ඉතාලියේ දින පොතක තිබී උපුටා ගත් සටහන් කීපයක්


උදේම හිතට ආවේ කේන්තියක්. කිරි බෝතලේ පෙනද‌ාලා. ඉඹලා බැලුවාම ඇඹුල් ගඳක් අපූරුවට දැනුනා. කිරි බෝතලේ මුඩිය කැඩුවට පස්සේ ශීතකරණයක නොදා තිබුණාම නරක් වෙන එක පුදුමයක් නොවෙනේ. ශීත කාලේ නම් කමකුත් නෑ. මේ රස්නෙ කාලේ. ආච්චි කිරි එක වත්කරගෙන මටත් දුන්නා. මං කිව්වා මට එපා මේක නරක් වෙලා පෙනෙන් නැද්ද කියලා.   


ආච්චිගේ සුදු පාට මූණ රෝසා පාට වුණා කේන්තියට. ‘‘මේවා සල්ලි දීලා ගෙනත් තියෙන්නේ. විසික් කරන්න බෑ. උඹට බොන්න බැරිනම් උදේට බඩගින්නේ ඉදපං’’ ආච්චි එහෙම කීවාම කිරි බෝතලේ ඔලුවේ හලන්න මට හිතුණා.   


‘‘උඹ ලෙඩ වුණාම උඹව බලාගන්න කීදෙනෙක් ඉන්නවද. මට කවුද ඉන්නේ?’’ මං බොන්නෙ නෑ කියලා ආච්චිට පේන්නම වතුර වීදුරුවක් වත්කරගෙන මේක හොඳයි කියලා මං බිව්වා.   


යක්ෂ ගෑණියෙක්. මාත් එක්ක කේන්තියටම වගේ සබන් පෙන වගේ පෙණදාලා තිබුණ අර කිරි වීදුරුව අගේට බිව්වා. හැබැයි විනාඩි දහයක්වත් උන්නේ නෑ. මං බලාගෙන Bagno එකට දුවනවා. මට තනිවම හිනා.   


‘‘නරක් වෙච්ච කිරි වීදුරුවකට වඩා වතුර වීදුරුවක් ඇඟට ගුණයි’’ කියලා වාක්‍ය හද‌ාගන්න ඩික්ෂනරිය පෙරළගෙන මම වචන හෙව්වා. සිංහල වාක්‍ය ඉංග්‍රීසිවලට හරවගෙන ඉන් පස්සෙ තමයි එ්වට ගැලපෙන වචන ඉතාලියෙන් හොයා ගන්නේ. මං හුඟක් වෙලාවට වාක්‍ය හදාගන්නේ ඩික්ෂනරියට පිංසිද්ධ වෙන්න.   


අනේ කොහොම හරි ඒ වාක්‍ය මං ආච්චිට කියා ගත්තත් එයාට තේරුණේ නම් නෑ. මොකද ඩික්ෂනරියෙ තියෙන්නේ නියම ඉතාලි වචන. ආච්චි කතා කළේ ආච්චිගේ භාෂාව සිසිලි භාෂාව. කොහොම හරි මේකෙන් පස්සෙවත් ශීතකරණයක් ගෙනාවොත් හොඳයි කියලා මං හිතුවේ. ශීතකරණයක් නැති ඉතාලි ගෙදරක්. අපූරු රස්සාවක්. අපූරු අත්දැකීමක්. ලියන්න කරුණු හොයන මටම ගැලපෙන රස්සාවක් මගෙ හිත කිව්වා.   


තවත් දවසක්   
අලුත් රස්සාවට ඇවිත් මාස 02ක් විතර වෙලා. මේ පරිසරය, මිනිසුන් හැමෝම හුරුයි දැන් මට. හතරට සීනුව ඇහෙන කොට හැමද‌ාම පූජාවට යනවා ආච්චි එක්ක. ඒ පල්ලිය කැප වෙලා තිබුණේ ශාන්ත ජුවාන් මුනිතුමාට. සිමෙන්ති බද‌ාමවලින් හුඟක් ඝනකමට ඉදිවෙලා තිබුණ උස් බිත්තිවලින් හැඩ වුණ හුඟක් ඉපැරණි පල්ලියක්. උස් බිමක පිහිටලා තිබුණ නිසා හුඟක් ඈතට වෙනකම් අපූරු දර්ශනයක් ඒ අවටින් දැක ගන්න පුළුවන්. සිසිලි දූපත්වල පුංචි පුංචි කඳු පවා එතනට අපූරුවට පෙනුනා.   


