි අය ගායනා කළෝය. එම ගීත අතරින් ප්‍රියංකර පෙරේරා යුරෝපයේ කළ සංගීත වැඩසටහන්වලින් ඔහුගේ නවතම ගීතය “රහසක් තියනවා සවනට කියන්න” ගායනා කළේය.  


ප්‍රංශයේ මීගමු සංවිධානය මගින් රහසේම සංවිධානය කර එම ගීතයේ පද රචකයා වන හේමා කටුකුරුන්දව වේදිකාවට ගෙන්වා මේ නිහඬ පද රචකයාව නරඹන්නන්ට හඳුන්වා දී ඊට අමතරව ඔහුගේ මේ නිර්මාණ ඇගයීමට ලක්කර එදින ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිතුමා අතින් ඔහු වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරමින් ගායකයාත්, පද රචකයාත් සැතපුම් දහස් ගණනක් ඈතදී එකම වේදිකාවක හමුවීමක් කරා නව යුගයකට යෑමට තානාපතිතුමා සහ ප්‍රියංකර පෙරේරා මහතා වේදිකාව මතදීම සුබ පැතීම බලා සිටි අයට අදහාගත නොහැකිව අමන්දානන්දයට පත්වූහ.  


තමා උපන් බිමේදී වේදිකාව මත “සිරා” අතින් මියගිය තමාට නැවත පණ දී ගෞරව උපහාරයට ලක්කර තවත් යුගයකට යන්නට ආශිර්වාද කළ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිතුමා ඇතුළු ප්‍රංශයේ මීගමුව සංවිධානය සහ එදින පැමිණ සිටි සංගීත ශිල්පීන්ට සහ නරඹන්නන්ටත් ඔහු ස්තුති කළේය. අවසන් වශයෙන් ඔහුගේ ඊළඟ බලාපොරොත්තුව තමා විසින් ලියන ලද ගීත ගායනා කළ ගායක ගායිකාවන් සමඟ ශ්‍රී ලංකාවේ එකම වේදිකාවක් මගින් තවත් රහසක් කියන්නය. ඒ රහස ඔහු මටත් නොකියන්න වගබලා ගත්තේය.

 

 

 

 


සටහන - පැරීසියේ ප්‍රසන්න