“මත්ද්‍රව්‍ය ජාවාරම”, ශ්‍රී ලංකාව ගිල ගත්තේ විවෘත ආර්ථිකයේ දොරටු විවෘත වීමත් සමඟමය. තර්කයකින් තොරව පිළිගත යුතු සත්‍යයය එයයි. විවෘත ආර්ථිකයේ අවභාවිතයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස බිහිවූ “මත්කුඩු ජාවාරමේ” අනෙක් පැත්ත “කුඩු පාතාලයයි.“ එය එකම කාසියේ දෙපැත්ත මෙනි.

“පාතාලය” යන්නට පෙර අප අසා ඇත්තේ “චණ්ඩි” ගැනය. මරදානේ චොප්පේ, සොත්ති උපාලි, තට්ටේ සෝමේ, පොළොන්නරුවේ පොඩි විජේ, අග්ගොන චන්දරේ වැන්නෝ එදා ගමක් බය බිරාන්ත කළහ. එක් පැත්තකින් යුක්ති සහගතව ජීවත් වූ ඔවුහු පොලීසියට පක්ෂපාතී නොවූහ. එහෙත් පසු කලෙක දේශපාලන වුවමනා එපාකම් හමුවේ එය “පාතාලය” බවට හැරෙන්නට වූ  බව නොරහසකි. ඒ සංස්කෘතිය මුළු රටටම කොඩිවිනයක් වූයේ පාතාලයන් ගෝඩ්ෆාදර් කිරුළ හිමිකර ගැනීමේ බල අරගලයට මැදි වීමනිසාය.

කසිප්පු නිසා ‘කැලණියේ ඩයස්’, හෝටලයක් නිසා ‘ඉතාලි ජගත්” වැන්නවුන්ගේ ඝාතනත්  සමඟ ඇරැඹී පාතාල බල අරගල අද වන විට සමාජයේ වෙසෙන සාමකාමී ජනතාවට මහත් හිරිහැරයක් ගෙන දෙන්නක් වී හමාරය. කඩු, කිණිසි ඉතාමත් වේගයෙන් ටී 56, බෝම්බ බවට පත්විය.

මත්කුඩු වෙළෙඳාම ඔස්සේ ගොඩනැගුණු පාතාලය සියල්ලටම වඩා දරුණුය. මාලිගාවත්ත, දෙමටගොඩ, බොරැල්ල, මරදාන, කඩුවෙල, මොරටුව පමණක් නොව අද වන විට දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා මේ පාතාලයෝ ඔවුන්ගේ අණසක පතුරුවා ඇත්තාහ. තිස්වසරක කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදයේ වත් නොමැති දරුණු අහිතකර බලපෑම් දැන් දැන් පාතාල කෙරුමෝ කරන්නට පටන් ගෙන ඇත. කොටි  ත්‍රස්තයන් රට දෙවනත් කරමින් ඇති කළ දෝංකාරයේ නිහැඬියාව අද බිඳිමින් හිඳින්නේ මේ පාතාලයයි. එහි අලුත්ම හඬ ඇසුනේ ඉකුත් දිනෙක “මොරටු පාතාලයෝ” යළි සිය අණසක වෙනුවෙන් කළ ක්‍රියාවක් හේතුවෙනි.

අප අසා තිබූ “මොරටු සමන්” අද මොරටුවේ නැත. මොරටු සමන්ගේ සමීපතම ගෝලයා මේ වන විට ඉතාලි ජාතික කාන්තාවක හා විවාහ වී එහි ජීවත් වන බවට තොරතුරු ලැබී ඇත. රත්මලානේ පාතාල කෙරුමකු වූ “උස කුමාර”,“දෙහිවල ජගත්” ඝාතනය කර පාතාලයේ “අයියා” කෙනකු වූ බව පැවසෙයි. එහෙත්, ඒ අයියාත් පරලොව යන්නේ පොලීසියට අත්බෝම්බයකින් දමා ගසන්නට ගොසිනි.

