ගෙවීම ප්‍රමාද කළොත්  ඔබේ නමත්   “ක්‍රිබ්” එකට වැටේවි  

 

 

​වාහන අත්පත් කර ගැනීමේ නිලධාරීන් හෙවත් සීසර්වරුන් පිළිබඳව අපි ඉකුත් දා කළ හෙළිදරව්වට ප්‍රතිචාර රැසක් ලැබී තිබුණි. සීසර්වරුන් මෙන්ම වාහන අහිමි වූවන් ද දැනට වාහන ලබාගත් උදවිය ද ඒ අතර වූහ. ඔවුන් හෙළිකළ තොරතුරුවලට මේ සතියේ ඉඩක් වෙන් කිරීමට අපි තීරණය කළෙමු.   


මහජනතාව සිය වාහන ආශාව සාක්ෂාත් කර ගැනීමට ණයට වාහන මිලට ගැනීම දැන් දැන් විලාසිතාවක් බවට පත්ව තිබේ. එසේ වාහන ගත් අයගෙන් සැලකිය යුතු පිරිසක් මෙසේ කබලෙන් ළිපට වැටෙන තත්ත්වයට පත්ව ඇත. මෙය ඇතැම් අයට ඛේදවාචකයන් උද‌ාකර ඇති අතර ඇතැමුන් එය නිසියාකාරව ඉටුකර නැත්තේ ද නොවේ. මේ ඒ පිළිබඳ හෙළිකිරීමකි.   


සීසර්වරුන් වාහන පැහැර ගැනීම පමණක් නොව ණයට වාහන ගැනීම පවා රටේ ජනතාවගෙන් බහුතරයකට බලපාන ලද ප්‍රශ්නයක්ව තිබේ.   


ඔවුන් කිහිප දෙනෙකු අප වෙත දැක්වූ අදහස් කිහිපයක් මෙසේය.   


අනුන් ගත් පළියට වාහනයක් ගත් රත්නසිරිට වූ දේ   


“වාහනයක් ගන්න කාලයක් ඉඳන් සල්ලි ටික ටික ඉතිරි කළා. රූපවාහිනියේ හැමදාම වගේ වාහන ගන්න ඉන්න අයට වාසි සහගත ආයතන ගැන දැන්වීම් ගියා. ඒවත් දැක්කා. ඒත් අපි ඉක්මන් වුණේ නැහැ. දවසක් අපටත් වඩා පහළ ආදායම් ලැබෙන පවුලක අය කාරෙකකින් අපේ ගෙදර ආවා. වාහනය ගත්ත හැටි දැනගන්න මටත් වඩා බිරිඳට උවමනාව තිබ්බේ. එයාලගෙන් ඒ ගැන විස්තර දැනගත්තු බිරිඳ වාහනයක් ඉක්මනින් ගත යුතුම යැයි බල කළා. දරුවොත් ඒ අයගේ පැත්ත ගත්තා.   


මම කළ රැකියාවේ හැටියට වාහනයක් ණයට ගෙවන්න ගන්න ලොකු සල්ලියක් ලැබෙන්නේ නැහැ. ඒත් ඉතිරි කරපු සල්ලිත් දාල කාරෙකක් ඕනමයි කියන මගේ පවුලේ අය හිටි නිසා මාත් ආයතන කීපයකටම ගිහින් බලල හොඳයි කියල හිතුණ වාහනයක් තෝරගත්තා. පවුලේ අයත් එ්කට කැමති වූ නිසා වාහනය ගත්තා. වාරිකය මාසෙකට රුපියල් තිස්දාස් ගාණක්.   


ඇත්තටම අපි ගත්තු වාහනයේ මිල බලපු මාසයට වඩා ලක්ෂ තුන හතරක් වැඩිවෙලා තිබුණේ. කාරෙක අරන් මාස කිහිපයක් ගියේ නැහැ. ගෙදර ආර්ථිකය කඩා වැටුණා. කාරෙකින් ආදායමකුත් නැහැ. ඒත් ගෙදර ඔපේට තියාගෙන හිටපු එක විතරයි. ළමයින්​ගේ ඉගෙනීමට මගේ පඩිය මදි වුණා. ඒත් වියදම් කරන්නම ඕන නිසා වාරිකයක් දෙකක් ඇරියස් වුණා.   


මාත් ඒ ගැන වැඩිය හිතුවේ නැහැ.