මමත් හුඟක් ආසාවෙන් හැමද‌ාම පූජාවට යන්නේ. හැබැයි අනිත් හැමෝම අවුරුදු 75, 80 පහු කළ මහළු උදවිය. තරුණයෙක් හෝ තරුණියක් නම් කවමදාවක් මම දැක්කෙ නෑ පූජාවට සහභාගි වුණ.   


පූජාවට සහභාගි වෙන ඒ හැමෝම අතරේ මම කැපී පෙනෙන විශේෂ චරිතයක් වුණා. හැමෝම මගෙ දුක සැප අහන්න කතා කරන්න අමතක කළේ නෑ. හැමෝටම එකම හිනාවකින් සංග්‍රහ කරන මගෙ මූණේ හැම වෙලාවෙම තියෙන හිනාව ගැන එ් කවුරුත් කතා කළා. පල්ලියේ පියතුමා පාදරේ නීනෝ පවා පූජාව අවසානයේ මං ළඟට ඇවිත් කතා කරන්න අමතක කළේ නෑ. හැමෝටම ඇහෙන්න මගෙ හොඳ කියනවා. ඒ පල්ලියේ හැමෝටම වඩා උවමනාවෙන් භක්තියෙන් පූජාවට සහභාගි වෙන්නේ යාඤ්ඤාවලට හවුල් වෙන්නේ මම කියලා.   


අද පාදරේ නීනෝ මට කිව්වා මරියතුමියට කියන යාඤ්ඤාව (ආවේ මරියා යාඤ්ඤාව) මගේ රටේ භාෂාවෙන් කියන්න කියලා. ‘‘නමෝ මරියනී.. ප්‍රිය ප්‍රසාද.. කියලා මං කියාගෙන යනකොට ඒ හැමෝම ආසාවෙන් අහගෙන උන්නේ භාෂාව වෙනස් වුණාට එකම අර්ථයක් නේද මේ හැම වචනයකම තියෙන්නේ කියලා මගේ හිතට දැනුන දේ එයාලට නම් දැනෙන්න නැතුව ඇති. මොකද ඉතාලි භාෂාවෙන් විතරයි එයාලා දැනගෙන උන්නේ. එකම අර්ථයකට ඇයි මේ තරම් වර්ග කිරීමක් ඇති කළේ කියලා කුරුසේ ඉන්න ජේසු දිහා බලලා මං මගෙ හිතින් ප්‍රශ්න කළා. ඒත් තාමත් ඒකට උත්තරයක් නම් මට ලැබුණේ නෑ.   

 


ඊට පස්සෙ දවසක   
පළවෙනි පිඟාන පාස්තා එක නම් අමාරුවෙන් හරි ගිලලා දැම්මා. ඒ පිසෙල්ලි ද‌ාලා සාල්සා එක හදලා තිබුණ නිසා. දෙවෙනි පිඟාන බැලුවා. කනාටු වෙච්ච තම්බපු කුකුලෙක්ගෙ තටු දෙකයි අල කෑලි දෙකයි. රෝස් කළ කුකුල් මස්වල හම ඇරෙන්න වෙන මොන ක්‍රමයකට හදලා තිබුණත් මම ආස නෑ ඒ හමට. හම ඇරියට පස්සෙ ඒ තටු දෙකේ කටු ඇරෙන්න මසක් තිබුණෙ නෑ.   


