රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන ආචාර්ය ඔලගන්වත්තේ චන්දසිරි හිමියෝ සිංහල ඉංග්‍රීසි දෙබසින්ම ශාස්ත්‍රීය කෘති කිහිපයක්ම ලියා පළ කළහ. මෙවර විමංසා සංග්‍රහයේ සංවාදය උන්වහන්සේ සමඟ පැවැත්වෙන්නේ වත්මන් ලාංකික සාහිත්‍ය කතිකාව පිළිබඳ යම් මත විමසුමක් අපේක්ෂාවෙනි.

ඔබ වහන්සේ ලංකාවේ වර්තමාන සාහිත්‍ය කතිකාව දෙස බලන්නේ කොහොම ද?

ඇත්තට ම සුබවාදී හා අසුබවාදී දෙපැත්තම දකින්න පුළුවන්. කතිකාව හෙවත් discourse යන්න පුළුල් අර්ථයකින් යුක්ත යි. ඕනෑම විෂය පථයක් අරභයා යහපත් වූ සංවාදයක් ගොඩ නැගීම කතිකාවක් ලෙස සරල අර්ථයෙන් පෙන්වා දෙන්න පුළුවන්. ලංකාවේ සාහිත්‍ය යන විෂය ක්ෂේත්‍රය නිසි ලෙස අවබෝධකරගත් බවක් පේන්නේ නැහැ. විමල් දිසානායක මහතා නිර්මාණය හා විචාරය කෘතියේ දී සාහිත්‍ය හඳුන්වා දී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති literature යන වචනයේ අර්ථය ප්‍රකට කිරීමට යි. මෙහි අර්ථ දෙකක් පෙන්නුම් කරනවා. එකක් පෘථුලාර්ථය යි. අනෙක් එක විශේෂාර්ථය යි. කිසියම් භාෂාවකින් හෝ භාෂාවක කිසියම් විෂයයක් පිළිබඳව ලිපි බද්ධ කරන ලද සියල්ල ම පොදුවේ සාහිත්‍ය යනුවෙන් හඳුන්වා දෙනවා. මෙය ඕනෑම විෂයයකට සම්බන්ධ කරන්න පුළුවන්.

විශේෂාර්ථය අනුව බලන විට රසභාව දැනවීමේ පරමාර්ථය කොට ගත් නිර්මාණාත්මක ලේඛන සාහිත්‍යය ඇතුළත් වෙනවා. ලංකාවේ වර්තමානයේ බහුල වශයෙන් යෙදෙන්නේ මෙම අර්ථය ප්‍රකට වන අයුරින්. සාහිත්‍ය මගින් සියලු රස කුළු ගන්නවා පාඨකයා ප්‍රඥාවෙන් ආලෝකවත් කිරීම සිදු කළ යුතු යි. වර්තමානයෙහි සාහිත්‍ය කතිකාව මගින් වැඩිපුර අවධානය යොමු කරන්නේ නවකතාවල කෙටිකතාව හා කවිය වැනි නිර්මාණාත්මක ලේඛන පමණයි. බොහෝ ජාතික පොත් සල්පිල්වල දී වැඩිපුර දකින්නට තියෙන්නේ 'මේ සම්මාන ලබාගත් පොතේ මෙච්චර ප්‍රමාණයක් දැන් අලෙවි වී අවසන්, මේ හත්වෙනි මුද්‍රණය,' මේ ආදි දේ යි. ඒත් රටක සාහිත්‍ය පිළිබදව යහපත් කතිකාවත් ගොඩ නැගෙන්නේ ප්‍රබන්ධ කතා කියැවීමෙන්ම නොවෙයි. සාහිත්‍ය පිළිබඳව පුළුල් විචාරයක් අවශ්‍යයි. ශාස්ත්‍රීය මට්ටමේ කෘති කොච්චර ප්‍රමාණයක් සමාජගත වී සංවාදයට භාජන කර තිබෙනවා ද? මේවා ගැන තමා සාකච්ඡා කරන්න අවශ්‍ය වෙන්නේ. ඇතැම් සම්මාන ලබාගත් ශාස්ත්‍රීය පොත් පිළිබඳව කතිකාවතක් සමාජයෙහි ගොඩ නැගිලා නැහැ. මිනිසාගේ කියැවීමේ පරාසය නවකතාවට කෙටිකතාවට පමණක් සීමා නොවිය යුතු යි. චිත්‍ර මූර්ති සිනමාව නාට්‍ය ආදී විවිධ නිර්මාණ ගැන ද පුළුල් සාකච්ඡාවක් අවශ්‍යයි. ඇතැම් පුද්ගලයන් සාහිත්‍ය විචාරය මගින් කරන්නේ වචන හරඹයක් පමණයි. ද්වේෂ සහගත රළු වචන පමණක් භාවිතයෙන් යහපත් සාහිත්‍ය කතිකාවතක් ගොඩනගන්න බැහැ. හොඳ විචාරකයන්ට හොඳ සමාජ වටිනාකමක් දිය යුතු යි. ඔවුන් ඇගයීමට ලක් කළ යුතු යි. සම්මාන උළෙලවල දී ඒ පිරිස අගයන්න අවශ්‍යයි. නිවැරදි විචාර මිම්මක නොගැලපීමේ ස්වභාවය රාජ්‍ය සාහිත්‍ය සම්මානය, ස්වර්ණපුස්තක විද්‍යෝදය හා ගොඩගේ සම්මාන උළෙලවල දකින්න පුලුවන්.

