රෝම ශාක්‍ය මුනි විහාරයේ කඨින පූජෝත්සව උත්කර්ශවත් අයුරින්


 

වසරකට එක් වරක් පමණක් බෞද්ධ පින්වතුන්ට පින් කුසල් රැස් කර ගත හැකි පින්බර තෙමස නිමා කරමින් මේ උදාවී ඇත්තේ කඨින චීවර පූජාවන් පවත්වන මාසයයි. ඒ අනුව යුරෝපයේ සෑම විහාරස්ථානයකම අපේ ගරුතර මහා සංඝරත්නය දින වකවානු බෙදා හදාගෙන එම උතුම් කටයුත්තට සහභාගි වෙන අන්දම දකින්නට ඇත.   


ඒ අනුව රෝම ශාක්‍ය මුනි විහාරයේ කඨින පූජා මහෝත්සවය නොවැම්බර් මස දහවැනි සෙනසුරාදා රාත්‍රී මහා පිරිත් දේශනයක් ද? එකොළොස් වැනි ඉරු දින දවස පුරා කඨින චීවර පූජා මහෝත්සවයේ කටයුතු ශාක්‍ය මුනි විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කටුවන සිද්ධත්ථ ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉතාමත් අලංකාර ලෙස සිදු කළහ.   


එයට ගල්කිස්ස රාජපුෂ්පාරාමාධිපති මාදෙල්ගමුවේ නන්දවංශ හිමි, පා​ෙදවා සම්මාසති විහාරාධිපති ගම්මැදගම පියදස්සී හිමි, රෙන්සි සමාධි විහාරාධිකාරි පූජ්‍ය ලංකා තිලකයේ අරියධම්ම හිමි, ආනමඩුව ශ්‍රී සරණතිස්ස පරිවෙනාධිපති වඩත්තේ සෝමානන්ද හිමි, කෝමෝ ඉසිපතන භාවනා මධ්‍යස්ථානයේ වංගිය කුඹුරේ ඤාණානන්ද හිමි, මෙස්සිනා සිරිලක් සම්බුදු විහාරයේ විහාරාධිපති උලුක්කුලමේ ධම්ම කුසල හිමි, රෙජියෝ කලත්‍රියා සාන්ත බුද්ධ විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය ලියන්විල උදිතසිරි හිමි, පාදෙවා සම්මා සති විහාරයේ විහාරවාසී ඉතාලි ජාතික කුමාර හිමි සහ ශාක්‍ය මුනි විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ සමග භික්ෂූන් වහන්සේලානව නමක් වූ උතුම් මහා සංඝරත්නය සහභාගි වීම පින්බර දසුනක් විය.   


මෙම මහඟු අවස්ථාවට ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති දයා පැල්පොල මහතා සහ එම මහත්මිය ද, කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙක් ද සහභාගි වී සිටියහ. ඉතාමත් අලංකාරව නිර්මාණය කරන ලද පිරිත් මණ්ඩපයක සෙනසුරාදා රාත්‍රී මහා සංඝරත්නය පිරිත් සූත්‍ර දේශනාවක් සජ්ඣායනය කළහ. එකොළොස්වැනි ඉරු දින පෙරවරු නවයට පෙරහැර වීදි සංචාරය කරන්නට ආරම්භ කළ අතර, සුවඳ මල් අතුරන ලද මල් අසුනක බුදුපියාණන් වහන්සේගේ සම්බුදුරුව වඩා හිඳුවා බුදු රුව පෙරටු කර ගත් මහා සඟරුවන කොඩි සේසත් සමග කඨින චීවරය හිස මත තබාගත් සැදැහැවත් පින්වතුන්ගේ සාදු හඬ මැද දර්ශනීය මල් පෙරහර වීදි සංචාරය කළහ.   


ඉන් අනතුරුව අමාමෑණී බුදු පියාණන් වහන්සේට සම්බුදු බුද්ධ පූජාව පවත්වා මහා සංඝරත්නයට දහවල් දානය පිළිගැන්වූහ. ඉන්පසු වෙනදා මෙන්ම මෙවර ද මහා බත් දන්සල පැවැත්වූ අතර, එයට ඉතා විශාල පිරිසක් සහභාගි වී සිටියහ.   


සුපුරුදු පරිදි මල් වට්ටි වෙන්දේසිය පැවැත්වූයෙන් කාගේත් වෙහෙස මහස්සිය නිවාගන්නට කදිම අවස්ථාවක් විය. එය පින්වතුන්ට විනෝදයක් ද විය. සවස් භාගයේ අටවිසි බුදුරජාණන් වහන්සේ අභියස ඉතාමත් අලංකාර ලෙස ආලෝක පූජාවක් පැවැත්වූහ. වස් තුන් මාසය පුරාවට ශාක්‍ය මුනි විහාරාධිපති ස්වාමින් වහන්සේගේ අනුශාසනා මැද දායක පින්වතුන්ගේ උත්සාහය කැපවීම මත ඉතාමත් අලංකාර ලෙස මෙම කඨින මහෝත්සවය සිදු කර ගන්නට හැකිවීම එතෙර රටක සිටිය ද ශ්‍රී ලාංකික බෞද්ධ පින්වතුන්ගේ භාග්‍යයකි.   

 


ප්‍රේමා කංකානම්ගේ - රෝමය.