අපේ රටේ නම් එකම පිඟානට බත්, එළවළු, මස්, මාළු, සලාද එකටම අනාගෙන කෑවට මෙහෙ කෑම මේසෙ වෙනසක් තිබුණ. එක පුද්ගලයෙක්ට පිඟන් 3ක් වෙන් වෙනවා. පළවෙනි පිඟාන ප්‍රධාන ආහාරය පාස්තාවලට. දෙවෙනි පිඟාන මස් මාළු සලාද වැනි ආහාර සඳහා වෙන් වෙනකොට තුන්වෙනි පිඟාන පලතුරුවලට. කොහොම උනත් මගෙ දෙවෙනි පිඟාන දකිනකොට නම් මගෙ හිතට ආවේ ‘කටු සූප්පන්න ද’ කියලා. එ්ත් ඒක ආච්චිගෙන් අහන්න ඉතාලි භාෂාවෙන් කියා ගන්න මම දන්නෙ නෑ. ‘සූප්පනවට’ කියන ඉංග්‍රීසි වචනයත් ඒ වෙලාවේ මගෙ හිතට ආවේ නෑ. එහෙම වුණා නම් ඩික්ෂනරියෙන් හොයා ගන්න තිබුණා. අයියට කෝල් කරලා අහන්න හිතුනත් මගෙ හිත කිව්වා අයියත් දන්නෙ නැතිව ඇති කියලා. සීතා අක්කට කෝල් කරාට එයත් ගත්තෙ නෑ. රිංග්ස් යනවා විතරයි. සමහර විට Phone එක ද‌ාලා ගිහින් ඇති.   


ආච්චි මට කරන අරියාදුවලට ආච්චි එක්ක හැප්පෙන්න අවස්ථාවක් හොයන මට ඒ වචන ටික අහන්නම ඕනෑකම දැනුනේ. එයාට කන්න බැරි එක මං කොහොමද කන්නේ. ඉතාලියට හුඟක් පරණ අයියගෙ යාළුවෙක්ගෙ නම්බර් එකක් මට මතක් වුණා. එයාට කෝල් කළා එයාගෙන්වත් දැන ගන්න. උත්තර දුන්නේ එයාගෙ නෝනා. මම කථා කරා. මොන කෝලමක් ද කියලා එයාට දැනෙයි. මට දැන ගන්න උවමනා දේ එයාට කියන්න ගියොත් කොහොම හරි ‘කටු සූප්පන්න ද’ කියලා මට අහන්න බැරි වුණා.   


මම මේසෙන් නැගිට්ටේ මේ පිඟානම ආයි දවසක එයිනේ. එද‌ාට අහන්න හොයාගෙන දැනගෙන ඉන්නම්කෝ කියන සිතුවිල්ලෙන්.   


දින කීපයකට පසු   


හැන්දෑවේ 8 යි. ආච්චිගේ දුවගේ ගෙදර කන්න යන වෙලාව. ආච්චිගේ අතින් අල්ලගෙන හිමින් හිමින් ගියා. බෙල් කරලා සෑහෙන වෙලාවකට පස්සෙ තමයි දොර ඇරුනේ. වෙනද‌ා තිබ්බ සන්සුන්කම නම් ගෙදර තිබුණේ නෑ. ආච්චිගෙ නිපෝතේ (මිනිබිරී) සබ්රීනා Hand Phone එක අතේ තියාන එහෙට මෙහෙට කතා කරනවා. ආච්චිගේ දුව සිංඤෝරා පීනා වැලමිට මේසෙට තියාන අත් දෙකට ඔලුවෙ බර තියලා ලොකුම කල්පනාවක. අපි ආවා කියලා වගක්වත් නෑ.   


මම හැමද‌ාම ඉඳගන්න තැනින් ඉඳගත්තා. ආච්චි​ත් එයාට වෙන් වුණ පුටුවේ වාඩි වුණා. වෙනද‌ා එනකොට කෑම මේසෙට වීදුරු පිඟන් හැඳි ගෑරුප්පු තියලා වතුර බෝතලේ තියලා සේරම සූද‌ානම් කරලා තියෙන්නේ. අද ​ෙම්සෙට රෙද්දවත් ද‌ාලා නෑ. ආච්චිටත් වෙනස පෙනෙනවනේ. හුඟක් සංසුන්ව ආච්චි ඇහැව්ව ‘‘අද කන්නෙ නැතිද?’’   


‘‘අද මෙහෙ කන්න හම්බ වෙන්නෙ නෑ. ගෙදර ගිහින් තියෙන දෙයක් කාලා බුදිය ගන්න. මාක්ස් අද තුන් වේලම කෑවේ නෑ. සනීප නෑ. දැන් දොස්තර එනවා. ආපුවාම මේසෙ ඕනෑ වෙනවා. කොච්චර වෙලා යයි ද දන්නෙ නෑ. මෙහෙ කන්න ලෑස්ති කරන්න බැහැ.’’ සිංඤෝරා කෑ ගහලා කියනකොට සබ්රීනාත් අම්මටම පෝර දැම්මා. ‘‘මෙහෙටම කන්න එන්නේ. ගෙදර තියෙන දෙයක් හද‌ාගෙන කන්න බැරි ද?’’   