ආගමික චරිත හා ඇතැම් මතවාදවලට පහර ගැසීමත් ඒ හරහා කැපී පෙනීමත් වර්තමානයේ විලාසිතාවක් වී ඇතැයි පසුගිය කාලයේ ඇතැම් ප්‍රවීණයන්ගෙන් එල්ල වුණා. මේ තත්ත්වය ඔබ වහන්සේ දකින්නේ කොහොමද?

නිරුවත වුවත් කලාවක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. මිනිසුන්ගේ කාම ආශාවන් උද්දීපනය නොවන ආකාරයට. ඒත් අපේ නිරුවත ඉදිරිපත් කරන්නේ පුද්ගලයන්ගේ කාමයන් උද්දීපනය වන ආකාරයකට. සාහිත්‍ය නිර්මාණයක් හා සම්බන්ධ කරුණු විමර්ශනයේ දී පසුබිම මෙන් ම සංස්කෘතිය ද වැදගත් වෙනවා. සංස්කෘතික කාරණාව සාහිත්‍ය නිර්මාණයක අර්ථ නිෂ්පත්තිය සමග දැඩි සම්බන්ධකමක් තියනවා. උදාහරණ ලෙස වික්‍රමසිංහගේ ඇතැම් නිර්මාණ ගත්තොත් ඊට පසුබිම් වී ඇත්තේ ගැමි සංස්කෘතියයි. මහාචාර්ය රේමන්ඩ් විලියම් සංස්කෘතිය නිර්වචනය කළේ සමස්ත ජීවන ක්‍රමයක් ලෙසට යි. ලංකාවේ සමාජ සංස්කෘතියෙහි ඇති ඇතැම් සියුම් තැන් තේරුම් කර ගත නොහැකි බොහෝ පිරිසක් ලේඛකයන් ලෙස පෙනී ඉන්නවා. ඔවුන්ට ලංකාවේ ජන විඥානය බද්ධ වූ දෑ ගැන නිසි කියැවීමක් නැහැ. අලුත් මතවාද ක්‍රමවේද අවශ්‍යයි සාහිත්‍යයේ දියුණුව සඳහා. ඇතැම් න්‍යායික සිද්ධාන්තයන් ඉතාම වැරදි ලෙස භාවිතයට ගන්නවා. එහි ඇති දාර්ශනික අර්ථයන් අවබෝධකරගෙන නැහැ. පසුගිය කාල පරිච්ඡේදය තුළ බෝසත් චරිතය හා සම්බන්ධ වූ කාරණා පිළිබඳවත් භික්ෂු චරිත සම්බන්ධ කර ගනිමින් ද විවිධ දෑ පළ වුණා. ඒවා නිරූපණය කිරීමේ දී පොදු ජන මනස හඳුනා නොගත් බව තමා කියන්න තියෙන්නේ. මේ නිසා ආගමක් අවශ්‍ය නැහැ ආදී නිරාගමික අදහස් ගත් පිරිස් ජනප්‍රිය ආගමික චරිත විවේචනයන්ට ලක් කිරීමෙන් තමන්ට විශාල වටිනාකමක් හා ප්‍රසිද්ධියක් අත්වේ යැයි සිතන අක්මුල් සිඳගත් සාහිත්‍ය සංවර බවක් නොමැති පිරිසක් පසුගිය කාල පරිච්ඡේදයේ බිහිවීම කනගාටුවට කාරණාවක්. ශාස්ත්‍රීය ශික්ෂණයක් නැති කමෙන් සාහිත්‍යය අයාලේ යනවා.