   
තුන්වන වාරිකේ ළං වෙද්දිත් අපට ගොඩ එන්න අමාරු වුණා. පොලියට දඩ පොලිත් එකතු වෙලා ලොකු ගාණක් වුණා.  


ඒත් මාසයක් යන්න කලින් වාහනය ගෙනියන්න ආවා. ඒක ගෙනියන්න ආවේ මදාවි සෙට් එකක්. ඒ අයගෙන් කෙනෙක් මිනී මරල හිරේ ගිහින් ආව කෙනෙක්. බිරිඳගේ ගෙලට පිහියක් තියලා බය කරල යතුරයි පොතුයි අරන් තිබ්බේ. අපි ඒවා හංගල තිබ්බේ ගෙනියයිම කියලා. බිරිඳට එද‌ා පපුවේ අමාරුවත් හැදිලා. 

 
වාරික හතරකුයි දඩයි එක්ක ගෙවන්න තිබුණා. ඇපකාරයෝ බනින්න ගත්තා ඒ අයව ක්‍රිබ් එකට ගිහින් කියලා. අන්තිමට ලෝන් එකක්වත් ගන්න බැරිව ගියා. ගමේ තිබ්බ ඉඩමකින් කෑල්ලක් විකුණලා ඇරියස් ටිකයි වාරික කිහිපයකුයි ගෙවල ජා​මේ බේරගත්තා. ඒත් වෙච්චි ලැජ්ජාවයි, පාඩුවයි, හිත් වේදනාවයි තාම දැනෙනවා. මේ ණය හරියට කොටිවල්ගය අල්ල ගත්ත වගෙයි”   


දැන් වාහනය කාර්යාලෙට දාලා තියෙන්නේ. ඒකෙන් ආදායමක් ලැබෙන නිසා ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒත් එදා වාහනය ගන්න ආව සීසර්ල වාහනයේ සෙට් එක, ලස්සනට තියල තිබ්බ ටෙඩියෝ පවා අරන් තිබ්බා. කොටින්ම අපි බබෙක් වගේ වාහනය ප්‍රවේසම් කරල තිබ්බත් උන් වාහනය කාලා තිබ්බේ. ඒවා රෙපයාර් කරන්නත් අපට ගාණක් ගියා”   
ඒ ආණමඩුවේ රත්නසිරි මහතා අපට කියූ කතාවකි.   


පෙම්වතියව සවාරි ගෙනියන්න යතුරුපැදියක් ගත් අයට වූ දේ


ඔහු ස්ථිර රැකියාවක් නැති ඉඳහිට ලැබෙන කුලී රැකියාවක් කරන අයෙකි. වසර එකහමාරකට පමණ පෙර ඔහුට තරුණියක මුණගැසී පෙම් සබඳතාවක් පටන් ගති. තරුණියගේ පවුලේ අයට ඔවුන්ට වඩා අඩු ආර්ථිකයක් හිමි වුවද ඇයට යතුරුපැදියක් පවා තිබුණි. තරුණයාට ඇයව ඔහුගේම යතුරුපැදියකින් සවාරි ගෙනියන්නට සිතුණි.   


පවුලේ අයට තර්ජනය කර ලබාගත් රුපියල් ලක්ෂයක මුදලින් අඩක් ගෙවා පාවිච්චි කළ යතුරුපැදියක් ගත් ඔහු ඉතිරි මුදල්වලින් ඇයත් සමග විනෝද වීමටත් තම අවශ්‍යතා වෙනුවෙන් තබාගති. පළමු වාරිකය පමණක් ගෙවූ අතර ඉන්පසු ඔහු එය උගසට තැබුවේ වාරික දෙකක් ගෙවා ගත නොහැකි වූ තැනය.   


