යුනෙස්කෝ සංවිධානයෙන් පැවැත්වූ පැරීසියේ ජාත්‍යන්තර වෙසක් උළෙල


 

එක්සත් ජාතීන්ගේ 15 වැනි ජාත්‍යන්තර වෙසක් දිනය නිමිති කොට ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් වසරකට වරක් පවත්වන වෙසක් උත්සවය මෙවරත් පැරීසියේ පිහිටි ජාත්‍යන්තර යුනෙස්කෝ මූලස්ථානයේදී විශේෂ දහම් වැඩසටහන් ඇතුළත් වෙසක් උත්සවයක් හා බෞද්ධ සංස්කෘතිය ප්‍රධාන කොට විවිධ ජාතීන්ගේ සංස්කෘතික සංදර්ශනයක්ද ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංවිධානත්වයෙන් සංස්කෘතික හා උසස් අධ්‍යාපන ඇමැති විජේදාස රාජපක්ෂ සහ ප්‍රංශයේ තානාපති බුද්ධි කේ. ආතාවුද යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය මැයි 24දාා පැරීසියේදී පැවැත් වූයේය.   


මේ සඳහා ශ්‍රී ලංකාවෙන් හා යුරෝපයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා 57 නමක් වැඩම කර සිටියහ.ආසියානු පැසිපික් කලාපයේ බෞද්ධ රටවල තානාපතිවරුද මෙම උත්සවයට සහභාගි වූහ.   


ශ්‍රී ලංකා යුද හමුදාාවේ සංස්කෘතික නර්තන කණ්ඩායමේ නර්තන සමඟ පැරීසියේ ජයමිණි, ශ්‍රී ඩේසි ඩාන්සින් සහ සරසවි රංග කලායතනවල දරුවන්ගේ නර්තන ද වියට්නාමය, මොංගෝලියාව, චීනය, ඉන්දියාව, නේපාලය, තායිලන්තය, කාම්බෝජය, ශ්‍රී ලංකාව යන රටවලට ආවේනික එම සංස්කෘතිය විදහා දැක්වූ නර්තනයන් ඇතුළත් ප්‍රදර්ශනයක්ද පැවැත්වූයේය.   


පැරීසියේ වෙසෙන දක්ෂ චිත්‍ර ශිල්පීන් දෙදෙනෙකු වන මහින්ද හේරත් හා ජගත් වික්‍රමආරච්චි විසින් නිර්මාණය කරන ලද බුදුගුණ විදහා දැක්වෙන අනර්ඝ චිත්‍ර ප්‍රදර්ශනයක්ද මෙම උත්සවයට එක්කොට තිබුණේය.

 

 

 

 

 

 

 

 

සුනිල් ආනන්ද   
පැරීසියේ සිට