මිලානෝ නගරයේ ශ්‍රී ලාංකිකයන්ගේ ත්‍රස්ත විරෝධී උද්ඝෝෂණය


 

 

30 වසරක සිවිල් යුද සංග්‍රාමය, මානුෂීය යුද මෙහෙයුමකින් නිමා කර මේ වනවිට දස වසරක් ගෙවී ගොස් ඇත. යුද ගිනි දැල් නිවී සාමයේ අරුණැලිවල පහස විඳිමින් සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව රටේ පෙර ගමන් මගට දායකත්වය ලබාදෙමින් සහජීවනයෙන් ජීවත් වූහ. ගෙවී ගිය කාල වකවානුව තුළ කලාපයේ සාමකාමී රට බවට පත්වූ ශ්‍රී ලංකාව සංචාරක ලෝකයේ පාරාදීසය බවට ද නැවතත් පත්වෙමින් තිබිණ. ඒ අතර විදේශගත ශ්‍රී ලාංකීය ප්‍රජාව ද තම ශ්‍රමය නොරටුන්ට විකුණා, උපයාගත් විදේශ විනිමය මව්බිම වෙත මුදාහරිමින් එහි ආර්ථිකය ශක්තිමත් කළහ. 

 
එහෙත් මේ සියල්ල උඩු යටිකුරු කරමින් පසුගිය අප්‍රියෙල් 21 වැනි දින අයි.එස්.අයි.එස්. ත්‍රස්තයින්ගේ ප්‍රහාර ගණනාවකින් ශ්‍රී ලංකා මාතාවගේ භූමිය නැවතත් ලෙයින් තෙත් විය. මෙම ප්‍රහාර මාලාවෙන් දැයට අහිමි වූ අහිංසක ජීවිත ගණන දෙසිය පනහකට වැඩිය. තුවාල වූ සංඛ්‍යාව ද පන්සියය ඉක්ම විය. මෙම ප්‍රහාරවල කම්පනයේ ප්‍රකම්පනය විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ද දැනෙන්නට වැඩි වේලාවක් ගියේ නැත.  


ප්‍රහාරයෙන් පසු විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ දෑස් පෙර තිබුණාටත් වඩා තම මව්බිම දෙසට යොමු වන්නට වූයේ ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ වාර්තා සහ දේශපාලන බල අධිකාරියේ අභ්‍යන්තර ගැටුම් පිළිබඳ පුවත් ගැටලු සහගත වීම හේතුවෙනි. මෙම ගැටලු සහගත කරුණු සම්බන්ධයෙන් පැන නැගුණු විරෝධය ලෝකයට මුදාහැරීම සඳහා ඉතාලියේ මිලානෝ නගරයේ වෙසෙන දේශ හිතෛෂී ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් ත්‍රස්ත විරෝධී උද්ඝෝෂණයක් සංවිධානය කළහ.  


ඒ අනුව පසුගිය 9 වැනි ඉරු දින සවස් භාගයේ මිලානෝ මධ්‍යම දුම්රියපොළ ඉදිරිපිටදී මෙම උද්ගෝෂණය පැවැත්විය. පැවැතුණු අයහපත් කාලගුණික තත්ත්වය ද නොසලකමින් විශාල ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටි අතර විවිධ සටන් පාඨ සහිත පුවරු ඔවුන් අත තිබෙනු දක්නට ලැබුණි. එකම රටක්, එකම ධජයක්, එකම නීතියක් ඉල්ලා රජයට බල කිරීම මෙම උද්ඝෝෂණයේ තේමාව විය.  


මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරවාසී පූජ්‍ය විලච්චියේ ධම්ම විජය ස්වාමීන්වහන්සේ සහ මිලානෝ නගරයේ ජීවත්වන සමාජ ක්‍රියාකාරීන් රැසක් මෙම අවස්ථාවට එක්වෙමින් තම අදහස් ප්‍රකාශ කළහ. ඔවුන් සියලුදෙනාගේම ඒකායන ඉල්ලීම වූයේ සිංහල, දමිළ, මුස්ලිම් ජනතාවට බියෙන් සැකෙන් ​ෙතාරව ජීවත්විය හැකි වාතාවරණයක් රට තුළ අැති කරන ලෙසත් ත්‍රස්තවාදය පෝෂණය කරන සියලුම පුද්ගලයන් හට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්ය.  

 


සුමිත් අරුණ  ඉතාලියේ මිලානෝ නුවර සිට.