රෝමය වර්ණවත් කළ චීන අලුත් අවුරුදු උළෙල


 

සඳ මාස ගණනය කරනු ලබන චීන දින දර්ශනයට අනුව 2019 චීන අලුත් අවුරුද්ද එළඹුනේ පෙබරවාරි මස පස්වැනිදාය. චීන රාශි චක්‍රයට අනුව මේ උදාවූවේ “සූකර” වර්ෂයයි. සුබ වර්ණය ලෙස සලකා උත්සව අලංකාර වර්ණය වූවේ රතු පැහැයයි. චීනයේ මෙන්ම ලොව පුරා විසිර සිටින චීන ජාතිකයෝ ද පෙබරවාරි මස පස්වැනිදා නව වසර උදාව උත්සවශ්‍රීයෙන් සැමරූ අතර, මෙම උත්සව සමය, අලුත් අවුරුද්ද ලැබූ දින සිට දින පහළොවකින් එළඹෙන පහන් කූඩු මංගල්‍ය දක්වාම දිවයයි. 


පෙබරවාරි මස පස්වැනිදා සතියේ සේවා දිනයක් වූ බැවින්, තිස්දහසක් පමණ වන රෝමයේ නේවාසික චීන ප්‍රජාව තම අලුත් අවුරුදු උත්සවය පැවැත්වූවේ පෙබරවාරි මස දහවැනි ඉරිදා ය. අලුත් අවුරුද්ද නිමිත්තෙන් චීන ජාතිකයන් විසින් වාර්ෂිකව පවත්වනු ලබන මහා පෙරහර මෙවර ද සිරිත් පරිදි රෝමය වර්ණවත් කළේය. මකර සහ සිංහ නැටුම් සමඟ රබන් බෙර වාදන ධජ පතාක සහිතව සම්ප්‍රදායික වස්ත්‍රයෙන් සැරසුණු නැට්ටුවන්ගෙන් සැදුම්ලත් මෙම පෙරහර නැරඹීම සඳහා මෙවර ද ලක්ෂ ගණනින් පිරිස් රෝම නගර මධ්‍යයේ මංමාවත්වලට ගොනු වූහ. රෝමයේ “චයිනා ටවුන්” ලෙස හැඳින්වෙන කොටසේ මංමාවත් චීන පහන් කූඩු සහ වෙනත් සැරසිලිවලින් අලංකාර කර තිබුණු අතර, සූකරයා සහිත ලාංඡනයට ප්‍රධාන තැනක් දී තිබුණි. රාත්‍රියේ මහා ගිනිකෙළි සංදර්ශනයක් ද පැවැත්වුණි. 


ව්‍යාපාරිකයන් ලෙස රෝම මහ නගරසභාවේ ලියාපදිංචිව සිටින චීන ජාතිකයන්ගේ සංඛ්‍යාව තුන්දහසකි. අලුත් අවුරුද්ද නිමිත්තෙන් මේ සා දැවැන්ත මංගල්‍යයක් සඳහා දැරීමට සිදුවෙන බරපැන පිළිබඳව සංවිධායකයින්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීමකින් හෙළිවූවේ, මේ සඳහා චීන රජයේ මූල්‍යමය ආධාර ද ලැබෙන බවය. 


ඡායාරූපයන්ගෙන් දැක්වෙන්නේ රෝමයේ මෙවර පවත්වන ලද චීන අලුත් අවුරුදු පෙරහරේ දර්ශන කීපයකි. 

 

 

සූකර වර්ෂයේ ලාංඡනය

 

 

 


යටියන,
ක්ලැරන්ස් කොස්තා 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.