පාස්කු ප්‍රහාරයට ගොදුරු වූවන් වෙනුවෙන් මිලානෝ තෙමස් පූර්ණ පුණ්‍යානුමෝදනාව


 

 

පසුගිය අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරිදා ලක් මාතාවගේ භූමිය ලෙසින් තෙත් කළ බිහිසුණු දිනයක් විය. සාමයේ කුමාරයා ලෙස විරුදාවලිය ලත් ජේසු ක්‍රිස්තු උතුමාණන් මළවුන්ගෙන් උත්තානය වීමේ ජයග්‍රහණය සමරන පාස්කු ඉරිදා දින ලක්වාසී කිතුණු බැතිමතුන් තම ගම් ප්‍රදේශවල දෙව් මැදුරු වෙත පිය නැගුවේ එම ජයග්‍රහණය සැමරීමේ දිව්‍ය යාගයට සහභාගිවීමටය.


එහෙත් එදින සාම කුමාරයාගේ පණිවිඩය ලක්ෂ කෝටි වාරයක් මතුරා ඇති දෙව් මැදුරු තුනක් වන මීගමුවේ කටුවපිටිය, කොළඹ කොච්චිකඩේ සහ මඩකළපුවේ සියොන් යන දෙව් මැදුරු තුළ සාතන්ගේ පණිවිඩය බලවත් විය. වර්ගවාදී, ආගම්වාදී කුරිරු ත්‍රස්තවාදී සාතන්ලාගේ බෝම්බ ප්‍රහාරයන්ට ගොදුරු වූ අහිංසක කිතුණු බැතිමතුන් සිය ගණනක් එදින මරු වැළඳ ගනිමින් මහ පොළොව සිප ගත්හ. තවත් සිය ගණනක් ඉතාමත් බරපතල තුවාල සහිතව රෝහල් ගත කළහ. එමෙන්ම අගනුවර තරු පන්තියේ සංචාරක හෝටල් සමූහයකටද එම ඉරණමම අත්විය.


දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ද ඉලක්ක බවට පත්වූ මෙම ප්‍රහාර මාලාව ලක්වාසීන්ගේ ජන ජීවිතයද උඩු යටිකුරු කළේය. විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවද තම මව්බිමේ සිදුවෙන මෙම අවාසනාවන්ත සිදුවීම් දෙස බලා සිටියේ දොඹ ගෙඩි තරමට තම දෑස් විශාල කරගනිමිනි.


විපතට පත් සහෝදර ජනතාවගේ දුක වේදනාව කඳුළ බෙදා ගැනීමට විදේශගත ජනතාවද විවිධ අවස්ථාවලදී මැදිහත්වීම් කළහ. එම ක්‍රියාදාමයේ දිගුවක් ලෙස ප්‍රහාරයට තෙමසක් පිරුණ පසුගිය 21 වෙනි ඉරුදින ඉතාලියේ මිලානෝ නගරයේ ශ්‍රී ලාංකික ප්‍රජාවද විපතට පත් ජනතාව නැවත සිහි කිරීම පිණිස සර්ව ආගමික ‘පුණ්‍යානුමෝදනාවක්’ සහ මහා දානමය පිංකමක් සංවිධානය කර තිබුණි. මිලානෝ නගරයේ ස්ථාපිත කර ඇති සියලුම විහාරස්ථානවල ගරුතර මහා සංඝයා වහන්සේලා සහ මිලානෝ කිතුණු සංඝයේ ගරු පියතුමන් සමඟ වරේසි නගරයේ කන්‍යා සොහොයුරියද මෙම උතුම් පිං කටයුත්ත සඳහා සහභාගිවී සිටියහ.


මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දාන ශාලාවේ පැවැති මෙම පුණ්‍ය කර්මය සර්ව ආගමික වතාවත්වලින් ද, සාංඝික දානයකින්ද, අට පිරිකර පූජාවකින්ද සමන්විත විය. මිලානෝ සහ අවට නගරවල වෙසෙන ශ්‍රී ලාංකික ජන ප්‍රජාව මෙන්ම විදේශීය ජාතිකයින් විශාල පිරිසක්ද, විදුර ජාත්‍යන්තර විද්‍යාලයේ බාල දක්ෂ කණ්ඩායමද මෙම උදාර පිං කටයුත්ත සඳහා එක් වී සිටි අතර පැමිණි සෑම කෙනෙකුටම දානය ලබාදීමේ වැඩ පිළිවෙළක්ද සකස් කර තිබුණි. මෙම විශාල දානමය පුණ්‍ය කටයුත්ත සඳහා පූර්ණ දායකත්වය ලබා දී තිබුණේ මිලානෝ වාසි ශ්‍රී ලංකිකයින් බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

 

 

 

 

 


සුමිත් ඇරුණ
ඉතාලියේ
මිලානෝ නගරයේ සිට