ඒත් නිර්මාණකරුවෙකුගේ ප්‍රකාශන හා මතවාදී නිදහස අභියෝගයකට ලක් කිරීමට කිසිවෙකුට හැකියාවක් තියනවාද? සංස්කෘතික පොලීසි නිර්මාණකරුවකුට අවශ්‍ය නැහැ නේද?

ඔව්. ප්‍රකාශන හා මතවාදී නිදහස නිර්මාණකරුවන්ට සේම එය අභියෝගයට ලක් කිරීමේ නිදහස ද අවශ්‍යයි. එය භාවිත කළ යුත්තේ පුද්ගලයෙක් හෝ නිර්මාණයක් විනාශ කිරීම හෝ සිරකිරීමට නොවේ. යහපත් වූ නිර්මාණයක් බිහි කිරීමට යි. සංස්කෘතික පොලිසිය කියන වචනයත් පසුගිය කාලයෙහි නිතර නිතර භාවිත වුණා. මේ වචන දෙක සියුම්ව තේරුම් ගන්න අවශ්‍යයි. සංස්කෘතිය යන්න අප තේරුම් ගන්නේ ද පටු සීමාවක් තුළ යි. පොදුවේ බොහෝ දෙනෙක් සංස්කෘතිය ලෙස තේරුම් ගන්නේ සමාජයක ආධ්‍යාත්මික පාර්ශ්වය පමණ යි. එහෙම නැත්නම් මතවාද සිරිත් විරිත් ආචාරධර්ම ආගමික හා සම්බන්ධ වූ කාරණාවන් පමණයි. ඒත් සංස්කෘතිය යනු මිනිසාගේ ආධ්‍යාත්මික පාර්ශ්වය පමණක් නොවෙයි. බර්නාට් ටේලර් නම් සමාජ විද්‍යාඥයාට අනුව සංස්කෘතිය යනු මිනිසා විසින් කිසියම් සාමාජිකයකු වශයෙන් දිවි ගෙවන විට අත්පත් කර ගන්නා සංකීර්ණ ඇවතුම් පැවතුම් ඇදහිලි ක්‍රම කලා ශිල්ප නීති රීති චාරිත්‍ර වාරිත්‍ර සියල්ලෙන් ම සැදුම් ලත් සංකීර්ණතාවක්.

