ලෙනාඩෝ ඩා වින්චිගේ අවසන් සිතුවම විකුණූ මුදලින් ගුවන් යානා හයක් ගන්නට පුළුවන් !


ඉතාලියේ විසූ ලෙනාඩෝ ඩා වින්චි විසින් සිතුවම් කරන ලද අවසන් චිත‍්‍රය ලෙස සැලකෙන සෙන්ටි මීටර් 45 ක් පළල සෙන්ටි මීටර් 66 ක් උසැති ‘‘ලෝකයේ ගැලවුම්කරු’’ නමින් අඳින ලද ජේසු තුමාගේ උඩුකය චිත‍්‍රය, නොවැම්බර් මස 15 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝක් හි ක‍්‍රිස්ටීස් වෙන්දේසියේදී චිත‍්‍රයක් සඳහා මෙතෙක් සටහන් නොවූ වාර්තාගත විකුණුම් මිලක් සටහන් කරමින් ඇමෙරිකානු ඩොලර් මිලියන හාරසිය පනහකට විකිණී ගියේය. චිත‍්‍රයේ ශුද්ධ විකුණුම් මිල ඇමෙරිකානු ඩොලර් මිලියන හාරසියයක් වෙන අතර, ඉතිරිය වෙන්දේසි ආයතන කොමිස් මුදල හා බදු මුදල් ය.   


ඩා වින්චිගේ චිත‍්‍රයේ ගැනුම්කරු තවමත් නිර්නාමික ය. මෙතෙක් ඉහළම මිලට විකිණී ඇති චිත‍්‍ර‍්‍ර ලෙස 2012 වසරේදී ‘‘සූදුකරුවෝ” නම් චිත‍්‍රය ඇමෙරිකානු ඩොලර් මිලියන 250 කට කටාර්හි සුල්තාන්වරයා විසින් මිලට ගෙන ඇත. 2015 වසරේදී ගොගේන් ගේ චිත‍්‍රයක් කටාර් කෞතුකාගාර දෙපාර්තමේන්තුව විසින් ඩොලර් මිලියන 300 කට මිලට ගෙන ඇත. මේ අනුව යමින් ලෙනාඩෝ ඩා වින්චිගේ ලොව ගැලවුම්කරු චිත‍්‍රය ද මැදපෙරදිග අරාබි සුල්තාන්වරයකු විසින් මිලට ගන්නට ඇතැයි සැක කරති.   


ලෙනාඩෝ ඩා වින්චි විසින් රදළයකුගේ ඉල්ලීම මත 1490 දී පමණ අඳින්නට ඇතැයි අනුමාන කෙරෙන මෙම චිත‍්‍රය, පසුව එංගලන්ත රජපවුල සතුව තිබී 1763 දී විකුණා දමා ඇති බව ද එතැන් සිට 1958 වෙන තුරු ම අප‍්‍රසිද්ධියේ තිබුණු බව ද ලොව ගැලවුම්කරු චිත‍්‍රයේ ඉතිහාසය කියයි. ලෙනාඩෝ ඩා වින්චිගේ චිත‍්‍රයක් ලෙස නොව අනුකරණයක් ලෙස සලකා මෙම චිත‍්‍රය ඇමෙරිකානු ජාතික චිත‍්‍ර එකතුකරන්නෙකුට 1958 දී විකුණාදමා ඇත්තේ පවුම් හතළිස් පහකට ය. ඇමෙරිකානුවා විසින් චිත‍්‍රය සංරක්ෂණය සඳහා ඉදිරිපත් කළ අවස්ථාවේදී එය වසර පන්සියකට පමණ පෙර සිතුවම් කරන ලද්දක් බව ද අනුකරණයක් නොව ලෙනාඩෝ ඩා වින්චිගේ අවසන් නිර්මාණය ම බව ද හෙළිවී ඇත. පසුගිය දා ඇමෙරිකාවේ ක‍්‍රිස්ටීස් වෙන්දේසියට මෙම චිත‍්‍රය ඉදිරිපත් කර තිබුණේ එහි හිමිකරුව සිටි රුසියානු ජාතික කෝටිපතියෙකි.   


ලෙනාඩෝ ඩා වින්චිගේ ලොව ගැලවුම්කරු චිත‍්‍රය සඳහා වත්මන් හිමිකරු විසින් ක‍්‍රිස්ටීස් වෙන්දේසියට ගෙවන ලද මුදල, මගීන් 132 ක් ගෙන යා හැකි ඒ 318 එයාර්බස් වර්ගයට අයත් නවීනතම ගුවන් යානා හයක් හෝ ඉතාලියේ නිෂ්පාදනය කෙරෙන ෆියට් 500 මෝස්තරයට අයත් නවීන මෝටර් රථ හතළිස් දහසක් හෝ මිලට ගැනීමට ප‍්‍රමාණවත් ය.   

යටියන   
ක්ලැරන්ස් කොස්තා   
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.