මොරටු සමන්ගේ ගෝලයකු බව කියැවෙන “ගොනාකෝවිලේ රොහා” රත්මලාන, දෙහිවල, ගල්කිස්ස යන ප්‍රදේශවල හෙරොයින් ජාවාරම ජයටම සිදුකරමින් සිටි පුද්ගලයකු බවට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබිණි. පාතාල නායකයන් සහ ඇතැම් දේශපාලනඥයන් අතර සමීප සබඳතා තිබූ බවට අදටත් සමාජය තුළ කතා බහට නැගෙන කරුණකි. දෙහිවල - ගල්කිස්ස නගර සභාවේ සභිකයකු වූ පොඩි මහත්තයා ද එදවස ගණන්කාරයෙක් විය. “කුඩු අංජු” සහ “ලංසියා” සොහොයුරෝ වෙති. පොඩි මහත්තයා මේ දෙදෙනාගේ බාප්පාය. බාප්පාගේ දේශපාලන ශක්තිය අතට ගත් මේ දෙ සොහොයුරෝ රත්මලාන ප්‍රදේශයේ සිය අණසක පතුරවමින් සිටියහ. “ගොනාකෝවිලේ රොහා” ද මේ දෙදෙනාට සම වෙමින් තිදෙනාම එක්ව ගමනක් ගියහ. එහෙත් ‘පාතාල බලය” බෙදා ගැනීම, මේ එක්වීමට වැඩි ආයුෂ ගෙනාවේ නැත.

පොඩි මහත්තයා විසින් විවිධ උපක්‍රම යොදා ගොනාකෝවිලේ රොහාගේ පාතාල බලය බිඳ දැමීමට උත්සාහ ගත්තේය. වරක් බෝම්බ සමග ‘රොහා” පොලිස් අත්අඩංගුවට පත් වෙයි. පොලීසියට ඔත්තුව දුන්නේ පොඩි මහත්තයා බවට රොහා විශ්වාස කළේය. පොලීසියෙන් බන්ධනාගාරයට යන ‘රොහා” බන්ධනාගාරයෙන් එළියට ආ දා පටන් පොඩි මහත්තයාගෙන් පළිගැනීමට කල් මරයි. එහි ප්‍රතිඵලයක් ලෙස 2007 වර්ෂයේ මාර්තු 13 වැනිදා රත්මලාන මැලිබන් හන්දියේ කාර්යාලයක රැඳිසිටි පොඩි මහත්තයාට වෙඩි තබා ඝාතනය කරන්නේ “රොහා” විසින් බවට පොලීසිය තොරතුරු සොයා ගෙන තිබිණි.
අංජු සහ ලන්සියා කාලයක් තමන් සමග ගමනක් ගිය ගොනාකෝවිලේ රොහා සදාකාලික සතුරකු බවට පත් කර ගන්නේ මෙම සිදුවීමෙන් පසුව බව ද පැවසේ.

මේ අතරට එන තවත් එක් චරිතයකි. ඒ රන්ජන් ද සිල්වාය. දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ලෙස සිටි රන්ජන් ද සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ධනංජය සිල්වාගේ පියාය. පොඩි මහත්තයාට වෙඩිතබා ඝාතනය කළ “රොහා” ඇතුලු මැර කණ්ඩායමට රන්ජන් සිල්වා රැකවරණය ලබා දුන්නැයි අංජු සැක කරයි. ඒ සැකය වෛරයකට පෙරැළී තිබුණේ රන්ජන් සිල්වා දේශපාලන වශයෙන් කිසියම් ස්ථාවර මට්ටමකට පත් වෙමින් සිටියදීය. විටින් විට ප්‍රදේශයේ ඇතිවන ඇතැම් ගැටුම්වල දී සැකකරුවන් අල්ලා දීමට රන්ජන් ද සිල්වා පොලීසියට උදව් උපකාර කර ඇතැයි අංජු රන්ජන් කෙරෙහි සැක සංකා ඇති කරගෙන සිටියේය. මේ දෙදෙනාගේ ගැටුමට රන්ජන් මැදි වූයේ පාතාලය නිසාය. මීට වසර පහකට පමණ පෙර නාගරික මන්ත්‍රී අමල් සිල්වාගේ නිවස ඉදිරිපිට දී යම් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබිණි. එම ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස අංජුගේ කල්ලිය රන්ජන් සිල්වා වෙඩි තබා ඝාතනය කළේ ඔහුගේ නිවස ඉදිරිපිටදීමය. ඒ 2018 වර්ෂයේ මැයි මාසයේ දිනකදීය.

