(උපාලි ආනන්ද)
           
සිය බාල වයස්කාර පුතාගේ උදරයට සහ ලිංගේන්ද්‍රයට   පයින් පහරදී ඔහු කෲරත්වයට පත් කළ බවට  අනුරාධපුර මහාධිකරණය හමුවේ  අධිචෝදනා  ලැබ  සිටි හිටපු යුද  හමුදා අබාධිත සෙබෙළකු එකී චෝදනාවට වරද පිළිගත් පසුව ඔහුට  වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියමකළ අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු සහ උතුරු මැද පලාත් බද සිවිල් අබියාචනා මහාධිකරණයේ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා එම සිර දඩුවම වසර 20 අත් හිටුවීමට අද (20) නියෝග කෙරිණි.

 
ඊට අමතරව පැමිණිලිකාර  තම දරුවාට රුපියල් ලක්ෂ හතරක  වන්දියක් ගෙවන  ලෙසටද විත්තිකාර හිටපු යුද හමුදා ආබාධිත සෙබළාට නියෝග කළ  මහාධිකරණ විනිසුරු ප්‍රේමචන්ද්‍ර මහතා   එම වන්දි මුදල නොගෙවන්නේ නම් විත්තිකරු තවත් වසරක සිර දඩුවමකටද   යටත් කෙරිණ.

මෙරට  තිස් වසරක් පැවති උතුරු නැගෙනහිර යුද්ධය අවසන් කිරීමට  විත්තිකරු යුධ හමුදා සෙබලෙකු ලෙස සක්‍රිය දායකත්වයක් ලබාදී ඇති බවත් එහිදී ඔහු  සිය දකුනු පාදය සහ ඇසද අහිමි කර  ගෙන ඇති බවත් පෙනී යන්නේ යැයි ද  තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සදහන් කල මහාධිකරණ විනිසුරු ආචාර්ය සුදුමු ප්‍රේමචන්ද්‍ර මහතා විත්තිකරුගේ දඩුවම් නියම කිරීමේදී ඒ පිළිඳව සැලකිල්ලට ගන්නා බවද කීවේය.

එමෙන්ම විත්තිකරුගේ මානසික්තවය මෙන්ම විත්තිකරු මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීමත් ඔහුට පෙර වැරදි නොමැතිවීමත් විත්තිකරු කෲරත්වයට පත් කර ඇති ඔහුගේ දරුවාට දීර්ඝ කාලීන රෝගී තත්වයක් නොමැති වීමත් විත්තිකරුට දඩුවම් නියම කිරීමේ සළකා බලන බවද  මහාධිකරණ විනිසුරුවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

2017 වසරේ ජූනි මස 14 වන දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අත් මිහින්තලේදී වයස අවුරුදු 16 ට අඩු තම බාල වයස්කාර දරුවාගේ බාරකාරත්වය හා ආරක්ෂාව දරා සිටිමින් එකී ළමයාට   වේදනාවක් හෝ ඔහුගේ සෞඛ්‍යයට හානියක් සිදු විය.

හැකි ආකාරයට එකී ළමයාට  ඔනෑකමින්ම අඩත්තෙට්ටම්  කිරීමෙන් හිංසා කිරීමෙන් නොසලකා හැරීමෙන්  එම ළමයාගේ උදරයට හා ලිංගේන්ද්‍රයට පයින් පහර දීමෙන් ලංකා දන්ඩ නීති සංග්‍රයේ  308 (ආ) (2) වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බවට නීතීපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණි.

මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය  හමුවේ  පැවැති අතර නීතිපතිවරයා විසින් විත්තිකරුට අධි චෝදනා බාර දීමෙන් අනතුරුව එහි වැඩිදුර විභාගය අනුරාධපුර අංක දෙක මහාධිකරණයට යොමු කර තිබිණි.
 
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ අග්බෝ පන්ඩිතරත්න මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ ප්‍රියදර්ශනී අත්තනායක මහත්මිය පෙනී සිටියාය.