රෝම අධිරාජයන් දෙදෙනෙකුටම අනියම් බිරිඳ වූ මිසර රැජින ක්ලියෝපැට්රා මැසඩෝනියානු සම්භවයක් ඇත්තියක්


බලය ලබාගැනීම සහ තහවුරු කරගැනීම සඳහා ඇගේ අවිය තමන් සතුව තිබූ රූප සම්පන්තිය වූවාය. පිරමිඩ තුළ චිත්‍රයට නැගී ඇති පරිදි ඇයට තිබෙන්නට ඇත්තේ සිහින් දිගටි ඇස් නොව රවුම් වටකුරු ඇස් බව දැන් හෙළිවී ඇත. විවිධ භාෂාවන් පහකට වැඩි සංඛ්‍යාවක් ඇය දැන සිටියා ය. ඇතැම් මිසර ඉතිහාසඥයකු කියන්නේ ඇය විදේශීය භාෂාවන් අටක් චතුර ලෙස කතාකිරීමට දැන සිටි බවකි. පැරණි මිසර ඉතිහාසයේ අමරණීය නමක් තබා ගිය ඇය මිසරයේ කුවේණිය යයි කීවද නිවැරදි ය. වසර තුන් දහසක් පැවති පාරාවෝ පාලන පෙළපත අවසන් කළේ ඇයයි.   


ඇය එවකට ග්‍රීක පාලනය යටතේ පැවති මැසඩෝනියානු සම්භවයක් ඇත්තියකි. එබැවින් ම ඇගේ නම ක්ලෙඕස් පැට්රාස් නම් වූවාය. එය ග්‍රීක නමකි. පසුව ඇය ක්ලියෝපැට්රා වූවාය. ඒ නම ද ඇයට පෙළපතින් හිමිවූවකි. ඇයට පෙර ක්ලියෝපැට්රා වරියන් හයදෙනෙකු සිට ඇත. ඇය හත්වැනි ක්ලියෝපැට්රා ය. පුරුෂ ආධිපත්‍ය පැවති සමාජයක ඉහළම පාලන අධිකාරිය වූ පාරාවෝ (රැජින) තනතුරට ඇය පත්වූවා ය. එම තනතුර රැකගැනීමට ඇය භාවිත කළේ තම රූසපුව ය.   


මිසරය පාලනය කළ දොළොස් වැනි ටොලමි පාරාවෝ ක්‍රි.පූ. පනස් එකේ අභාවයට පත්වීමත් සමගම පාලන බලය භාරගැනීමට සිදුවූයේ ඔහුගේ දියණිය වූ එවකට දහඅට වියේ පසු වූ ක්ලියෝපැට්රා ට ය. රාජත්වය තහවුරු කරගැනීම සඳහා ඇයට තම දහසය හැවිරිදි සොහොයුරා සමග විවාහවීමට සිදුවිය. එහෙත් තම සොහොයුරා සමග පාලනය සම්බන්ධව එකගතාවයකට පත් නොවූ ඇය, වසර තුනකට පසුව සිරියාවට පළා ගියාය.   


ජුලියස් සීසර් නම් වූ බලගතු රෝම අධිරාජ්‍යයා තම සතුරකු නැසීම සඳහා මිසරයට පැමිණෙන්නේ මේ අවදියේ ය. තම සහෝදරයා සිහසුනෙන් නෙරපා මිසරයේ තම බලය තහවුරු කරගැනීමට ජූලියස් සීසර්ගේ ආධාරය ලබාගැනීම සඳහා ක්ලියෝපැට්රා ඔහු වෙත පැමිණි ආකාරය සුරංගනා කතාවකට සමානය. දැඩි ආරක්ෂා සහිතව සිටි ජූලියස් සීසර් වෙත ඇය එන්නේ ත්‍යාගයක් ලෙස දෙන පර්සියානු බුමුතුරුණයක එතී, ඒ තුළ සැඟවීගෙන ය. තමන්ට වඩා වයස අවුරුදු තිස්එකකින් බාල මෙම සූරූපිණිය දුටු සීසර් ඇගේ රූප ශ්‍රියාවෙන් වශී වූ බව කියැවේ.   


සීසර්ගේ නිල නොලත් බිරිඳ බවට පත් ක්ලියෝපැට්රා ඔහු ලවා තම කාර්යය ඉටුකරවා ගත්තා ය. තම සහෝදරයා පරදා සිහසුන යළි හිමිකරගත් ක්ලියෝපැට්රා ට තම රාජත්වය තහවුරු කරගැනීම සඳහා තම බාල සොහොයුරා සමග විවාහ වීමට සිදුවිය. ඒ වෙන විට ක්ලියෝපැට්රා සීසර්ට දාව මවක වී සිටියා ය. මිසරය පාලනය තම සොහොයුරාට පැවරූ ඇය සීසර් සමගින් පදිංචිය සඳහා තම පුතණුවන් ද රැගෙන රෝමයට පැමිණියා ය.   


