මෙලෝ යකෙකුට කියවාගත නොහැකි ඉපැරණි පොතක් ඉතාලි කටුගෙයක


“කාලකන්නි පොත” ලෙස නම් ලද මෙය කියවීමට හැකි ජගතෙකු සොයයි

 

 

 

කිසිවකු විසින් යමක් ලියනු ලබන්නේ දෙවැන්නකුට එය කියවා තේරුම් ගැනීමට ය. ඒ සඳහා දෙවැන්නාට කියවාගත හැකි පිළිගත් බසකින් ලේඛනය ලියා තැබිය යුතු ය. අකුරු හකුරු වී ලියා ඇති දෙය අපැහැදිලි නම්, එය ද කිසිවකුට කියවා ගැනීම අපහසු ය. එහෙත් අසීරුවෙන් වුව ද එවැන්නක් කියවා ගැනීමට බැරිම නැත. රූපසටහන් සමග ඉතා පැහැදිලිව ලියා ඇතුව ද, ලියා ඇති භාෂාව තේරුම් ගැනීමට තවමත් නොහැකිවී ඇති බැවින් “කාලකන්නි පොත” ලෙස විරුද‌ාවලිය ලද පොතක් පිළිබඳව ඉතාලියෙන් වාර්තා වේ. 


දුර්ලභ ගණයේ පොත්පත් එකතු කරන්නෙකුව සිටි විල්ෆ්‍රිඩ් වොයිනිච් නම්වූ පෝලන්ත ජාතිකයා විසින් 1912 දී ප්‍රථම වරට ලොවට ඉදිරිපත් කරන ලද කියවා ගැනීම සඳහා ලියා ඇති බස තේරුම්ගත නොහැකිව ඇති පොත, එය ලොවට ඉදිරිපත් කරන ලද වොයිනිච් නමින් ම නම් කර ඇත. සෙ.මී. 16 ක පළලින් සහ සෙ.මී. විසිදෙකක උසකින් යුත් මෙම පොත පිටු දෙසීය හතරකින් සමන්විත ය. පිටු පුරා තබා ඇති අක්ෂර සටහන්වලට අමතරව සෑම පිටුවක ම විවිධ රූපසටහන් ද ඉදිරිපත් කර ඇත. 


වොයිනිච් පොතේ තබා ඇති රූපසටහන්වලට අනුව මෙම පොත කොටස් තුනකට බෙදා වෙන් කෙරේ. පොතේ මුල් කොටසේ ඇත්තේ පැළෑටිවල රූපසටහන් සමග තබා ඇති අක්ෂර සටහන් ය. මෙම පැළෑටි ඖෂධ පැළෑටි ලෙස දැන් හඳුනාගෙන ඇත. මේ අනුව අක්ෂර සටහනින් කියැවෙන්නේ මෙම ඖෂධ පැළෑටිවල ඖෂධීය ගුණය සහ ඉන් සුවපත් කළ හැකි රෝග පිළිබඳව යයි සැක කෙරේ. 

 

 


උක්ත පොතේ දෙවැනි කොටසේ ඇත්තේ ග්‍රහලෝකවල පිහිටීම ඇතුළු ඒ සම්බන්ධ වෙනත් රූපසටහන් සමග අක්ෂර සටහන් ය. මෙම සටහන්වලින් කියැවෙන්නේ සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ යමක් විය යුතු ය. 


මෙම පොතේ වැදගත්ම කොටස වෙන්නේ තෙවැනි කොටස ය. එහි ඇත්තේ නග්න ස්ත්‍රී රූප චිත්‍ර සමග තැබූ අක්ෂර සටහන් ය. මෙම ස්ත්‍රී නග්න රූප ජලය හෝ ඒ සමාන කිසිවක අඩක් එරී සිටින ආකාරයෙන් චිත්‍රයට නගා ඇති බැවින්, කාන්තා රූපවල පාද ප්‍රදේශය චිත්‍රවල දැක්වෙන්නේ නැත. 


කාබන් කාල නීර්ණයට අනුව මෙම පොත පහළොස් වැනි සියවසේ දී කිසිවකු විසින් ලියන ලද්දක් බව හෙළිවී ඇත. නක්‍ෂස්ත්‍රය සහ වෛද්‍ය විද්‍යාව දත් කිසිවකු විසින් රහස් සංඛේත අක්ෂර මාලාවකින් මෙම පොත ලියා ඇති බවට දැන් සැක කෙරේ. මෙම පොතෙහි දැක්වෙන අක්ෂර මෙලොව පැවති හෝ දැනට පවතින හෝ කිසිම අක්ෂර මාලාවක් සමග සැසඳෙන්නේ නැති බව අක්ෂර විශේෂඥයෝ කියති. මුල් පිටපතට හානි වීම වැළකීම සඳහා කෞතුකාගාර අවසරය මත මෙම පොතෙහි ඡායාපිටපත් එකතුවක් පොතක් ලෙස සකසා පර්යේෂකයෝ මෙම අක්ෂර සංකේත නිර්වචන කිරීම සඳහා පාවිච්චි කරති. 


පැරණි මිසර ලේඛන කියවන්නෝ ද, බ්‍රාහ්මී අක්ෂර කියවන්නෝ ද ඇතුළු භාෂා විද්වතුන් මෙම පොත කියවා තේරුම් ගැනීමට උත්සාහ කළ ද, මෙතෙක් එය කියවා ගැනීමට නොහැකිවී ඇත. මේ නිසා ම මෙම ග්‍රන්ථය “කාලකන්නි පොත” ලෙස විරුදාවලිය ලබා ඇත. 


කාලකන්නි පොතේ පිටු කීපයක් ඡායාරූපවලින් දැක්වේ. 

 

 


යටියන 
ක්ලැරන්ස් කොස්තා. 
ෂෙසානෝ රෝමය ඉතාලිය.