එතැනින් උගස බේරා ගැනීමට ඔහු ඉඳහිට කළ කුලී රැකියාවේ ආදායම මදිවිය. වාරික ද ​ගොඩ ගැසිණි. මිතුරෙකුගේ උදව්වෙන් උගස බේරාගත් ඔහු පෙම්වතියගේ ද උදව්වෙන් වාරික දෙක තුනක්ම ගෙවා දැමීය. ඒත් ස්ථිර රැකියාවක් නොකරන පෙම්වතා ගැන කලකිරුණ අැය ඔහුගේ වියදම් කිරීම නවතා දැමූ විට ඔහු නැවත අමාරුවේ වැටිණි.   
විනෝදයට බර නිසාත් පවුලේ බාල දරුවා නිසාත් ඔහුට පවුලක වගකීම් ගැන වගේ වගක් නැත්තෙකු විය. ඒ නිසා පොලියට මුදල් දෙන තැනකට රුපියල් 25000කට යතුරුපැදිය උගස් කර ඒ මුදලින් හිඟ වාරික කිහිපයක් ගෙවා දැමීය. අන්තිමට ඔහුට උගස බේරා ගැනීමට මුදල් නොමැති වූ අතර යතුරුපැදිය සින්න විය. 

 
උගස්කරු යතුරුපැදිය සැඟවූයේ හිමිකරු එය ඔවුන්ගෙන් පැහැර ගැනීමට මාන බලමින් සිටි නිසාය. දැනට රුපියල් දෙලක්ෂය ඉක්මවන වාරික හා මුළු මුදල පිළිබඳව ඇපකරුවන්ටත් නිවැසියන්ටත් ෆිනෑන්ස් සමගම දන්වා තිබේ.   


යතුරුපැදිය සොයාගත නොහැකි නිසා සීසර්වරුන් ද අමාරුවේ වැටී ඇත. සීසර්වරුන් ලෙසින් ඔහුගේ මිතුරන් කණ්ඩායමක් ලවා යතුරුපැදිය පැහැර ගැනීමට කළ තැත් ද අසාර්ථක වී තිබේ. මේ වන විට එක් ඇපකරුවකු අන්ත අසරණව සිටින්නේ සිය නිවසේ වැඩ කටයුතු නිමවා ගැනීමට ණයක් ගැනීමට සිටි සිහිනය බිඳ වැටීම නිසාය. මිතුරාව වරින් වර දැනුම්වත් කළ ද කිසිදු ඵලයක් නොවී ඇත. ඒ ඇපකරුවෙකු වූ විදිහ බණ්ඩාර අපට කියූ කතාවයි.   


දරුවන් සමග රියැදුරා එළියට දමා වාහනය ගත් හැටි   


අපි එදා අනුරාධපුර, යාපනේ හන්දියෙන් රඹෑව පැත්තට යන්න හිටියේ. රේල් ගේට් එක වහල තිබ්බේ. අපට ඉස්සරහින් තිබ්බේ කාරෙකක්. එක පාරටම තුන් පැත්තකින් විතර තුන් හතර දෙනෙක් දුවගෙන ඇවිත් කාරෙකේ දොරවල්වලින් ඇතුළට යන්න හැදුවා. ඩ්‍රයිවර්ට බනිනවා. ඒ මනුස්සයව ඇදලා ගන්නමයි හැදුවේ. වාහනේ ඇතුළේ හිටි ස්කෝල ළමයින් දෙන්නෙක් කෑ ගහවා. රේල් ​ගේට් එක ඇරියා. අර මනුස්සය වාහනේ දොරවල් අරින්න නොදී තියාගත්තා. අර මිනිස්සු දොරවල්වල එල්ලිලාම හිටියා. ලොකු කලබලයක් වුණේ.   
අන්තිමට රියදුරා වාහනය ඇද්දුවා. අර මිනිස්සුත් එල්ලිලාම ගියා. රේල් පාර උඩදි වාහනේ නතර කරගෙන යතුරු අරන් අර ඩ්‍රයිවර්වයි. ළමයින්වයි එළියට දාල උන් වාහනේ අරන් ගියා. එතන මාර විදියට ට්‍රැෆික් එක තිබුණේ. මිනිස්සුත් පිරිල බලන් හිටියත් කවුරුවත් උදව්වට ආවේ නැහැ. අර ළමයි කෑ ගගහ අඬනවා. අර මිනිස්සු උල්පිහි පෙන්නල බය කරල තිබුණා. ඒ නිසයි කවුරුවත් උදව් නොකළේ. ළමයින්ගේ පොත් බෑග් ඉස්සරහින් විසි කරල යනවා අපි බලාගෙන. එදා යාපනේ හන්දියේ හිටි අයට ඒක අමතක නොවෙන සිදුවීමක්.   
ඒ ඇසින් දුටුවකුගේ සාක්ෂියි.   


