ඉතාලි ගොස් මුල් සිඳගත් අපේ ඇත්තන්ගේ විත්ති


කලකට ඉහත සයුරෙන් එ​ෙතර තීරයේ පළ වූ ඉහත මැයෙන් යුතු ලිපියට ඌන පුර්ණයක් ලෙස එවා ඇති මෙම ලිපිය පළ කරනුයේ කල් ගත වුවද එහි අන්තර්ගතය අදට ද ගැළපෙන බව සිතන නිසාය.   
මෙයට ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රතිචාර ඇත්නම් අගේකොට සලකමු. 

සයුරෙන් එතෙර තීරයේ පළ වූ උක්ත ලිපිය කියවා බැලීමෙන් පසු මෙය ලිවීමට සිතුණි. පළමුවම සඳහන් කළ යුත්තේ අදාළ ලිපිය මම බෙහෙවින් අගය කරන බවය. නමුත් අඩු පාඩු කීපයක් ද දකිමි.   


ලිපියේ සඳහන් බොහොමයක් කරුණු නිවැරදි යයි මා පිළිගන්නා නමුදු දක්වා ඇති එක් කරුණක් සම්බන්ධයෙන් නම් මා හට ගැටලුවක් පවතී. එනම් තම බිරිඳට හා දරුවන්ට මුදල් නොයවන පියවරුන් ද ඉතාලියේ ඇත. තමන් පමණක් කාබී සිටියහොත් ඇතිය කියා සිතනවා විය හැක.   


එසේ නම් එවැනි අය ඉතාලි ඒමෙන් පළක් නැත. යන වදන් පෙළ මීට වඩා ඔබ හොඳින් සහ පරිස්සමෙන් හැසිරුවා නම් වඩා හොඳ බව මා සිතමි. මක්නිසාද යත්, දැන් දැන් සමහර විට සමහරුන්ට ලංකාවට යැවීමට තබා ඉතාලියේ ජීවත් වීමටවත් නොහැකි අයුරින් ඉතාලියේ මූල්‍යමය සහ ආර්ථික වාසි රහිත වීමත් එසේ තිබුණත් අධික ආදායම් බදු ගෙවීම් වැනි වෙන වෙනත් අනිවාර්යයෙන්ම කළ යුතු ගෙවීම් වැනි කාරණා නිසාත් පෙර මෙන් ලංකාවට මුදල් යැවීමට පහසු නොවන තත්ත්වයන් ඇති විය නොහැකි යයි ඔබ සිතනවාද?   
විශේෂයෙන්ම අද යුගයේ ඉතාලිය තුළ දී තමන්ගේ පර්මෙස්සෝ දි සජ්ජෝර්නෝ (විසා පත) බලපත්‍රය සාදද්දී තමන් උපයා ගත් මුලු මුදලම (නිධානයකට බිලි වුණාක් මෙන්) ඉතාලි රජයට ඉබේම මෙන් ගෙවෙන ආකාරයක දැඩි හිංසාකාරී පීඩනකාරි සහ ආක්‍රමණකාරී ආගමන විගමන නීති පද්ධතියක් මගින් සකසා තිබීම නිසාම ඉතාලිය තුළ මුදල් ඉතිරි කර ගැනීමට හැකියාවක් නැති අයද සිටිති. මෙය කවුරුත් දන්නා රහසකි.   


විශේෂයෙන්ම යුරෝ නම් මුදල පැමිණි පසු ඉතාලි රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආර්ථික සහ අයබදු යන සියලු අංශ මධ්‍යම පාන්තික ජනයාගේ මුදල් ශක්තියෙන් එකට දෙකේ (1:2) වාසියක් ගත් බව කවුරුත් දන්නා දෙයකි.   


ඉතාලි ජාතිකයන් මත යැපුණු විදේශිකයන්ට ද අත් වූයේ මෙම එකට දෙකේ අවාසිමය ඉරණමය. එදා මිල්ල 1200 ක් ගෙවු රැකියාවට අදගෙවනුයේ යුරෝ 600 කි.   


