වැලි කතරේ කඳුළු


පෑන හුරුයි හොඳ හොඳ කවි ලියන්නට   
රස පද ගොතනවා මා විටින් විට   
සෞදි ඇවිත් අවුරුද්දක් ගෙවුනු විට   
රට ගැන දන්නවා හොඳ හැටි ලියන්නට   
 
හොඳ හොඳ සැප ඇති බවයි ඒජන්සිය කීයේ   
සිහින මවා අපි හනිකට මෙහි ආයේ   
යකඩ ඇඳයි සිර කුටියයි හිමි වූයේ   
මෙහි ආ විටයි අප හට තරු විසි වූයේ   
 
එන්න කලින් දඟලනවා මෙහි එන්න   
ආපු කලට සිහිවෙනවා යළි යන්න   
කණුවේ බැන්ඳ ​ගොනාට සිදු වුණු දේ ඔන්න   
අපටත් උනා ඒ දේ දෙවියනි මෙන්න   
 
රස්නය කලට ඇඟ මස් ලේ විය​ෙළනවා
සීතල ආ කලට දත කට වෙව්ලනවා
දූවිලි කුණාටුත් හරි හරියට එනවා
මේකත් රටක්දෝ කියලා සිහිවෙනවා
 
හට්ටි මුට්ටි රෙදි පොට්ටනි අතින් ගෙන   
මාසෙට දෙතුන් සැරයක් යළි තැනින් තැන   
කරපු පවක් දෝ මේ පඩිසන් දුන්න   
අහිගුණ්ඨකයෝ වාගෙයි හරියට ඔන්න
 
වැඩට ගියත් නෑ හිසරද අඩුවෙන්​නේ   
‘‘විලා’’ ගියත් නෑ කරදර නැති වෙන්නේ   
බතක් උයා ගන්නයි කුස්සියෙ පොර කන්නේ   
වැසිකිළි යන්න අපි පෝලිමේ තෙර පෙනේනේ  
 
කියවන සැමදෙනා මෙය සිහියට ගන්න   
එන්න කලින් මේ දේවල් දැන ගන්න   
ආවට පස්සේ කඳුළැලි එපා වගුරන්න   
සෞදි එනවනම් දෙවරක් සිතලා එන්න 
 
දොඩන්දුවේ 
පී.ඩබ්. මහේෂ් ජයතුංග ද සිල්වා   
සෞදි අරාබිය යම්බො නගරයේ සිට