පොලිසියට ද චෝදනා   


මෙවන් වූ විවිධ කතා සමාජයේ විවිධ තැන්වලින් අසන්නට ලැබේ. සීසර්වරුන්ගේ නොපණත්කම් වාහන ගත් අයගේ නොමනා ක්‍රියා මෙන්ම, ඇපකරුවන් මුහුණ දී ඇති ගැටලු ආදී විවිධාකාර ප්‍රශ්න මෙම වාහන ණයට ගැනීමේ ක්‍රියාවට අදාළව අසන්නට, දකින්නට ලැබේ. එපමණක් නොව මෙම ක්‍රියාවන් හමුවේ නීතියේ සරණ පැතූ අයට ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා සේ පොලිසියෙන් පිහිටක් නොලැබුණු අවස්ථා ගැන ද අසන්නට ලැබේ. මේ එවන් කතා කිහිපයකි.   


පොලිසිය පැමිණිල්ල භාරගැනීම නොසලකා හරියි   


මගේ ත්‍රීවිලර් එක ෆිනෑන්ස් එකෙන් ඉස්සුවේ මාස කීපෙකට කලින්. මගේ සල්ලියි. තවත් බඩුවගයකුයි අතුරුදන් වෙලා තිබ්බ නිසා මම ඒ ෆිනෑන්ස් එකෙන් ඉල්ලුවම එහෙම මුකුත් තිබ්බේ නෑ කීවා. මම පොලිසියට ගියාම ඒකෙ මහත්තුරු මටම දොස් කීවා මිසක් පැමිණිල්ල ලියා ගත්තේ නැහැ. ගෙවන්න ගත්ත නම් ගෙවන්න ඕනනේ. වගේ කතා කීව මිසක් මට වෙච්ච අසාධාරණය ගණන්වත් ගත්තේ නැහැ. ඒ නිසා මං පොලිස් අධිකාරි කාර්යාලයට ගිහින් එස්.පී. මහත්තයට විස්තරේ කිව්වා.   


මං ඉදිරියෙ දීම ඕ.අයිසී. මහත්තයට එන්න කියල කීවම පොතත් අරන් ඇවිත් පැමිණිල්ල ලියා ගත්තා. දැන් වාහනය පොලිසියේ නඩුත්දාලා. ම​ගේ බඩු හොරකම් කරල තිබ්බේ සීසර්ලයි, ඒත් ඔවුන් ඒක පිළිගත්තේ නැති නිසා මාත් ඒවා ඉල්ලලම හිටිනවා”   


ඒ මාතලේ හන්දියේ ධම්මික මහතාට වූ අසාධාරණයකි.   


වෙනකක් තබා ඔහුගේ මව ද පොලිස් නිලධාරිනියක ලෙස සේවය කරන්නියකට එවන් ආකාරයේ පැමිණිලි භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට හේතු ගැන සීසර්වරයකු ලෙස කලක් සේවය කළ අයෙකු කළ හෙළිදරව්වකි මේ.   


ඕකට හේතු කීපයක් තියෙනවා. වාහනයක් අත්පත් කරගන්න කලින් පොලිසියේ පැමිණිල්ලක් දාන්න ඕනනේ. ගොඩක් වෙලාවට පළාතේ ඉන්න ප්‍රධාන සීසර්ලයි, පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ඉන්න වාහන සම්බන්ධ පැමිණිලි භාර ගන්න නිලධාරිනුයි හිතවත්. නිලධාරීන් දෙන්නෙක් තුන් දෙනෙක් විතරයි ඔය පැමිණිලි ලියා ගන්නේ. වෙන කෙනෙක්ට ආවත් අර නිලධාරීන්ටම ඒවා යොමු කරනවා. ගොඩක් පොලිස් ස්ථානවල මේවා වෙනවා.   


වාහන පැහැර ගන්න කලින් පැමිණිල්ල ලියන්න ඕනෑ. සීසර් වාහනය අරන් කේස් එකක් ඇදෙයි වගේ නම් කෝල් එකක් දීල පැමිණිල්ල ලියවගන්නවා. කස්ටමර්ගේ පැමිණිල්ලට කලින් ඒක ලියවගන්න උත්සහ ගන්නවා.   


අනික තමයි මුල් පැමිණිල්ලට රුපියල් 100 ඉඳන් 500 දක්වාවත් දෙන්න ඕන. දෙවන පැමිණිල්ල දාන්නේ එහෙමත් කෙනෙක්නේ. ඒ දෙවැනි එකටත් කෝල් එකක් දීල දම්මවාගෙන පිටපතත් අරන් තියන රාලහාමිල මට හම්බවෙලා තියෙනවා.   