මේ කලබලේ එහෙනම් මාක්ස්ට සනීප නැතිව. මට මතක් වුණා දුඹුරු පාට ලොකු ඇස් දෙකක් තියෙන අළු පාට කබායක් පොරවගෙන පුටුව උඩට වෙලා බලා ඉන්න මාක්ස්ව. තුන් වේලක් නොකා උන්න මාක්ස්ට සනීප නෑ කියලා තමන්ගෙ අම්මට කන්න නොදී පිට කරන්න හදන අපූරු දුවෙක් ගැන කතාවක් මගෙ හිතේ ගොඩ නැගුනා.   


ආච්චි නැගිට්ටා. මගෙ අත්වාරුව අරගෙන මූණ දිහා නොබලාම ‘‘අන්දියාමෝ’ කිව්වා. දුව සේරටම කලින් නැගිටලා දොර ඇරලා බලාගෙන උන්නා. මට වඩා එයාට වටින්නේ එහෙනම් මාක්ස්ව. ආච්චි එහෙම කිය කියා පාර දිගට ආවේ. වෙලාව 9.30ත් පහුවෙලා.   
දරු සෙනෙහස හිඟාකන ආච්චිගෙ අසරණ ඇස් දෙකයි මාක්ස්ගෙ අහංකාර ආඩම්බර දුඹුරු පාට ඇස් දෙකයි මට මාරුවෙන් මාරුවට මතක් වුණා. ගෙදර ආපු ආච්චි කිරි එක බීලා ඇඳට ගියා. මම තක්කාලි ගෙඩි දෙකක් කපාගෙන ඔලිව් තෙල් ද‌ාලා ලුණු කුඩු ටිකක් ඉහාගෙන එ්කටම සැමන් ටික් එකක් කඩලා ද‌ාලා පාන් පෙති දෙකක් එක්ක කෑවා.   


මම ඔරසම් කියලා ඇඳේ දිගා වෙනකනුත් ආච්චිගේ ඉකි හඬ නතර වුණේ නෑ. පළවෙනි වතාවට ආච්චි ගැන මට දුකක් දැනුනේ. කවුරු උනත් හැමෝම තනි කරලා ද‌ාපු අසරණ අම්මා කෙනෙක් නේද කියලා. මට නින්ද ආවේ හුඟක් පමා වෙලා. ඒ වෙනකම් මගෙ හිතේ ඇදුනේ අර පෝරිසාදයා මාක්ස් ගැන. ඒ මාක්ස් වෙන කවුරුත් නෙවේ. හොර බැල්මක් තිබුණ තඩි බළලෙක්. පහුවදාට ගිහින් කාටවත් නොපෙනෙන්න උගේ උහංකාර ඇස් ගෙඩි දෙකට අනින්න මට හිතුනේ. සමහර විට ආච්චිටත් ඊට වඩා දරුණු සිතුවිල්ලක් එන්න ඇති.   
මාසයකට පසු   
මළවුන්ගෙ දවස. හැමෝටම නිවාඩු ඇති. මට නැති වුණාට. මට මෙසිනා යන්න බැරි වුණාට අයියා, මාලි අක්කා, පොඩි එකා, දිල්කි, සීතා අක්කා මාව බලන්න කතානියා ආවා. එයාලා සේරටම නිවාඩු, දිල්කිට සනීපත් නෑ. එ්ත් මේ වගෙ නිවාඩු දවසක් එන්නෙ කලාතුරකින් නිසා එයාලා බතුත් උයාගෙන ආවේ. හරියට ලංකාවේ නෑගම් යනවා වගේ. මං ඉන්න ගෙදර එයාලා දැක්කේ අද තමයි. එච්චර දුරක් ඉඳලා ආවා කියලා තේ එකක් බොමු ද, කිරි එකක් බොමු ද, කූල් එකක් බොමු ද කියලා අහන්න පුළුවන්කමක් නම් මට තිබුණේ නෑ.   