මාක්ස්වාදී දෘෂ්ටියට අනුව බලන විට සිය ඉතිහාසය තුළ මිනිසා නිර්මාණය කරන ලද අත්කර ගන්නා ලද සියලුම ද්‍රව්‍යයම හා ආධ්‍යාත්මික වටිනාකම්වල එකතුවක්. ලියොන් ට්‍රොට්ස්කී පෙන්වා දෙන්නේ මිනිසාගේ සමස්ත ඉතිහාසය තුළ දී සොබාදහම විසින් දෙන ලද දෙයට පටහැණිව මිනිසා විසින් නිර්මාණය කරන ලද උගන්නා ලද හා ජයග්‍රහණය කරන ලද සියල්ල සංස්කෘතිය වේ. මෙයින් ඔබට පේනවා ඇති සංස්කෘතිය යන්න පැතිරිණු වචනයක් බව යි. ඒ නිසා සංස්කෘතික පොලීසිය යන්න වර්තමානයෙහි යෙදී ඇත්තේ ඇතැම් ආගමික සංකල්ප ප්‍රකාශනයේ දී ඇතිවෙන පරස්පරතා නිසා උද්ගත වන විසංවාදී අදහස් පාලනය කිරීම සඳහා යොදා ගැනීමේ දී ඇති වූ ගැටලුකාරී තත්ත්ව නිසායි. බොහෝ රටවල් මේ වන විට ආර්ථික දේශපාලනික හා සංස්කෘතිකමය අර්බුදයකට ලක් වී තිබෙනවා. මෙවන් කාල වකවානුවක තුළ සංස්කෘතිය පිළිබඳව ද බුද්ධිමය සංවාදයක් අවශ්‍යයි. ලංකාව ඇමරිකාවත්, එංගලන්තයත්, රුසියාවත් නොවෙයි. මෙය ලංකාවයි. අපේ මූලයන් විනාශ නොකර සංස්කෘතිකමය වෙනස්කම් ඇති කළ හැකියි. නිර්මාණ සඳහා ද යොදා ගත හැකි යි. එවිට සංස්කෘතික පොලීසි ගැන කතා කරන්න අවශ්‍ය වන්නේ නැහැ.

වත්මන් නිර්මාණකරුවන්ගෙන් මෙවැනි ස්වයං වාරණයකින් තොර නිර්මාණ බහුලව බිහි වන්නේ පැරණි සම්භාව්‍ය සාහිත්‍ය හා ලෝක සාහිත්‍ය කියවා ශික්ෂණයක් ලබා නොතිබීම නිසායැයි චෝදනාවක් තියනවා. මෙහි ඇත්තක් තියනවාද?