එතකොට ඉතින් එයාල කියන යෝජනාවලට කැමති වෙන්නත් ඕනෑ. රුපියල් ද‌ාහ දෙද‌ාහ අරක්කු බෝතලයක් පෙට්‍රල් ගහන්න වගේ ඉල්ලීම් තියෙනවා.   


අසාධාරණයක් වුණා කියාගන පොලිසියට එන කස්ටමස්ලව රස්තියාදු කරවන්නේ පැමිණිලි ද‌ාන එක එපා කරවන කතා කියල හිත වෙනස් කරවල ආපහු යවන්නේ ආන්න එහෙම ජරාව කාපු අයයි.   


අනික වාහනයක් හොරකම් කරන එක කෝමටත් නීති විරෝධී වැඩක්. ෆිනෑන්ස්වලින් වාහන උස්සන්න කලින් පැමිණිලි ද‌ාන්නේත් ආන් ඒ නිසා. ඒකට නීතිමය ආවරණයක් ගන්නයි. රජය මෙවැනි දේවල් ගැන අවධානය යොමු කරන්න ඕනෑ.   


අනික වාහන අත්පත් කරගන්න කාරණය. ඉඩම් සම්බන්ධව බැංකු හා මූල්‍ය ආයතනවලට ඇති ක්‍රියාමාර්ගම තියෙන එකක්. ඒත් ඉඩම් වෙන්දේසි කරන්න පුළුවන් වුණාට වාහනවලට එහෙම නීතියක් නැහැ. ඒකයි පැමිණිලි ද‌ාලා වැඩ පටන් ගන්නේ.   


අනික ගෝලයෝ විදියට ගන්න අය වාහනවල අමතර කොටස්, උපාංග, උපකරණ ගලවල අරන් තමයි යාඩ් එකට වාහනය ගෙනිහින් ද‌ාන්නේ. ඒක ප්‍රධාන සීසර්ලට හොරෙන් කරන්නේ. කුලියට වැඩ කරන ගෝලයෙකු මහත්තුරු වගේ හැසිරෙන අය නොවේ. ඒ අය සමාජයේ හොඳයි කියන නම්බු නාම විඳින අය නෙවෙයි. ඔන්න ඕකයි ඇත්ත කතාව ඔහු කීවේය.   


වාහන ණයට ගැනීමේ ක්‍රමවේදයේ පවතින ගැටලු කිහිපයක් ද අපට එළිදරව් විය.   


ඉදිරි සතියක දී මේ සම්බන්ධව අදාළ ආයතනවල අදහස් සහ නීතිය ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව ඔබව දැනුම්වත් කරන්නෙමු.   


වාහනයක් ලීසිං හෝ ෆිනෑන්ස් කර මිලට ගන්නා අය ඒවට පොලිය සෑදෙන ආකාරය පිළිබඳව දැනුම්වත් නොකරන බවට චෝදනා නැගේ. වාරික අතපසු වන විට පොලිය සෑදෙන අයුරු පවා නොකියන බව පාරි​​භෝගිකයන්ගේ චෝදනාවයි.   


ගෙවන වසර ගණනට අනුව වාරිකයක මිල නියම කරන අතර එය බොහෝ දෙනෙකු විමසීම් නොකරන දෙයකි. එසේත් නැතිනම් නොසලකා හරින දෙයකි. මන්දයත් වාහනය ගැනීම, ඇප අත්සන් කිරීම ඔවුන්ට ඒ මොහො​තේ දී වඩාම වැදගත් වන බැවිනි. ඒ හැර තවත් කාරණා කිහිපයක්ම අතපසු වන අතර ඒවා ගැන සැලකිල්ලක් දක්වනුයේ වාහනයේ වාරික අතපසු වීමෙන් අනනතුරුව වීම ද සුලභ දෙයකි.   


මේ එවන් කාරණා කිහිපයක් ගැනය.   