අසංක නොහොත් ලන්සියාගේ මස්සිනා කෙනකු වූ විශේෂ බළකා සෙබළකුට රොහා බැණ වැදුණැයි කන වැකුණු ලන්සියා සහ රොහා අතර බහින්බස් වීමක් ඇති වෙයි. එය නතර වූයේ හෙරොයින් නඩුවකට මහර උසාවියේ පෙනී සිටීමට පැමිණි ලන්සියාට වෙඩි කෑමට සිදුවීමෙනි. ලන්සියා සිය මෝටර් රථයෙන් අධිකරණයට පැමිණ සිටියේ ඔහුගේ බිරිය දරුවා සහ නැගණිය ද සමගය. අවසානයේදී ඔහු, ඔවුහු ඉදිරිපිටම වෙඩි වැදී ඝාතනය විය. මොහුගේ අවමඟුල් පෙරහරට ගුවනින් මල් ඉසීමේ සිද්ධියක් ද ඒ වන විට වාර්තා වී තිබිණී. පෞද්ගලික ආයතනයක  හෙළිකොප්ටරයක් යොදා ගනිමින් රත්මලාන නිවෙසේ සිට දේහය රැගෙන යන විට එයාර්පොට් හන්දිය ඇතුළු ස්ථාන කිහිපයක දී එලෙස ගුවනින් මල් ඉස ඇතැයි පැවසෙයි. ගුවනින් මල් ඉසීමේ පාතාල කලාව මෙරටට හඳුන්වා දුන්නේ මාකදුරේ මදුෂ් බවට අපට මතක් කර දෙන්නේ මදුෂ්ගේ පියාගේ අවමඟුල් පෙරහරට ඔහු ද එපරිද්දෙන්ම මල් ඉස්ස බවට තොරුතුරු අනාවරණය වන හෙයිනි. තම සහෝදරයාගේ මරණයට වගකිව යුතු රොහා සොයා දැන් මරාගන්නේ ලන්සියාගේ සහෝදරයා වූ කුඩු අංජු බව ආරක්ෂක අංශ සොයා ගෙන තිබේ. රොහා ආගිය අතක් නැත. කුඩු අංජු මේ වන විට ඉතාලියට පැන ගොස් ඇතැයි වාර්තා වෙයි. අංජු පිස්සු වැටී හොයන්නේ රොහාවය. රොහා හීන දකින්නේ අංජුගේ මිනිය දකින්නටය. අංජු හීන බලන්නේ රොහාගේ අවසන් ගමනය ගැනය. මේ පාතාල ගැටුම අද රත්මලාන ප්‍රදේශය ගිල ගෙන ගිනි ගෙන ඇත.

එහි ආසන්නතම සිදුවීම වන්නේ, ඉකුත් 19 වැනිදා ඇඳිරි නීතිය පනවා තිබිය දී නාඳුනන කල්ලියක් රත්මලාන සොයිසාපුර අවන්හලට කඩු පොලුවලින් පහර දෙනු ලැබූ සිද්ධියයි. සුඛෝපභෝගී වාහනයකින්  පැමිණෙන මෙම නාඳුනන කල්ලි සාමාජිකයෝ ගල්කිස්ස පොලිස් වසමේ “ලක්මැදුර හෝටලයට” එලෙසින් ප්‍රහාරයක් එල්ල කර එහි සිටි සේවකයකුට කඩුවකින් පහර දී පැන යති. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එහි හිමිකරු පොලීසියට පැමිණීලි නොකිරීමට වග බලා ගන්නේ දිගින් දිගටම ඔහුගේ ජංගම දුරකතනයට විදෙස් රටකින් ගලා ආ ඇමතුම් හේතුවෙනි.