මෙය සම්පූර්ණ ඇත්තක්. මෙතැන දී සාහිත්‍ය ලෙස අංකුර හා ඇතැම් පුද්ගලයන් හඳුනාගෙන තියෙන්නේ නූතන ප්‍රබන්ධ කතා හා පද්‍යයය පමණ යි. ඒත් සාහිත්‍ය නිර්මාණකරණයේ යෙදෙන පිරිස අපේ පැරණි සාහිත්‍ය හා නූතන සාහිත්‍ය දෙක ම ගැඹුරින් අධ්‍යයනය කරන්න අවශ්‍යයි. භාෂා භාවිතය පිළිබඳව පරිචයක් ලබා ගන්නට මෙන් ම යහපත් ශික්ෂණයක් ඇති කර ගන්න. එය මෙහෙම කියන්න පුලුවන්. ආදි සාහිත්‍ය සම්ප්‍රදාය හා අපරදිග සාහිත්‍ය සම්ප්‍රදාය යන දෙකම හදාරන්න අවශ්‍යයි. සිංහල සංස්කෘතිය ආරම්භයේ සිට පැවැති සිංහල සාහිත්‍ය චින්තනය හා ස්වභාවයත් අපරදිග සාහිත්‍ය ලෙස දක්වනු ලැබූ දහනම වැනි සියවස හා ඒ ආසන්න සමය හා බැඳුණු ලෝක සාහිත්‍ය විපරිනාමයන්ට අනුව දහනමවන සියවසේ සිට ශ්‍රී ලාංකික සාහිත්‍ය සම්ප්‍රදාය තුළ ඇති වූ වෙනස්කම් අධ්‍යයනය කළ යුතු යි. ශ්‍රී ලාංකික ආදි සාහිත්‍ය සම්ප්‍රදාය යනු බුදු දහමයි. දහම සමාජගත කරනු ලැබූ සියලු විධි ක්‍රමවල එකතුව වූයේ සාහිත්‍යයි. බෞද්ධ සාහිත්‍යය මූලික වශයෙන් කොටස් කිහිපයක් බෙදා දක්වන්න පුලුවන්. එනම් බුදුන් දේශිත සද්ධර්මය සංඝ පරම්පරාව හා බැඳුණු ආචාර මතවාද, ග්‍රන්ථ කර්තෘවරුන් විසින් බුද්ධ ගෞරවය පෙරදැරිව එකතු කරනු ලැබූ කරුණු හා ශ්‍රී ලාංකික සංස්කෘතියට අනුව දහමට එකතු වූ කරුණු ආදී වශයෙන්. පැරණි සිංහල සාහිත්‍යයේ අරමුණු සකස් වී තිබුණේ නිබ්බිධායල විරාගාය, නිරොධාය නිබ්බාන, සංවත්ති යන අදහස් මුදුන් පත් කර ගැනීමට යි. එනම් නිවීම පිණිස. විරාගය නිරෝධය පිණිසයි. බොහෝ ලේඛකයන් මේ බව  හඳුනාගෙන නැහැ. ග්‍රීක, රෝම, වේද, චීන, ජපන් ආදී සම්භාව්‍ය සාහිත්‍ය මෙන් ම ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන්, රුසියන් ඇතුළු කොට ඇති සමස්ත සාහිත්‍ය ධාරාවන් හදාරණ විට අපේ සම්භාව්‍ය සාහිත්‍යය ද හැදෑරිය යුතුයි. මේ හැදෑරීමකින් තොරව සාහිත්‍යයට යහපත් ගමනක් නෑ. එවිට ස්වයං වාරණ පනවා ගන්නවාද නැද්ද යන්න තමන්ට ම තීරණය කර ගත හැකි යි.

නව චින්තනයකින් පොහොසත් උසස් රසඥතාවකින් යුත් මිනිසකු බිහිකිරීම වෙනුවෙන් සාහිත්‍යකරුවාට ඇති වගකීම කවරේද?

මෙය ද පුළුල්ව සාකච්ඡා කළ යුත්තක්. එකක් තමා අපේ පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සිංහල සාහිත්‍ය, බටහිර සාහිත්‍ය මෙන් ම දෙමළ හා අරාබි සාහිත්‍යයද හැදෑරීමට ඇතුළත් කළ යුතු යි. එසේ නැතහොත් තුලනාත්මක අධ්‍යයන අවශ්‍යයි. එවිට එකිනෙක සාහිත්‍ය ධාරා හඳුනාගැනීමත් මිනිසාගේ චින්තනය  හඳුනාගැනීමත් කරන්න පුලුවන්. මේ වූ කලී සමාජයේ යහපැවැත්මට හේතු වන්නක්. අන්‍යෝන්‍ය වශයෙන් යහපත් සමාජයක් බිහි කරන්න පුලුවන් මාවතක් වෙනවා. හැම අවස්ථාවක දී ම සාහිත්‍යකරුවාගේ විචාර චින්තනය වැඩි දියුණු කළ යුතු යි. සමාජයේ කියැවීම වැඩි කළ යුතු යි. සියලු සාහිත්‍යකරුවන්ගේ මූලික වගකීම වන්නේ යහපත් සමාජයක් ගොඩනගන්න වැර දැරීම යි. ඒත් දැන් සාහිත්‍යකරුවාත් මුදලාලි කෙනෙක් වෙලා. ඇතැම් ආගමික නායකයන්ගේ කාර්යය ද හරියට සිදුවන්නේ නැත. කවදා හරි යයිද කියන්නත් අමාරුයි.

සංවාදය - ගාමිණී කන්දේපොළ