රාජ්‍ය භාෂාවෙන් ලිපි ලේඛන නැත   


වාහන ෆිනෑන්ස් හෝ ලීසිං සමාගම් සිය පාරිභෝගිකයන්ට ඉදිරිපත් කරන සියලු ලිපි ලේඛන ඇත්තේ ඉංග්‍රීසි බසිනි. සිංහල පමණක් හෝ දෙමළ පමණක් කියවා තේරුම් ගත හැකි ජනතාවට මෙය ඉමහත් ගැටලුකාරී තත්ත්වයකි. මන්දයත් සමාගම්වල නියමයන් හෝ කොන්දේසි යනාදිය නොදැන ඔවුන් එම ලියවිලිවලට අත්සන් කරයි. අදාළ සමාගම් නියෝජිතවරුන් පෙන්වන තැනක එසේ අත්සන යොදන ගැනුම්කරුවා අමාරුවේ වැටී ඒ ගැන සමාගමෙන් විමසන විට “ඇයි ඔයාල අත්සන් කරලනේ ගත්තේ” යැයි කියති. එවිට ගැනුම්කරුවා අසරණය.   


සමාගමේ නියෝජිතයන් පෙන්වන තැන්වල අත්සන යොදා සිය වාහන හෝ දේපළ මිලට ගත් අයගේ බහුතරය අවම වශයෙන් අදාළ කොන්දේසි ගැනවත් දැනුම්වත් නැත. එය බරපතළම ප්‍රශ්නයක් බවට පත්ව ඇත.   


ජනතාව ඉද්දි සමාගම් ඉංග්‍රීසිවලින් ලියැවිලි හැදීම වැරදියි. අප ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ මේ ගැනත් එතුමාගේ උනන්දුව යොමු කරන්න කියලයි.” ඒ ඔවුන් කරන ලද ඉල්ලීමය.   


ඔවුන්ගේ එම චෝදනා සත්‍යාසත්‍යතාව ගැන අපි කිසිවක් නොකියමු. එහෙත් මව් බසින් ලියවිලි තිබුණත් පාරිභෝගිකයන්ගෙන් කොටසක් හෝ එසේ ගෙවීම් පැහැර හැරීම සිතාමතා සිදුකරන බව සමාගමකින් පත් කරන ලද ප්‍රධාන සීසර්වරයෙක් අප වෙත කීවේය.   


“ගහට නැංග මිනිහටත් කියන්න දෙයක් තිබ්බා කියනවනේ. එහෙම ඉතින් තමන්ගේ අතේ වරද තියෙද්දී අපට චෝදනා කරල අත පිහදාගන්න ලේසියි නේ. ඒත් ඉංග්‍රීසියෙන් තිබ්බත් අපි තේරුම් කරලනේ වාහනය දෙන්නේ. ගැනුම්කරුවා වැරදි කළාම අපිට බනින එක හරිද?” ඔහු අපෙන් විමසීය.   


සීසර්වරුන් එසේ ගැනුම්කරුවන්ට චෝදනා කරන විට ණයට වාහන දෙන ආයතනවලට තවත් චෝදනාවක් පාරිභෝගිකයාගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් විය.   


ණය ආපසු ගෙවීමේ හැකියාව බලනවාද?   


මහ බැංකුවේ ලියාපදිංචි බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් ණය මුදලක් ලබා ගන්නාවිට සලකා බලන ප්‍රධාන කාරණය ණය ආපසු ගෙවීමේ හැකියාවක් තිබේද යන්න ගැන බරපතළව සොයා බැලීමයි. රාජ්‍ය හෝ පෞද්ගලික අංශයක වැටුප් වාර්තාවක් හිමි නම් එම අයදුම්කරු ණයක් ලබා නැත්නම් වැටුපෙන් සියයට හැටකට වාරිකයක් උපරිමව සකසා ණය ලබාදීම සාමාන්‍ය ක්‍රමවේදයයි. ඉන් ඔබ්බට කිසිදු ණයක් ලබා දීමට මෙකී ආයතන ක්‍රියා කරනුයේ නම් එයට සරිලන ආදායම නීත්‍යනුකූලව පෙන්වා දිය යුතුය.   
එම නිසා අවදානම් ක්‍රියාවකට එකී ආයතන පෙළඹෙන්නේ නැත. මන්දයත් ණය අයකර ගැනීමේ හැකියාව පැහැදිලි ලෙසම තහවුරු වුවහොත් මිසක ඔවුන් ණය නොදෙන නිසාය.   
එහෙත් ෆිනෑන්ස් හෝ ලීසිං සමාගමකට වාහනයක් මිලට ගැනීමට යනවිට ඒවා සලකා බලන්නේ නැත. හැඳුනුම්පත් අංකය යොදා ණය තොරතුරු කාර්යංශයේ සිටිනවා ද නැද්ද යන්න ගැන පමණක් සලකා බලා ආපසු ගෙවන කාලය ගැන අවසන් නිගමනයට එළැඹ වාරිකයක ප්‍රමාණය දක්වයි. එයට ආදායම් වාර්තා අනවශ්‍යය. ණය ආපසු ගෙවීමේ හැකියාවක් තිබේද? ආදායම් මාර්ග මොනවාද? යන්න ගැන පවා එහිදී සලකා බැලීමක් නොකරයි. යන්න පාරිභෝගිකයන් ගේ චෝදනාවයි.   


