එදා ෆිරෙන්සියේ දේශපාලන බලයේ සංඛේතය බවට පත් මයිකල් ආන්ජෙලෝගේ ඩේවිඩ්


 

 

කොලෝසියම රෝම අධිරාජ්‍යයේ සෞභාග්‍ය මෙන්ම ගෘහනිර්මාණ ශිල්පයේ දක්ෂතාව ද ලොවට පෙන්නුම් කරයි. මිලානෝහි “ඩුඕමෝ” බැසිලිකාව ගොතික් කලාවේ මුදුන් මල්කඩකි. වැනිසියේ සැන් මාර්කෝ චතුරශ්‍රය තුර්කි ඉතාලි ගෘහනිර්මාණ ශිල්පයේ සහ කලාවේ ඉහළම මිශ්‍රණයයි. පීසා නගරයේ ඇලවෙන කුළුණ ලොව පුදුම හතෙන් එකකි. එසේ නම් ෆිරෙන්සියේ ඩේවිඩ ප්‍රතිමාව? 


ෆිරෙන්සි නගරයේ “පලට්සෝ දෙයි සින්​ෙඥා්රි” කෞතුකාගාරය තුළ තැන්පත්ව ඇති ශක්තිමත් තරුණයකුගේ ශරීරයේ සියළුම මාංශපේෂීන් ජීවමාන ලෙසින් අඹා ඇති ඩේවිඩ් නම් වූ නිරුවත් ප්‍රතිමාව බොහෝ සංචාරකයෝ දකින්නේ කිරිගරුඬින් කළ දැවැන්ත ප්‍රතිමාවක් ලෙස පමණි. (එම කෞතුකාගාරය ඉදිරිපිට ඇති ප්‍රතිමාව සැබෑ ඩේවිඩ් ප්‍රතිමාව යයි සිතන්නෝ ද වෙති. එහෙත් එය ඩේවිඩ් ප්‍රතිමාවේ අනුරුවක් පමණි) එහෙත් මෙම මූර්තිය පසුපස ඇති කතාව මූර්තිය තරමටම චමත්කාරය. 


ෆිරෙන්සියේ ඩුඕමෝ බැසිලිකාව ගොඩනැගීම සඳහා ගෙනෙන ලද ගොඩනැගිලි ද්‍රව්‍ය ගබඩා කර තිබුණු මඩුවක දැවැන්ත කිරිගරුඬ කුට්ටියක් තිබුණේ 1464 සිට ය. මෙම කිරිගරුඬ කුට්ටියෙන් ප්‍රතිමාවක් නෙළීමේ අදහස එවකට විසූ මූර්ති ශිල්පීන් දෙදෙනෙකුට ම පහළ වුවද, කිරිගරුඬ කුට්ටියේ දැවැන්තකම සහ නිර්මාණයේ බරපතලකම ඔවුන් දෙදෙනම පසුබෑමට පත්කළේය. එවකට විසිපස් වියේ පසුවූ මයිකල් ආංජෙලෝ 1501 දී මෙම කිරිගරුඬ කුට්ටියෙන් ප්‍රතිමාවක් නෙළීමට ඉදිරිපත් වෙන්නේ මෙවන් පසුබිමක් මතය. කිරිගරුඬ කුට්ටියේ දැවැන්තකම සලකා, එයින් නිර්මාණය කළ යුතු ප්‍රතිමාවේ තේමාව ලෙස මයිකල් ආංජෙලෝගේ සිතට ආවේ ග්‍රීක වීර කතා පුරාණයේ එන වීරයකුගේ සිතින් මවාගත් ස්වරූපයයි. 


ගොලියත් යනු එක් ඇසක් පමණක් තිබුණු සිත්පිත් නැති යෝධයෙකි. මොහු වාසය කළේ ගල්ලෙනක ය. මෙම යෝධයා ප්‍රදේශයට භීතිය ගෙන ආවේය. ගොලියත්ගේ සැහැසිකම් හමුවේ ජනතාව විසුවේ තැතිගැන්මෙන් ය. ගොලියත් විනාශ කිරීම සඳහා කිසිවෙකු ඉදිරිපත් වීමට පවා බිය විය. මේ අතර ඩේවිඩ් නම් ශක්තිමත් තරුණයකු අද කැටපොලය ලෙස එදා භාවිතා කළ සත්ව සමින් නිමවන ලද ගල් විදිනයකින් ගොලියත්ගේ එකම ඇසට විද, ඔහු අන්ධකර බිම හෙළා, මරා දැමීය. ඩේවිඩ් ග්‍රීක වීරකතා පුරාණයට එකතු වූයේ එලෙස ය. 