අන්තර්ජාතික පොලීසියේ රතු නිවේදනවලට පවා යටත් නොවන ඩුබායි රාජ්‍යයේ සෙවණ ලබන්නට එහි ගොස් සිටින පාතාලයෝ එහි සිට දුරකතනයෙන් මෙහෙ සෙල්ලම් දමති. මෙය ද එවන් අවස්ථාවකි.

 “කුඩු අංජු” පමණක් නොව ඔහුගේ ප්‍රධාන ගෝලයකු වන මේ වන විට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින “ධර්මේ අයියා” ද ලක්මැදුර හෝටලයේ හිමිකරු වෙත වරින් වර ඇමතුම් ලබා දෙමින් කප්පම් ඉල්ලා මරණ තර්ජන කර ඇතැයි පසුව වාර්තා විණි. මේ හේතුවෙන් තවත් බලා සිටිය නොහැකි වූ තැන හෝටල් හිමිකරු පොලීසියට යන්නේ ආරක්ෂාව පතාය. ආරක්ෂාව ඈලියාවට ගොස් ඇති බව පෙනුණේ පොලිස් ආරක්ෂාව මැද නැවතත් කොල්ල කල්ලිය ඉකුත් 29 වැනිදා පාන්දර නැවතත් හෝටලයට වෙඩි පිට වෙඩි එල්ල කළ අවස්ථාවේදීය. මේ සිදුවීම් සියල්ලම සීසීටීවී කැමරා සාක්ෂි දරයි.

එතැන් සිට හෝටල් හිමිකරු හා රටින් එන ඇමතුම් විමර්ශන සඳහා පොලීසිය වෙත ලැබෙයි. ඒවා මේ වන විට ප්‍රසිද්ධ මාධ්‍ය වෙත ද ලැබී ඇත. දුරකතන සංවාදය අතරතුර ධර්මසිරි නැමැත්තා “උඹට ට්‍රයල් එක ගැහුවේ මම.” යනුවෙන් හෝටලයේ හිමිකරුට පවසයි. මේ දුරකතන සංවාද බොහෝමයක් සිදුව ඇත්තේ ඉකුත් 19 වැනිදා අදාළ හෝටලයට මැර ප්‍රහාරය එල්ලවුවායින් පසුව වීම විශේෂිත සිදුවීමකි.

හෝටල් හිමිකරු අංජුලාගේ ඉලක්කයක් වී ඇත්තේ කුමන හේතුවක් මත දැයි මේ වන විට ආරක්ෂක අංශ දැඩි විමසිල්ලෙන් සිටින කරුණකි. ‘එයාර්ෆෝස් සම්පත්”, “අත්තිඩියේ කරු” යනු “රොහා” ගේ ගෝලයෝ ය. හෝටල් හිමිකරු මේ අය සමඟ සමීප සබඳතා පැවැත්වීම අංජුගේ කල්ලියට වහකදුරු වී ඇති බවට ආරක්ෂක අංශ සඳහන් කරන්නකි.

ඉකුත් 2019 වර්ෂයේ දිනෙක ගල්කිස්ස ප්‍රදේශයේ සැලුනයක සිටි එයාර්ෆෝස් සම්පත් සහ අත්තිඩියේ කරු යන අය ඝාතනය කිරීමට අංජුගේ කල්ලිය ගත්  උත්සාහයක් ව්‍යාර්ත වී තිබිණ. ඒ දිනවල අංජු සිය ෆේස්බුක් ගිණුමේ “වෙඩි වරුසා සම්මාන ලබා දෙනවා” යනුවෙන් තවත් දේවල් ලියු පෝස්ට්ටුවක් පළ කර තිබුණේ මේ සිද්ධිය හේතුවෙන් බව ආරක්ෂක අංශ සඳහන් කරයි.