මේ වන විට වෙළෙඳ පොළේ ඇති ඉල්ලුම අධික සන්නාම ඇති යතුරුපැදියකට පවා රුපියල් තිස් හතළිස් දහසක් ගෙවා ණයට ගැනීමට හැකියාව අවුරුදු 18 පිරුණ ඕනෑම පුරවැසියකුට පුළුවන. ඔහු රැකියාවක් කරන්නේද? නැද්ද? යන්න ඔවුන්ට අදාළම නැත.   


අප ඉකුත් දා කී සීතා කුමාරිගේ කතාව ඔබට මතක ඇත. ඇය කළේ සමෘද්ධි බැංකුවෙන් ණයක් ගෙන එය නවතම යතුරුපැදියක් ගැනීමට යෙදවීමයි. ඇය එම යතුරුපැදිය වෙනුවෙන් මසකට රුපියල් 12,000කට අධික වාරික දෙකක් ආයතන දෙකකට ගෙවීමට බැඳී සිටියාය.   


එහෙත් ඇය ඒවා නොසලකා හැර සිය අවශ්‍යතාව වෙනුවෙන් කූට උපක්‍රමයක යෙදී මිතුරියකගේ නමට යතුරුපැදිය ගැනීමට පවා උත්සුක වූවාය. අවසානයේ දී සීතා කුමාරි වෙනුවෙන් උදව්වට ආ තිදෙනෙකු තවත් වසර ගණනාවක් යනතුරු කිසිදු ණයක් ලබාගත නොහැකි ආකාරයේ ගැටලුවකට මැදි විය.   


බැංකු හා මුල්‍ය ආයතනවලින් ණය ගෙවීම පැහැර හැරීමේ වරදට කලක් තිස්සේ හසුව තිබූ ඇය එම තත්ත්වයටම තම හිතවතියන් ද පත් කර දැනටත් නිහඬව සිටින්නීය. මෙය සීතා කුමාරි මෙන් වූ බොහෝ දෙනෙකු කරන වරදකි.   


ක්‍රිබ් එකට වැටීම   


තම ප්‍රවාහන ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට වාහන සිහිනයේ දැවටුණ අයගෙන් බහුතරයක් දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව ණය තොරතුරු කාර්යංශයේ අසාදු ලේඛන ගතවීම හෙවත් අක්‍රමික ණය ලැයිස්තුවට (Crib) වැටී ඇත. රුපියල් ලක්ෂ දෙකේ තුනේ යතුරුපැදි මිලට ගත් බහුතරයක් මෙසේ අක්‍රමික ණය ලැයිස්තුවට සිය නාමය ඇතුළත් කර ගන ඇත. ඒ අවම රුපියල් හය හත් දහසක් බැගින් වූ වාරික තුන හතරක් නොගෙවීමේ වරදටය.   


එසේ ගැනුම්කරුවා පමණක් අසාදු ලේඛන ගතවීමක් සිදුවන්නේ නම් කම් නැත. එසේ ණයට වාහන ගැනීමට ඇපකරුවන් වන දෙදෙනා පවා ඊට ඇතුළත් වීම මෙහි ඇති බරපතළ තත්ත්වයයි. ගැනුම්කරුවා මුළු මුදලම එකවර ගෙව්වහොත් විනා ක්‍රිබ් එකෙන් තෙවසරක් ගතවන තුරු නම ඉවත් කර ගැනීම උගහටය. ඇතැම් ආයතන විසින් තමන්ට හිඟ වූ වාරික කිහිපයේ මුදල් ගැනුම්කරු විසින් ‘කෙටි කලක් ඇතුළත තැන්පත් කළහොත් අක්‍රමික ලැයිස්තුවෙන් නම ඉවත් කර ඇති බවට ලිපි ලේඛන නිකුත් කරයි.   


