පුරවැසියෝ හයසීයයි සේවකයෝ හයදාහයි සේවක නඩත්තුව වතිකානයට අමාරුයි


 

වාර්ෂික අයවැය පියවීමේ දී රාජ්‍ය නඩත්තු වියදම ආදායමේ ප්‍රතිශතයට නොගැළපෙන බැවින්, වියදම් කොටසක් කපා හැරීමට වතිකානය තීරණය කර ඇත. මේ අතර ශ්‍රම හමුදාව සීමා කිරීම කෙරෙහි ද වතිකානයේ අවධානය යොමුව ඇත. 

 
අක්කර හතළිස් හතරකට පමණක් සීමාවී ඇති අගනුවරක් නැති ලොව කුඩාම රාජ්‍ය ලෙස සැලකෙන වතිකානයේ, මුළු පුරවැසි සංඛ්‍යාව (2017 අප්‍රේල් සංගණනයට අනුව) පන්සිය හැත්තෑ දෙකකි. මෙම සංඛ්‍යාවෙන් හරි අඩකට මදක් අඩු පිරිසක් තානාපති හේතූන් මත විදෙස්ගතව සිටිති. විවිධ හේතූන් මත විශේෂ වරප්‍රසාද යටතේ නේවාසික පිරිස ඇතුළු දැනට වතිකානයේ මුළු ජනගහනය හත්සිය අනූ තුනකි.   


වතිකාන රාජ්‍ය තුළ සේවයේ යෙදී සිටින සේවක සංඛ්‍යාව හයදහසකි. මෙම ශ්‍රම හමුදාව අතර ගිහියෝ හාරදහසකි. පූජකවරු සහ කන්‍යාසොහොයුරියෝ දෙදහසකි. පරිපාලන සේවය, ආරක්ෂක සේවය, කෞතුකාගාර සේවය, තැපැල් ගුවන්විදුලි රූපවාහිනී සහ වෙළෙඳසැල් සේවය සහ සුළු සේවක ලෙස මෙම ශ්‍රම හමුදාව බෙදී සිටිති.   


නඩත්තු වියදම කපා හැරීම සඳහා සේවක කප්පාදුවක් කිරීමට වතිකානය තීරණය කළේ 2013 වසරේදී ය. එහෙත් ෆ්‍රැන්සිස් පාප්තුමෝ උපදෙස් දී ඇත්තේ කිසිවකු සේවයෙන් පහ නොකරන ලෙස ය. පාප්තුමාගේ උපදෙස් පරිදි සේවක කප්පාදුවකින් තොරව ඉදිරි වසර දහය තුළ සේවකයන් එක්දහස් පන්සීයක් විශ්‍රාම යැවීමට වතිකානය තීරණය කර ඇත. මෙම විශ්‍රාම යන පිරිස වෙනුවට අලුතින් පුරප්පාඩු පිරවීමක් සිදුවෙන්නේ නැත.

   
අවසාන වශයෙන් 2009 වසරේ දී කරන ලද වතිකාන කම්කරු නීති සංශෝධනයට අනුව ගිහි ශ්‍රමිකයකුගේ විශ්‍රාම යා හැකි වයස ලෙස තීරණය වී ඇත්තේ වයස අවුරුදු හැටපහ ය. එහෙත් වතිකාන පැවිදි ශ්‍රමිකයකුගේ විශ්‍රාම යා හැකි වයස වෙන්නේ අවුරුදු හැත්තෑව ය. බිෂොප්වරුන් සහ කර්දිනල්වරුන් විශ්‍රාම යන්නේ වයස අවුරුදු හැත්තෑපහෙන් ය.   

 


ගැස්කොන් ලාසරස්.   
රෝමය, ඉතාලිය.