ස්වීඩනයේ ස්ටොක්හෝම් විහාරයේ කඨින පූජොත්සවය


 

 

වසරකට එක් වරක් පමණක් බෞද්ධ පින්වතුන් ජීවිතේ තමන් කරගන්නා උතුම් කුසල් රැස් කර ගත හැකි කඨින චීවර පූජාවන් පවත්වන මෙම පින්බර මාසයේ යුරෝපයේ ද සෑම විහාරස්ථානයකම ​අපේ ගරුතර මහා සංඝරත්නය මෙම උතුම් කටයුත්තට සහභාගි වෙන අන්දම දකින්නට ඇත.  


ඒ අනුව ස්වීඩනයේ ස්ටොක්හෝම් බෞද්ධ විහාරයේ කඨින පූජා මහෝත්සවය නොවැම්බර් මස දාහත්වැනි සෙනසුරාදා රාත්‍රී මහා පිරිත් දේශනයක් ද, දහඅට වැනි ඉරිදා දවස පුරා කඨින චීවර පූජා මහෝත්සවයේ කටයුතු ස්ටොක්​හෝම් විහාරාධිපති ස්කැනේඩිනේවියානු රටවල ප්‍රධාන සංඝනායක කිරිඳිගල්ලේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉතාමත් අලංකාර ලෙස සිදු කළහ.  


එයට ස්ටොක්හෝම් බෞද්ධ විහාරයේ විහාරාධිපති ස්කැන්ඩිනේවියානු රටවල ප්‍රධාන සංඝනායක කිරිඳිගල්ලේ ධම්මරතන නාහිමි ඇතුළු කොපන්හේගන් බෞද්ධ විහාරාධිපති මාරතුගොඩ උපරතන හිමි, ඔස්ලෝ බෞද්ධ විහාරාධිපති මාරතුගොඩ මණිරතන හිමි, ආචාර්ය දේදුණුපිටියේ උපනන්දු හිමි, ඩෙන්මාර්ක් ජාතික සමාහිත හිමි, මැදගම පන්නරතන හිමි, කුඹුරුවෙල සීලානන්ද හිමි, මාදිපොල විමලජෝති හිමි, පඬුවස්නුවර චන්දානන්ද හිමි, මාතලේ ධම්මක්ඛන්ධ හිමි, යූ සෝභන හිමි, අශේන් සුනන්දාලංකාර හිමි යන ස්වාමින් වහන්සේලා දොළොස් නමක් මෙම උතුම් මහා පූජෝත්සවයට සහභාගි වීම පින්බර දසුනක් විය.  


මෙම මහඟු අවස්ථාවට ස්වීඩනයේ ශ්‍රී ලංකා වැඩබලන තානාපති හර්ෂ විතානආරච්චි මහතා සහ එම මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා ද, කාර්යමණ්ඩලයේ කීපදෙනෙක් ද සහභාගි වී සිටියහ. ඉතාමත් අලංකාරව නිර්මාණය කරන ලද සේසත්, කොඩි, නැටුම් ආදිය ඇතුළත් පෙරහරකින් කඨින චීවරය සැදැහැවත් පින්වතුන්ගේ සාදු හඬ මැද මනරම් සුවඳ මල් අතුරන ලද මල් අසුන මත කඨින චීවරය තැන්පත් කෙරිණි.  


ඉන් අනතුරුව අමාමෑණී බුදු පියාණන් වහන්සේට සම්බුදු බුද්ධ පූජාව පවත්වා මහා සංඝරත්නයට දහවල් දානය පිළිගැන්වූ අතර, තුන්සියයකට අධික බෞද්ධයින් පිරිසක් ද සහභාගි වී සිටියහ. මෙවර කඨින චීවර පූජෝත්සවයේ ප්‍රධාන දායකත්වය අැඩ්ලින් නෝනා වන්නිආරච්චි ඇතුළු දරු මුණුපුරන් විසිනි.  


වස් තුන් මාසය පුරාවට ස්වීඩනයේ ස්ටොක්හෝම් බෞද්ධ විහාරාධිපති කිරිඳිගල්ලේ ධම්මරතන නායකස්වාමින් වහන්සේගේ අනුශාසනා මැද දායක පින්වතුන්ගේ උත්සාහයෙන් කැපවීමෙන් අලංකාර ලෙස කඨින මහෝත්සවය සිදු කරන්නට හැකිවීම එතෙර රටක සිටියද ශ්‍රී ලාංකික බෞද්ධ පින්වතුන් වන අප ලත් භාග්‍යයකි.  

 


නිශාද් නිවන්තක ඉමදුවගේ  
ස්වීඩන්.