(හරියටම භාගයකි. එය නම් හරියටම ගණන් බලා සතයටම ගෙවනු ලැබේ.) නමුත් අත්‍යාවශ්‍ය වියදම් වන නිවසක් කුලියට ගැනීම, ආහාර පාන, බෙහෙත් හේත් මිලදී ගැනීම් ලයිට් බිල් දුරකථන සෙලියුලර් වැනි වියදම් සම්බන්ධ​ෙයන් බලන කළ එදා මිල්ල 350 ට කළ ​ෙද්ට (අද දිය යුත්තේ යුරෝ 175 ක් වුවද) යුරෝ 350 ක්ම අය කරනු දැකිය හැක.   


ලැබෙන්නේ භාගයකි. එහෙත් වියදම යන්නේ එකකටය.   


මෙවන් විටක සෑම අයෙකුටම නොවුණත්, සමහර අයට, තම බිරිඳට, දරුවාට වත් මුදල් යවන්න සල්ලි උපයා ගන්නේ කෙලෙස දැයි කියා මම ඔබගෙන් පෙරලා ප්‍රශ්න කරමි.   


ශ්‍රී ලංකා​ෙව් සිටින බිරිඳට දරුවාට මුදල් යැවිය යුතු යැයි මා ද අවිවාදයෙන්ම පිළි ගනිමි. එහෙත් තාවකාලිකව හෝ යැවීමට හැකියාවක් කිසිසේත්ම නැත්නම් කළ හැක්කේ කුමක්ද? ඔවුන්ට මුදල් යැවීම සඳහා නීති විරෝධී වැඩ කර මුදල් ඉපයීමට ගොස් ඉතාලියේ හිරේ විලංගුවේ වැටුණ​හොත්, එදාට ඒ අයව බේරා ගන්නේ කවුද? මක් නිසාද යත් දැන් පෙරටත් වඩා තදින්ම ඉතාලි රහස් පොලිසිය විදේශිකයන්ගේ කටයුතු දෙස ඇස ගහ​ෙගනම සිටිති. විශේෂයෙන්ම ඇෆ්ගනිස්ථානය සහ ඉරාකය වැනි රටවල සිදුවීම් සහ සරණාගතයන් ලෙසින් එන අප්‍රිකා ආසියාතිකයන් කෙරෙහි රහස් පොලිස් ඇස නිරතුරුව තව දුරටත් දැඩිව පවතින යුගයක හිංසාකාරී සංක්‍රමණික නීති විදේශික විරෝධී ක්‍රියාකාරකම් එන්න එන්නම උත්සන්නව පවතී.   


 මේ සියලු දේවලට මැදි වු සමහරුන්ට සිදු වී ඇත්තේ කෝටි වලිගය අල්ලා ගත්තාක් වැනි තත්ත්වයකට ලක් වීමය. ඉතාලිය අත හැර ලංකාවට එමට ද සිතේ. නමුත් එසේ කළ හොත් තම ඉරණම කුමක්ද?   


යන සැකයද බල පවත්වන බැවින් සිත තුළ මතු වෙන ආවේග මැඩ පවත්වාගෙන ජීවත් වීමට හුරු පුරුදු වී සිටිති. උනු හන්දා බොන්නද බැරිය. කිරි හන්දා අහක දමන්නට ද බැරිය.   


වත්මන් ඉතාලියේ සමහර ලාංකික පියවරුන්ට පවා සිදුව ඇත්තේ මේ දේමය.   