ගල්කිස්ස මූලස්ථාන පොලීසිය වහා ක්‍රියාත්මක වී සැකකරුවන් තිදෙනකු අඟුලාන මොරටුවේ දී අත්අඩංගුවට ගන්නේ ඉකුත් 27 වැනිදා රාත්‍රීයේය. පටබැඳිගේ සංජු තාරක, බෝගොඩආරච්චිලාගේ විශ්ව ජයතු සහ බෝගොඩආරච්චිගේ ධනුෂ්ක මධුෂාන් යන අයවලුන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10 වැනිදා තෙක් රක්ෂිත භාරයට පත් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය ඉකුත් 30 වැනිදා මුලින්ම අත්අඩංගුවට ගන්නේ අඟුලාන මොරටුව පදිංචි ලියනගේ ජනිත් හෂාන් විමලවීර (34) නොහොත් “කොණ්ඩ ජනිත්”ය.

ලක්මැදුර හෝටලය කුඩුකරන්නට සුඛෝපභෝගී මෝටර් රථය ලබා දෙන්නේ ධර්මේ අයියාගේ ඕඩරයකටය. ඒවා ක්‍රියාත්මක කරන්නේ කොණ්ඩ ජනිත් ය.
“රත්මලාන පොදුජය ඉස්කෝලේ පිටිපස්සට වරෙන්. වාහනේ එයි. බඩු ටික ඒකේ තියෙනවා. නැගලා ගිහිල්ලා කුඩු කරලා වරෙන්.”

ගමනට තිදෙනකු පිටත් වෙයි. හෝටලය කුඩු කිරීමේ ගාස්තුව කුඩු පැකට් 70ක් සහ මුදලින් රුපියල් 20,000ක් බව පොලීසිය සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළිකරගෙන තිබිණි.

මෙහි තවත් සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගන්නේ ඉකුත් 31 වැනිදා රාත්‍රියේදීය. වලව්වත්ත, ධර්මාරාම පාර, රත්මලාන ලිපිනයේ දොන් සාලු රත්නසිරි ද සිල්වා (42) නොහොත් රෝසා” මෙසේ අත්අඩංගුවට පත්වන්නේ  රුහුණු ගොඩහේන, බලකාවල අකුරැස්ස ලිපිනයේ පිහිටි ඔහුගේ තවත් නිවෙසක සැඟවී සිටිය දී බව විශේෂ කාර්ය බළකාය පවසයි.

“කුඩු අංජු” මෙරට නැති බවට දැන් කරුණු තහවුරු වී ඇත. ධර්මසිරි ද සිටින්නේ ඩුබායි රාජ්‍යයේය. එසේ නම්, දැන් ගොනාකෝවිල රොහාට සිදුවී ඇත්තේ කුමක්ද?
අංජුගේ ගෝලයකු වූ රෝසා, ගල්කිස්ස අධිකරණයේදී රොහා ඝාතනය කරන්නට හැදූ සැලසුම ව්‍යවර්ථව ගියේය. එහිදී ආයුධ ද සමග රෝසා ගල්කිස්ස අධිකරණ භූමියේදීම පොලීසියට කොටුවෙයි. පසුව බන්ධාගාරයේ සිට අධිකරණයට රැගෙන එන අවස්ථාවේ දී රොහා ඝාතනය කිරීමට අංජුගේ කල්ලිය මාන බලමින් සිටිය දී එයද ව්‍යවර්ථව ගියේ බන්ධනාගර බස් රථයකට ඩෙවි ප්‍රහාරයක් එල්ල වී “කඩුවෙල සමයං” කළුතර එතනමඩල ප්‍රදේශයේ දී ඝාතනයට ලක් වීම නිසා ආරක්ෂාව තර කිරීම හේතුවෙනි.

“රොහා රට පැනලා ....”
බුද්ධි අංශ මේ දිනවල සොයමින් සිටින්නේ මේ කියන ගොනාකෝවිලේ රොහාට සිදුවූයේ කුමක්ද? යන්නය. අවසන් වරට හැරල්ඩ් රෝහණ ද සිල්වා නොහොත් “රොහා” බන්ධනාගාරයේ සිටිය දී කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් වන්නේ ඉකුත් ජනවාරි මාසයේ දිනකදීය.

