(රවී ලියනගේ)
 
ආබාධිත රණවිරුවන් ඇතුළු සියලු රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ජීවිතාන්තය තෙක් ලබාදෙන ලෙස රජයට බල කරමින් අක්මීමන ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අද(17) විරෝධතා පුවරු රැගෙන මාසික රැස්වීමට පැමිණියහ.

සභාපති සේන කළහෙවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මාසික සභා රැස්වීම පැවැත්විණි.

මන්ත්‍රීවරු අටදෙනෙක් පමණ විරෝධතා පුවරු රැගෙන මාසික සභා රැස්වීමට පැමිණියහ.
 
සභා රැස්වීමේදී අදහස් දක්වමින් ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී සංජීව සම්පත්  මහතා මෙසේ පැවැසීය.
 
“මාතෘ භුමිය රැක ගැනීමට කැපවී ක්‍රියාකළ රණවිරුවන් සහ ආබාධිත රණවිරුවන් තමන්ට විශ්‍රාම වැටුප ලබා දෙන ලෙස සාධාරණ ඉල්ලීමක් කරනවා. ඔවුන්ගේ ඉල්ලීමට සාධාරණයක් රජය විසින් වහා ඉටු කළ යුතුයි” යැයි හෙතෙම කීවේය.