මා ජීවත් වන කටානියා නගරයේ කුස්තූරා අංශය මෑතක සිට අලුත්ම නීතියක් පනවා ඇත. එයද අපේ බඩටම ගසමින් සහ ලංකාවට අපි යැවීමට ඉතිරි කර ගන්නා මුදල් ඉතිරි කිරීම ඉබේම මෙන් සීමා කරවන නීතියකි. එනම් සෑම විදේශික අයෙකුටම තමන්ට කියා කුලියට ගත්, ඉතාලි නගර සභාවේ අනිවාර්යෙන්ම, කුලී බදු ගිවිසුම් ලියාපදිංචි කළ නිවසක් හිමිව තිබිය යුතුය. එසේ නැති නම් එවන් නිවසක ආගන්තුක සත්කාර ලබන බවට සඳහන් ලිපියක් නැත්නම් සජ්ජෝර්නය කොන්ත්‍රාත් (රැකියා ගිවිසුම්) කොපමණ තිබුණද අලුත්කර නොදීමේ නව නීතියයි.   


අදාළ ආගන්තුක සත්කාර ලිපිය (තමන්ටම කියා කුලී නිවසක් නැත්නම්) අදාළ කුලී නිවස සම්බන්ධ​ෙයන් කුලී ගිවිසුම් ගසා තිබෙන විදේශිකයා විසින් තවත් අයෙකුට දීමට කොහෙත්ම අයිතියක් නැති නීතියක් ද පනවා ඇත.   


එනම් අදාළ කුලී ගිවිසුමේ උප කුලියට දීම් නිවෙස් හිමියා විසින් තහනම් කර ඇත්නම් නිවසේ හිමියා විසින් ද එකඟත්වය පළ කර ලිපියක් ලබා ගත යුතු වේ. එම ලිපිය සහ කුලී හිමියා​ෙග්​ යන ලිපි දෙකම තිබුණහොත් පමණක් සජ්ජෝර්නය අලුත් කර දෙනු ලැබේ.   
මේ සියල්ලේම තේරුම නම් දැන් දැන් විදේශිකයන්ට ඉතාලියේ මුදල් ඉතිරි කර ලංකාවට යැවීමට ඇති ඉඩ කඩට ඉතාලි රජය විසින්ම වැට කඩොලු බැඳ අවහිර කිරීමම නේද? මෙවන් විටකදී කවුරු ​කොහොම සිතුවත් තුවාලය ඇති කෙනා පමණයි. වේදනාව දන්නේ යන කියමන සිහිපත් නොවන්නේද?   


අනික ශ්‍රී ලංකාවට මෙහි සිටින ලාංකිකයන් කොපමණ මුදල් යැව්වත් ලංකාවේ අයට එම මුදලේ වටිනාකමක් නැති බවද මා සිතමි. මීට හේතුව නම් වී ඇත්තේ වෙන කිසිවක් නොවේ. විදෙස් රට වලදී යහමින් සරුසාර ලෙස මුදල් උපයන බොහෝමයක් අය කිසිදු විධිමත් මූල්‍යමය සහ ආර්ථිකමය පාලනයකින් සහ සැලැස්මකින් තොරව මුදල් හිතු හිතූ හැටියේ ලංකාවට යැවීමයි.   


ආදරය යනු මුදල් තිබුණද නොතිබුණද සුන්දරව පවතින දෙයකි. නමුත් බොහෝ විටකදී මුදල් වලින් ආදරය ප්‍රදර්ශනය කිරීමට යාම නිසාම ලංකාවේ ද බොහෝ පවුල් සංස්ථා මුදල් නමැති යක්ෂයාට බිලිව විනාශ වී ඇති අයුරු ද දැක ගන්නට හැක. මෙය මාගේ පෞද්ගලික මතයක් බැවින් කැමති අයෙකුට පිළිගැනීමට එකඟ වීමට හෝ හෙළා දැකීමට අවස්ථාව ඇති බව ද දන්වමි.   
ඔබ ලියු ලිපිය මා බෙහෙවින්ම අගය කරන බවද දන්වා සිටිමි.   


විපුල් හේරත්   
ඉතාලියේ සිසිලිය දුපතේ   
කටානියා නගරයේ සිට.