2002 දෙසැම්බර්  31 වැනිදා හෝ ඊට ආසන්න දිනක දී මොහොමඩ් ඉමිතියාස් මැතිව් යන අයගේ මරණය සිදුකිරීම, විතානගේ ඩෙන්සිල් ගුණරත්න යන අය මරණයට පත්කිරීම, මඩගුරුවේ ගෙදර සුනිල් කුමාර යන අයට බෝම්බ ගැසීම, ලියනගේ රොෂාන් යන අය ඇතුළු පුද්ගලයන් කිහිපදෙනකුට තුවාල සිදුකිරීම පිළිබඳව නිතීපතිවරයා විසින් අධිචෝදනා 13කින් යුක්තව විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණි.

කුන්විගේ ලක්ෂිත පීරිස්, ලියොන් මෙරන්ලියගෝ සිල්වා, හැරල්ඩ් රෝහණ ද සිල්වා නොහොත් රොහා, දේවප්‍රිය කෝසල සේනානායක, ලියනදුර රෝහණ කුමාර සිල්වා, එලියාදුර චමින් ද සාගර, ගල්කදුආරච්චිගේ ප්‍රියන්ත කුමාර සිල්වා, ඩී.ඩී. කුලතුංග මෙම චූදිතයෝ වෙති.

එම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී පස්වැනි සැකකරු මියගොස් ඇති බවට අධිකරණය වෙත දැනුම් දුන්න ද තුන්වැනි සැකකරු වන හැරල්ඩ් රෝහණ ද සිල්වා නොහොත් රොහා බන්ධනාගාරය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කරන්නේ නැත. ‘චූදිත කොහේදැයි’ අධිකරණය බන්ධනාගාරයෙන් විමසන ලදුව ඔවුන් පිළිතුරු දුන්නේ නොදන්නා බවකි. පසුව සැකකරු වහාම ඉදිරිපත් කරන ලෙසට අධිකරණය බන්ධනාගාරයට නියෝග කරයි. ඒ අනුව නැවතත් නඩුව පෙබරවාරි 13 වැනිදා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී බන්ධනාගාරය අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ සැකකරු වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් මහර බන්ධනාගාරයේ සිටින බවකි. එහෙත් මේ වන විට අධිකරණයෙන් ඇප ලබාගෙන සිටි “රොහා” කඩවත ප්‍රදේශයේ ස්ථානයක දී ඔහුගේ පෞද්ගලික වාහනයකින් පලා ගිය බවට ද බුද්ධි තොරතුරු වාර්තා වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

අංජු, රොහා ධර්මේ.. එසේම, ආසන්නතම සිදුවීම වූ රත්මලාන ලක්මැදුර හෝටලයේ හිමිකරු ද වේවා...... මේ කිනම් චරිතයක වුවද කළු සුදු හෝ වර්ණනාව අවශ්‍ය නොවේ. ඔවුන්ගේ පැටිකිරිය තුළින් ඉස්මතු වන දේ පමණක් දැකගත යුතු වන්නේය. අසරණ මිනිසුන්ට කන්න බොන්න දෙන්න කියා කප්පම් ඉල්ලීමෙන් තවත් අයකුගේ ජීවිතයට හානි පැමිණවීමේ අයිතිය කිසිවකු හෝ සතු නොවෙයි. මේ පාතාලයන් රගදක්වමින් සිටින්නේ “සරදියෙල්ලාගේ” චරිතයයි. එහෙත් මෙහි පිටුපස ඇත්තේ සැබෑ දේශ මාමකත්වය හෝ දේශහිතෛෂිත්වය නොවේ. වෛරය, පලිගැනීම විනා මොවුන්ගේ චරිත තුළින් අපට උගත හැක්කේ කිනම් ආදර්ශයක් ද? මේ පාතාල කෙරුමෝ අද සමාජ පිළිල වී අවසන්ය. ඒවා වහා වහා අතුගා දැමීමට මේ කාලයයි.

(*** විමුක්ති කුමාරසිංහ)