මයිකල් ආංජෙලෝ ෆිරෙන්සියේ ගොඩනැගිලි ද්‍රව්‍ය ගබඩාවේ පසෙක ලා තිබුණු කිරිගරුඬ කුට්ටියෙන් අඹන ලද්දේ මේ ඩේවිඩ්ගේ රූපයයි. ගොලියත් මරා දැමීමට පාවිච්චි කරන ලද ආම්පන්නය වමතින් උරහිස මත තබාගෙන, අපරාජිත බැල්මෙන් දුර බලාගෙන සිටින ඩේවිඩ් ශක්තිමත් බවේ සහ බලවත් බවේ ප්‍රතිමූර්තියක් බඳුය. 


මධ්‍යතන යුගයේදී ෆිරෙන්සි ප්‍රාන්තයට දේශීය මෙන් ම විදේශීය සතුරු තර්ජන ද බහුල විය. ෆිරෙන්සිය මෙම සතුරු හමුදාවන් සමග දරුණු සටන් දහයක්ම කර ජයගෙන තිබුණි. නිකොලෝ මකියාවෙල්ලි ෆිරෙන්සි ප්‍රාන්තය ජනරජයක් බවට පත්කළ විට, මෙම ජනරජයේ බලය සහ ශක්තිමත් බව මූර්තිමත් කිරීම සඳහා සුදුසු සංඛේතයක් පිළිබඳව සිතන්නට විය. ෆිරෙන්සි ජනරජයේ බලය සහ අභීත බව සතුරාට පෙන්වීම සඳහා මයිකල් ආංජෙලෝගේ ඩේවිඩ් ප්‍රතිමාව අභිබවා ගිය තවත් දෙයක් නොවීය. එවකට ෆිරෙන්සි ජනරජයේ පාර්ලිමේන්තු මන්දිරය වූ පලට්සො දෙයි සින්​ෙඥා්රි ගොඩනැගිල්ල ඉදිරිපිටට ඩේවිඩ් පැමිණියේ එලෙස ය. 


1527දී ෆිරෙන්සියේ ඇතිවූ කැරැල්ලකදී කිසිවකු විසින් පොරවකින් පහර දෙන ලදුව, ඩේවිඩ්ගේ අතක් කැඩී බිම වැටී කැබළි තුනකට කැඩී ගියේය. එවකට දහසය හැවිරිදී කොළුගැටයකුව සිටි “වසාරි” (ජෝර්ජෝ වසාරි 1511-1574) නම්වූ මයිකල් ආන්ජෙලෝගේ ගෝලයකු විසින් ඩේවිඩ්ගේ අත යළි යථාතත්ත්වයට පත් කළේය. පසුකලෙක වසාරි සුප්‍රසිද්ධ මූර්ති ශිල්පියෙකු චිත්‍ර ශීල්පියෙකු මෙන්ම ලේඛකයෙකු බවට ද පත් විය. 


දේශගුණික විපර්යාස හේතුවෙන් ඩේවිඩ් ප්‍රතිමාවට සිදුවිය හැකි හානි පිළිබඳව සලකා බැලූ ඉතාලි සංස්කෘතික කටයුතු භාර අමාත්‍යංශය, පසුකලෙක ඩේවිඩ් ප්‍රතිමාව ඒ වෙන විට කෞතුකාගාරයක් බවට පත්කර තිබුණු ෆිරෙන්සි පාර්ලිමේන්තු මන්දිරය තුළ තැන්පත් කර, ඩේවිඩ් ප්‍රතිමාව තිබුණු තැන එම 
ප්‍රතිමාවේ අනුරුවක් ස්ථානගත කළේය. 

 


යටියන 
ක්ලැරන්ස් කොස්තා 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.