ටොරිනෝ හි ඇති ජේසුගේ සළුව පිළිබඳ තවත් සැකයක්


ඩුඕමෝ බැසිලිකාව

 

යෝසෙප් (ජේසුගේ) මිනිය ගෙන පිරිසිදු හණ රෙද්දකින් වෙලා, තමන් විසින් පර්වතයෙහි කප්පවා තිබුණු තමන්ගේම අලුත් සොහොන් ගෙහි තබා, එහි දොරකොඩට මහත් ගලක් පෙරළා තබා ගියේය. (අලුත් ගිවිසුම. ශු. මතෙව් 27, 59 - 60)   


දැනට ටොරිනෝ හි ඩුඕමෝ බැසිලිකාවේ තැන්පත්කර ඇති, ජේසුගේ පිළිගත් රූපයට සමාන පිරිමියකුගේ නිරුවත් රූපයක ඡායාවක් සමග රුධිරය තැවරී ඇති සෙන්ටි මීටර් 441 දිග සෙන්ටි මීටර් 111ක් පළල රෙදිකඩ, එදා ජේසු කුරුසය මත උකුත්වූ පසුව යෝසෙප් විසින් එම සිරුර භූමිදානය සඳහා ඔතා තබන ලද රෙදිකඩ ලෙස කතෝලිකයෝ විශ්වාස කරති. එහෙත් එය නොපිළිගන්නෝ ද වෙති.   


ජේසුස් ක්‍රිස්තුස්වහන්සේට හෝ එතුමන් විසින් දේශනා කරන ලද ධර්මයට ද කරනු ලබන අභියෝගයක් ලෙස නොව, සත්‍ය ගවේෂණය සඳහා පල්ලියේ ද අවසරය ඇතිව, 1973 සිට මේ දක්වා ටොරිනෝ හි ජේසුගේ සළුව අවස්ථා කීපයකදී විද්‍යාත්මක පරීක්ෂණයන්ට යොමු කෙරී ඇත. 1988 දී ඔක්ස්ෆර්ඩ් ටස්කන් සහ සුරිච් විශ්වවිද්‍යාල විද්වතුන් විසින් මෙම රෙදිකඩ කාබන් 14 පර්යේෂණයන්ට යොමුකිරීමෙන් අනාවරණය වූවේ, එය ක්‍රි.ව. 1260ත් 1390ත් අතර කාලයක කරන ලද සිත්තමක් බව ය. මේ අනුව ටොරිනෝ හි ජේසුගේ සළුව ලෙස පිළිගන්නා මෙම රෙදිකඩ, ඉතාලි මධ්‍යතන යුගයේදී ඉතාම දක්ෂ සිත්තරෙකු විසින් කරන ලද්දක් බව එම පර්යේෂණ වාර්තාව පෙන්වා දුනි.   


ටොරිනෝ හි ජේසුගේ සළුව පිළිබඳව අලුත්ම විද්‍යාත්මක වාර්තාව වෙන්නේ ජූලි මස 16 වැනිදා නිකුත්වූ වාර්තාව ය. ලිවර්පූල් විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විද්වතුන් පිරිසක් විසින් අද පවතින ඉහළම තාක්ෂණය උපයෝගී කරගනිමින් කර ඇති මෙම පර්යේෂණයේ වාර්තාව, එම සළුව පිළිබඳව මෙතෙක් පැවති සැකය තවත් තහවුරු කරන්නකි.   

 

සැකයට තුඩුදී ඇති සළුව

 


වර්තමාන වාර්තාවට අනුව ජේසුගේ හිස මත රෝම හේවායන් විසින් පළඳවන ලද කටු ඔටුන්නෙන් සිදුවූ තුවාලවලින් ද, කුරුසය මත ඇණ ගැසීමේදී ජේසුගේ දෑතින් හා දෙපයින් ද, කුරුසය මත සිටියදී රෝම හේවායකු විසින් ජේසුගේ ඉළ ප්‍රදේශයට හෙල්ලකින් ඇණීමෙන් ගලා ගිය රුධිරය ද, රෙදිකඩ මත සටහන් විය යුතු විද්‍යානුකූල ක්‍රමය මේ රෙදිකඩේ සටහන් සමග සැසදෙන්නේ නැත. මෙම රෙදිකඩ මත ඇති රුධිරය සහ දහදිය සටහන්, කටු ඔටුන්නෙන් මෙන්ම දෑතට හා දෙපය එකට තබා ඇණ ගැසීමෙන් ද රෝම හේවායාගේ හෙල්ල පහරින් ද ස්වභාවිකව ගලා ගිය රුධිරය මගින් රෙද්ද මත වූ සටහන් නොව, ඉතා දක්ෂ සිත්තරෙකු විසින් මානව රුධිරය භාවිතා කරමින් කරන ලද පින්සල් පහරවල් බව එම වාර්තාව වැඩිදුරටත් කියයි.   


ටොරිනෝ ජේසුගේ සළුව පිළිබඳ මෙතෙක් කෙරී ඇති සහ අනාගතයේදී ද සිදුවිය හැකි විද්‍යාත්මක පර්යේෂණයන්ගෙන් හෙළිවෙන්නේ මෙම රෙදිකඩේ අනන්‍යතාව පිළිබඳ සත්‍යයක් පමණි. එය ජේසුස් ක්‍රිස්තුස්වහන්සේට හෝ එතුමන් විසින් දේශනා කරන ලද ධර්මයට හෝ කිසි ලෙසකින් බලපෑමක් කරන්නේ නැත.   


පසුගිය ශතක කීපය තුළ දේශීය විදේශීය ආක්‍රමණවලදී ද, දේශීය දේශපාලන ස්ථාවරභාවය ගිලිහී ගිය ඇතැම් අවස්ථාවන්හිදී ද, ආරක්ෂක ස්ථානවලට ගෙනයාම මෙන්ම සඟවා තැබීම ද, ඇතැම් අවස්ථාවල ගින්නෙන් සිදුව ඇති තර්ජනයන් ද සලකා බලන කල, ටොරිනෝ සළුවේ ඉතිහාසයේ ද මහනුවර දළද‌ා මාලිගයේ තැන්පත්ව ඇති බුදුන්ගේ දන්තධාතුවේ ඉතිහාසයේ ද සමානකම් බොහෝ ය.   

 

 


කල්ප ගුරුගේ.   
මිලානෝ.