ආච්චි කිව්වා ඇවිදලා ගේ බලන්න කියලා. පුටුව උඩ ගොඩ ගහලා තිබුණ මගෙ ඇඳුම් පෙන්නලා මං කිව්වා මේ තමයි මගෙ අල්මාරිය කියලා. එක පැත්තක කෑල්ලක් නැති බිඳිලා තිබුණ කන්නඩිය පෙන්නලා මම කිව්වා මේක තමයි මං මූණ බලන කන්නාඩිය කියලා. ආච්චිට පස්ස හරවලා එළිවෙනකම් එකම පැත්තට හැරිලා නිදා ගන්න ආච්චිගේ ඇඳේ මට වෙන් වුණ පැත්ත පෙන්නලා කිව්වා මේ තමයි මං නිදාගන්න තැන කියලා.   


එයාලාට කුස්සිය, බාත්රූම් එක සේරම මං පෙන්නුවා.   


‘‘ඔයාම මෙහෙ ඉන්නවා මිසක් මං වගේ කෙනෙක් නම් මෙහෙම ඉන්නෑ’’ සීතා අක්කා කිව්වා.   


මේ කිසිම දෙයක් දුකක් විදිහට මං පිළිගත්තෙ නැත්​ෙත් මගෙ හිතේ තිබ්බ අහිංසක බලාපොරොත්තුව නිසා. එ් අධිෂ්ඨානය හිතේ තියාන මේ හැමදේම මං සතුටින් දරා ගන්නවා. මගේ කැපවීමට දවසක මට ප්‍රතිඵලයක් ලැබෙයි කියලා මං හැමවෙලේම හිතනවා.   
කොහොම හරි අද ආච්චිගෙ දුව එයාගේ ගෙදර උන් නිසා ආච්චිව එහේ තියලා එළියට ගිහින් එන්නම් කියලා අවසර අරගෙන අයියලත් එක්ක ආවා. දවල්ට කන්න ​ෙගනා බත් එක කන්න තැනක් හොයාගෙන සෑහෙන රවුමක් ගහලා පාළුවට ගිය ලොකු වත්තක් ළඟ නතර වුණා. කහ එළවළු බත් එකක්.   


අයියා කියනවා නිවාඩු දවසේ ටිකක් නිදාගන්න උන්නේ. කොහෙද මාලි පාන්දර ඉඳලා නැගිටගෙන ලයිට් දාගෙන ඉව්වේ කියලා. පාන්දර හතරේ ඉඳලලු ඉව්වේ. එළවළු බතුයි, කුකුල් මසුයි, අල තෙල් ද‌ාලා, සැමන් තෙල් ද‌ාලා, සම්බෝල හදලා, වම්බටු කිරට උයලා හුඟක් මහන්සි වෙලා තමයි ඇත්තටම. හරිම රහයි. කට දෑවට කලිසමේ බොත්තම ගලවගෙන පැදුරේ ඉඳගෙන කෑවේ. හරියට තාත්තලගේ ඩිපෝවෙන් යන ට්‍රිප් එකක් ගියා වගේ. මාලි අක්කා සේරම ජාති ලෑස්ති කරගෙන. කිසිම දෙයක් අඩුවක් වුණේ නෑ.

ප්ලාස්ටික් කෝප්ප, පිඟන්, අත පිහදාන්න, බත් කාලා කන්න පලතුරු. සේරම ගෙනත් තිබුණා. ඒත් එයාලා ආපහු මාව ගෙදර ගෙනත් ඇරලලා යන්න යනකොට නම් හිතට හරිම දුකක් දැනුනේ. මං විතරක් මේක අස්සෙ තනිවෙලා නේද කියලා පළවෙනි වතාවට හිතට දැනුනා. මගෙ උගුර හිර වුණා. අයියා, මාලි අක්කා, දිල්කි, සීතා අක්කා ‘යන්නම් ’ කියනකොට මට ‘හා’ කියා ගන්න බැරි වුණා.   
හවස පූජාවට ගියා. ටිකක් හරි හිතට සැහැල්ලුවක් දැනුනේ ඉන් පස්සේ.   

 

දින පොතේ අයිතිය:   
සී. තනුජා කුමුදිනී ප්‍රනාන්දු   
මෙසීනා, ඉතාලිය.