ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා පෙබරවාරියේ අබුඩාබි සංචාරයක


 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මොහමඩ් බින් සයිඩ් අල් නායන් සුල්තාන්වරයාගේ විශේෂ ආරාධනයක් පරිදි, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ ලබන වසරේ පෙබරවාරි මස තුන්වැනිදා සිට පස්වැනිදා දක්වා අබුඩාබියේ සංචාරයක යෙදෙන බව වතිකානය ප්‍රකාශ කරයි. පාප්තුමාගේ මෙම සංචාරය පිළිබඳව අල් අරාබියා ප්‍රවෘත්ති සේවය ද විශාල ප්‍රචාරයක් දී ඇත. 


ෆ්‍රැන්සිස් පාප්තුමන්ට එමීර් සුල්තාන්වරයාගෙන් උක්ත ආරාධනය ලැබී ඇත්තේ ලබන වසරේ පෙබරවාරි මස පැවැත්වෙන ජගත් සමයාන්තර සුසංගම සතිය නිමිත්තෙන් අබුඩාබියේ පැවැත්වෙන මහා සමුළුවට ය. දෙදහස් දහනවය වසරේ පෙබරවාරි මස මුල් සතිය ජගත් සමයාන්තර සුසංගම සතිය ලෙස එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත්කරන ලද්දේ 2010 වසරේ දී ය. 


ස්ලාමීය අන්තවාදයෙන් මිදී, තමන් උපතින් ම අයත්වෙන ආගම ඇදහීමේ පූර්ණ නිදහස හිමිවෙන අරාබි රටවල් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍ය ප්‍රධාන ය. මෙහි ජනගහණයෙන් සියයට හැත්තෑවක ප්‍රතිශතයක් ස්ලාමීය භක්තිකයන් වන අතර, කතෝලිකයෝ සියයට දොළහක ප්‍රතිශතයක් පමණි. මෙය සංඛ්‍යාත්මකව ලක්ෂ හතකි. මේ මුළු කතෝලික පිරිස ම විවිධ රැකියාවන් සඳහා විදේශයන්හි සිට එමීර් රාජ්‍ය වෙත සංක්‍රමණය වූවෝ වෙති. මොවුන්ගෙන් බහුතරය පිලිපීන ජාතිකයෝ ය. මෙම කතෝලිකයන්ගේ ආගමික පහසුව තකා එමීර් රාජ්‍ය තුළ මීසම් හතක් යටතේ දේවස්ථාන කීපයක් සංවිධානය වී ඇත. ඉරිදා දිනය වෙනුවට මෙම දේවස්ථානවල කතෝලික ආගමික මෙහෙයයන් සිදුවෙන්නේ ස්ලාමීය රටවල සතියේ නිවාඩු දිනය වෙන සිකුරාදා දිනයේ ය. පාප්තුමාගේ අබුඩාබි සංචාරය ජගත් සමයාන්තර සම්බන්ධතාවයේ දැවැන්ත ඉදිරි පියවරක් ලෙස සැලකේ. 


ලෝක ත්‍රස්තවාදී ක්‍රියා දර්ශකයේ ලයිස්තුගත රටවල් එකසිය තිහ අතරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හිමිවෙන්නේ එකසිය දොළොස්වැනි තැන ය. මුස්ලිම් සහෝදරයන් සොයා යන මෙම සංචාරය පිළිබඳව ශුද්ධෝත්තම පාප්තුමෝ ද දැඩි උනන්දුවකින් පසුවෙන බව ද වතිකාන වාර්තා වැඩිදුරටත් කියයි. 


යටියන 
ක්ලැරන්ස් කොස්තා 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.