එහෙත් එසේ සෑම ආයතනයක්ම කටයුතු නොකරයි.   


ඇතැම් ආයතන සීසර්වරුන් ලවා යතුරුපැදිය ඉස්සූ පසු තමන්ට අයවිය යුතු මුදල් ගැනීමට ඒවා අඩු මුදලකට වෙන්දේසි කරති. එසේ වෙන්දේසි කිරීමෙන් පසු ඇපකරුවන්ටත් ගැනුම්කරුවන්ටත් අසාදු ලේඛනයෙන් නම ඉවත් කරන ලද බවට දැනුම්වත් කිරීමේ ලිපි යවති.   


සෑම ආයතනයක්ම එසේ නොකරති.   


රජය විසින් වර්තමානයේ දී සිදු කරන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන වැනි වැඩසටහන් වලින් රටවැසියා ඉහළ ආදායම්ලාභීන් බවට පත් කිරීමේ යෝධ ඉලක්ක වෙත යමින් සිටී. එහෙත් එවැනි පහසු ණය වැඩසටහන්වලින් පවා ණය ගැනීමට අසාදු ලේඛන ගත වූවන්ට නොහැකිය. යතුරුපැදියක් ත්‍රිරෝද රියක් ට්‍රැක්ටරයක් ණයට ගත් ගොවීන්ට හෝ සාමාන්‍ය පාන්තික ජනතාවට මෙවන් රාජ්‍ය අනුග්‍රහය ලබන වැඩසටහන්වල ප්‍රතිලාභ ලබාගත නොහැකි මට්ටමට පත්ව ඇත්තේය.   


මෙම “ක්‍රිබ්” ගත වීම ගැන සලකා බලන විට ග්‍රාමසේවා වසමකින් තිස් දෙනෙකු ණය වී යතුරුපැදි හෝ වාහනයක් ගත්තේ යැයි සිතමු. එවිට උපරිම 90 දෙනෙක්වත් එයට සහභාගි වේ. මොවුන්ගෙන් නිසි පරිදි ණය ගෙවීමට විසි දෙනෙකුට නොහැකි වුවහොත් උපරිම වශයෙන් 60 දෙනෙකුගේ නම් “ක්‍රිබ් එකට” වැටේ. පිරමීඩ ජාවාරමට වඩා බරපතළ සිදුවීමකි.   
මෙය බරපතළ තත්ත්වයක් වන්නේ බො​හෝ අය මෙකී අවදානමට මුහුණ දී ඇත්තේ නොදැනුවත්කම හෝ නොසැලකිල්ල නිසා වීමය. වාහනය මිලට ගැනීමට පෙර මෙවන් තත්ත්ව ඇති වුවහොත්, මෙවන් ආකාරයේ ගැටලු ඔබට විඳීමට සිදුවන්නේ යැයි එකී ආයතන විසින් දැනුවත් කළහොත් විනා මේ ප්‍රශ්නයෙන් ගොඩ ඒමට මගක් නැත.   


එකී ආකාරයේ දැනුම්වත් කිරීමකට ලාභය වෙනුවෙන් ක්‍රියාකරන සමාගම් කටයුතු කිරීමට පෙළඹෙතැයි සිතීම ද උගහටය. තමාට මුහුණ දීමට සිදුවිය හැකි උපරිම ප්‍රශ්නය පිළිබඳව හා අවම ප්‍රශ්නය පිළිබඳව පැහැදිලි කිරීමක් ගැනුම්කරුවාට පැහැදිලි කරවීම මෙකී ආයතන විසින් සිදු කරනුයේ නම් ඇතැම් විට සීසර්වරුන්ගේ අවදානම් සහගත ඉදිරිපත් වීම් පවා සමාගම්වලට අනවශ්‍ය වනු ඇත.   


වාහනයක් ගැනීමට සිහින දකින අය සිහිනවලම අතරමං කිරීම අප අරමුණ නොවේ. එහෙත් ණය හරිහැටි නොගෙවීම නිසා සිදුවිය හැකි ​දේ පිළිබඳව ඔබ දැනුම්වත් කිරීම අප යුතුකමකි.   

 


පුෂ්පා වීරසේකර