ශ්‍රී ලංකා තානාපතිතුමන්ගෙන් සෞදියේ ලාංකිකයන්ට ඔවදනක්


සෞදි අරාබියේ නැගෙනහිර පළාත TWAB (Together We are Better) සැවොම එකතුවෙමු තේමාව කරගත් ශ‍්‍රී ලාංකික සංසදයක් මගින් සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ සුහද හමුවක් පසුගිය සිකුරාදා සන්ධ්‍යා භාගයේදී දමාම් අල් ෆයිසාලියා ප‍්‍රදේශයේදී පැවැත්විණ 


පසුගිය වකවානුවේදී ශ‍්‍රී ලංකාවේ උද්ගතවූ කරුණු කාරණා පදනම් කර ගනිමින් පැවැත්වූ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මගින් ශ‍්‍රී ලංකාවේ සියලු ජාතීන් එකට අත්වැල් බැඳ ගනිමින් රටේ ඉදිරි සංවර්ධන කටයුතුත් ජාතීන් අතර සමගිය සමාදානය, සහජීවනය සඳහා ශ‍්‍රී ලාංකිකයින් වන අප එකාමෙන් ඉදිරිපත් විය යුතු කාලය එළඹ ඇති බව අදහස් දක්වමින් දේශනා පැවැත්වූ විද්වතුන්ගේ අදහස විය. 


මෙම සුහද හමුව සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගිවූ සෞදි අරාබියේ ශ‍්‍රී ලංකා තානාපති මොහොමඩ් අසමි තාසිම් මහතා පැවසුවේ ඉතා දිගු ඉතිහාසයකින් සමන්විත ශ‍්‍රී ලාංකික ජන සමාජයේ සියලු ජනවර්ගවල ශ‍්‍රී ලාංකික අනන්‍යතාව ඉදිරියටත් රැකගත යුතු බවත් ජාතීන් අතර සමගිය සහ සහෝදරත්වය ගිලිහී යාම මගින් ශ‍්‍රී ලංකාවේ කීර්තිනාමයට හානි සිදුවීම එක ජනවර්ගයකට පමණක් නොව සියලු ජනවර්ගවලට එය බලපාන බවත්, විශේෂයෙන්ම සංහිඳියාව ගෙන එ්ම සඳහා කිසිදු භේදයකින් තොරව එකා මෙන් අත්වැල් බඳ ගත යුතු බවද අවධාරණය කරන ලදී. 


ඉතා සුළු අන්තවාදී පිරිසක් විසින් සිදුකරන මෙම ජාතිවාදී ස්වරූපයක් උසුලන විනාශකාරී ක‍්‍රියාමාර්ග නැවත්වීම සඳහා මනා දැනුවත් භාවයකින් ක‍්‍රියා කළ යුතු බවත් ශ‍්‍රී ලංකාවාසී සියලු පුරවැසියන් භාෂාවකින් ජනවර්ගයකින් ආගමකින් නොබෙදී එකම ජාතියක් ලෙස සාමයෙන් සහජීවනයෙන් ඉදිරියටත් පෙළගැසිය යුතු බවත් තානාපති තැන්පත් අසමි තාසිම් මහතා පවසන ලදී. 


දමාම් ශ‍්‍රී ලංකා රෙස්ටුරන්ට් අධිපති රොෂාන් තවුෆික් මහතා ඇතුළු කිහිප දෙනෙක් තම අදහස් ඉදිරිපත් කළහ. 

 

 

 


ලලිත් පේ‍්‍රමලාල් 
සෞදි අරාබිය