සීසර්ගේ පාලනය නොරිස්සූ සෙනට් සභිකයන් පිරිසක් විසින් ක්‍රි. පූ. 44 දී පිහියෙන් ඇන ඔහු ඝාතනය කරන ලදී. ඉන් පසුව රෝමයේ වාතාවරණය ක්ලියෝපැට්රාට වාසි සහගත නොවීය. ඇය තම පුතු සමගින් යළි මිසරයට ගොස් තම සොහොයුරාට වසදී මරා පාලන බලය ලබාගත්තා ය.   


සීසර්ගෙන් පසුව රෝමයේ බලයට පත් මාර්ක් ඇන්ටනි ද වසඟයට ගත් මිසර රැජින ක්ලියෝපැට්රා ට අවශ්‍ය වූයේ රෝමය සහ මිසරය ඈඳා දැවැන්ත අධිරාජ්‍යයක් නිර්මාණය කරගැනීමට ය. එම අධිරාජ්‍යයේ පාලන මධ්‍යස්ථානය රෝමය නොව මිසරයේ අලෙස්සන්ඩ්‍රියාව කරගැනීම ද ක්ලියෝපැට්රාගේ අදහස විය. ඒ අනුව ක්ලියෝපැට්රාගේ මතයට අවනත වූ මාර්ක් ඇන්ටනි ද තම පදිංචිය රෝමය නොව අලෙස්සන්ඩ්‍රියාව බවට පත්කර ගත්තේය. ඔහු මිසර හමුදාවන් සමග අර්මේනියාව ද ජයගත්තේ ය.   


මාර්ක් ඇන්ටනිගේ නව ක්‍රියා කලාපය පිළිබඳව උරණ වූ රෝමයෝ ඔත්තාවියානෝ සෙනවියාගේ මූලිකත්වයෙන් මිසරයට පහරදී මාර්ක් ඇන්ටනි සහ ක්ලියෝපැට්රා පරාජය කළහ. මෙම පරාජය දරාගත නොහැකි වූ මාර්ක් ඇන්ටනි සහ ක්ලියෝපැට්රා සියදිවි නසාගැනීමට තීරණය කළහ. මේ අනුව මාර්ක් ඇන්ටනි කඩුවකින් තම ලය සිදුරු කරගෙන මියගිය අතර ක්ලියෝපැට්රා සර්පයකු ලවා දෂ්ඨකරවාගෙන මියගියා ය.   


මිසර ඉතිහාසඥයින් අතර මාර්ක් ඇන්ටනිගේ සහ ක්ලියෝපැට්රාගේ අවසන් මොහොත පිළිබඳව එකඟතාවක් නැත. ඇතැමෙකු කියන්නේ ක්ලියෝපැට්රා සියදිවි නසාගත්තා යයි මාර්ක් ඇන්ටනිට යවන ලද අසත්‍ය පණිවිඩය ලැබීමෙන් පසුව, ඔහු සියදිවි නසාගත් බව ය. ඒ ක්‍රි.පූ. තිහ වසරේ අගෝස්තු මස පළමුවැනිදා ය. එහෙත් ක්ලියෝපැට්රා සියදිවි නසාගෙන ඇත්තේ ක්‍රි.පූ. තිහ වසරේ අගෝස්තු මස ​දොළොස් වැනිදා ය. ඒ ද සර්පයකු ලවා දෂ්ඨකරවාගෙන නොව, උග්‍ර විෂක් පානය කිරීමෙනි. මෙසේ මියයන විට ඇගේ වයස අවුරුදු තිස්නවයකි.   


පැරණි මිසර අබිරහස් සොයමින් කරනු ලබන පුරාවිද්‍යාත්මක කැණීම්වලදී, කඳුගැටයක් මත මුහුද පසුබිම් කරගත් රමණීය භූමියක “ඉසිදේ” දෙවඟනට කැපකරන ලද දෙවොලක් තුළ, මීටර විස්සක් භූගතව තිබී 2009 වසරේ සොයාගන්නා ලද එකිනෙකට සමීපව තැන්පත් කර තිබුණු මමි යුගල මාර්ක් ඇන්ටනිගේ සහ ක්ලියෝපැට්රාගේ යයි සැලකේ.   


ජූලියස් සීසර්, මාර්ක් ඇන්ටනි සහ ක්ලියෝපැට්රා ද, ඔවුන් දෙදෙනාගේ යයි සැලකෙන මමියන් ද ඡායාරූපයන්ගෙන් දැක්වේ.   

 


යටියන   
ක්ලැරන්ස් කොස්තා   
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.