සිනෙමාවේ අලූත්ම විප්ලවය ජංගම දුරකථන යොදාගනිමින් කරන ලද්දක්


රෝහකයකු පිටමත තබාගෙන දිවයන අශ්වයකුගේ ඉරියව් ක‍්‍රමාන්විතව එකිනෙකට වෙනස් අයුරින් එකම ප‍්‍රමාණයෙන් එක පිටුවක එක බැගින් තබන ලද සටහන් සමූහයක පිටු, වේගයෙන් පෙරළීමෙන් 1873 දී එඩ්වර්ඩ් මෙයිබි‍්‍රජ් විසින් මවන ලද චලන චිත‍්‍ර දෘෂ්ඨි ප‍්‍රයෝගය සිනමාවේ ආරම්භය ලෙස ඇතැමුන් සලකති. එහෙත් අද පවත්නා කර්මාන්ත සිනෙමාවේ සැබෑ ආරම්භය ලෙස පිළිගත හැක්කේ, 1891 දී ලූමියර් සහෝදරයන් විසින් මිලීමීටර් තිස්පහේ දළසේයා පටයක් (සැලොලොයිඩ් පටයක්) මත කළු සුදු වර්ණයෙන් ඡායාරූප ගතකරන ලද රූප පෙළ, අඳුරු ශාලාවක ප‍්‍රක්ෂේපන යන්ත‍්‍රයක ආලෝකය මගින් සුදු තිරයක් මත පරාවර්ථනය කිරීමෙන් ඇරඹි සිනෙමාවයි. 


මෙසේ ඇරඹි සිනෙමාව කාලයත් සමගම වර්ණ, පුළුල් තිර හා වටතිර ලෙස ද පරිනාමය වී, මේ වෙන විට ඩිජිටල් තාක්ෂණයේ උපරිම පළ නෙළාගනිමින් ඇත. රූ පටිගත කිරීම යන වචනය අද සිනෙමාවට නොගැළපෙන වචනයක් වී ඇත. අද සිදුවෙන්නේ රූගත කිරීම ය. නව තාක්ෂණය අනුව චිත‍්‍රපටයක රූප පෙළ එදා මෙන් දළ සේයාපටයක සටහන් වෙන්නේ නැත. සැලොලොයිඩ් දළ සේයා පටය අද කෞතුක වස්තුවක් බවට පත්ව ඇත. බොබිනයක එතුණු සිනෙමා රූප අඩංගු පටය දැනටමත් අභාවයට යමින් ඇති බැවින්, ‘‘චිත‍්‍රපටය’’ නම වෙනුවට වෙනත් නමක් යොදාගැනීමට ද අපට අනාගතයේ දී සිදුවෙනු ඇත. 


පසුගිය දා ජර්මනියේ පැවති බර්ලින් සිනෙමා උළෙලේදී තරගකාරී අංශයෙන් බැහැරව තිරගතවූ "UNSANE" (අනවසරයෙන්) නම්වූ පැය එකයි විනාඩි තිස්අටක් පුරා දිවෙන චිත‍්‍රපටය, සිනෙමාවේ අලුත්ම විප්ලවය ලෙස සිනෙමා විචාරකයෝ හඳුන්වති. ඔස්කාර් සම්මානයට පාත‍්‍රවූ ‘‘ට‍්‍රැෆික්’’ නම් වූ චිත‍්‍රපටය නිපදවූ ඇමෙරිකානු චිත‍්‍රපට අධ්‍යක්ෂක ස්ටීවන් සොඩබර්ග් විසින් නිපදවා ඇති මෙම භීෂණමය චිත‍්‍රපටය, මුළුමනින්ම ජංගම දුරකථන (IPHONE) තුනක් යොදාගනිමින් නිෂ්පාදනය කරන ලද්දකි. රූගතකිරීම, හඬකැවීම මෙන්ම චිත‍්‍රපටය සංස්කරණය ද කර ඇත්තේ ජංගම දුරකථන පමණක් උපයෝගී කරගනිමින් ය. 


අන්සේන් චිත‍්‍රපටය සිනෙමාවේ අලුත්ම විප්ලවය ලෙස සැලකුණ ද, එය තුට්ටු දෙකෙන් කරන ලද චිත‍්‍රපටයක් බව කියන්නේ එහි අධ්‍යක්ෂක ස්ටීවන් සොඩබර්ග් ම ය. මෙම චිත‍්‍රපටය ලද විචාරක පැසසුම්වලින් උද්දාමයට පත් අධ්‍යක්ෂකවරයා පවසන්නේ, තමන්ගේ මීළග චිත‍්‍රපටය ද මෙම තාක්ෂණයෙන් ම නිපදවන බව ය. 


අන්සේන් චිත‍්‍රපටයේ දර්ශනයක් ඡායාරූපයෙන් දැක්වේ. 

 

 


චාපි කෝසලා.
මියුනිච්, ජර්මනිය.