නව කතාකරුවකු, කෙටිකතාකරුවකු, තීරු ලිපි රචකයකු මෙන්ම පුවත්පත් කලාවේදියකු ද වන යසවර්ධන රුද්රිගු රචනා කළ යසාගේ වාක්කිය තීරු ලිපියට පසුගියදා ජනාධිපති සම්මානයක් ද හිමිවිය. නිර්මාණ රචනය පිළිබඳ ඔහුගේ අදහස් මෙම කතා බහේ ඇතුළත් වේ. 
 
ඔබ විවිධ ග්‍රන්ථ රැසක් රචනා කර ඇති ලේඛකයෙක්. ඒ අතර කෙටිකතා, නවකතා, යොවුන් කතා සහ විවිධ ක්ෂේත්‍ර යටතේ රචනා කළ ග්‍රන්ථ ඇතුළත්. අද පළවන පොත්පත් ගැන මොනවාද කියන්න තියෙන්නේ?
 
රටේ කොයි තරම් ප්‍රශ්න තිබුණත් ග්‍රන්ථ පළවීමේ අඩුවක් නැහැ. දිනපතාම වගේ විවිධ ග්‍රන්ථ කිහිපයක්ම පළවෙනවා. එය හොඳ ප්‍රවණතාවක්. සාහිත්‍යයේ ඉදිරි ගමනට රුකුලක්. ප්‍රමාණාත්මක වශයෙන් ග්‍රන්ථ රැසක් නිර්මාණය වුණාට ඒ අතර ගුණාත්මක ග්‍රන්ථ ඇත්තේ අතළොස්සක් බවයි කිව හැක්කේ. එම තත්ත්වය ගැන සතුටු වෙන්න බැහැ. 
 
අද නිකුත්වන ග්‍රන්ථ එහෙම ගුණාත්මක තත්ත්වයෙන් පහළය කියලා ඔබ තීරණය කරන්නේ කුමන පදනමක සිට ද? 
යම් සාහිත්‍ය නිර්මාණයකින් බලාපොරොත්තු වන ගුණාංග කිහිපයක් තියෙනවා. ඒවා හරවත් විය යුතුයි. එසේම රසවත් විය යුතුයි. යම් නැවුම් ආස්වාදයක් ගෙන දෙන්නට සමත් වෙන්න ඕනෑ. ඒ වගේම එම නිර්මාණ සම්මත භාෂා රටාවට අනුව සකස් විය යුතුයි. ඉතින් අද නිකුත් වන පොත්වලින් කීයෙන් කීයක ද මෙම සාධනීය ලක්ෂණ තියෙන්නේ කියලා පාඨකයාට නිශ්චය කරන්න අපහසුවක් නැහැ. දුර්වල නිර්මාණ ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම සාහිත්‍යයේ සංවර්ධනයට ඒවායින් ලැබෙන පිටිවහල අඩු මට්ටමකයි තියෙන්නේ.
 
ඔබ කියන්නේ අද බිහිවන සෑම නිර්මාණයක්ම සෑම අතින්ම සියයට සියයක් උසස් විය යුතුයි කියල ද?
මම එහෙම කියන්නේ නැහැ. මා කියන්නේ කුමන අංශයකින් හෝ ඒවා යම් පමණකට සාර්ථකත්වයට පත්විය යුතුයි කියලයි. එහෙම නැතුව බිහිවන කෘති දිය බුබුළු වගේ ඉක්මනින් අතුරුදන් වෙනවා. පාඨකයාගේ මනසේ හදවතේ රැඳෙන්නේ නැහැ. නවකතාවක්, කෙටිකතාවක්, පරිවර්තනයක් හෝ වෙනත් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් මෙන්ම ගීතයක් වුවත් පාඨකයා වැළඳ ගන්නේ එයින් අලුත් අත්දැකීමක් ලැබෙතොත් පමණයි. මා දැකලා තියෙනවා සමහරු පොතකින් කොටසක් පමණක් කියවලා අනේ කිසි වැදගම්මක් නැහැ කියලා එය පැත්තකට දමනවා. ඇයි එහෙම වෙන්නේ. එය පාඨකයාගේ වැරැද්දක් නොව ලේඛකයාගේ වැරැද්දක්.
 
නවකතාවේ භාෂාව ගැන කාගේත් අවධානය යොමු වෙනවා. කථන භාෂාවෙන් පොතපත රචනාවීම ගැන මොනවද හිතන්නේ?
එහෙම කියන්න බැහැ. ලිඛිත භාෂාවටත් කථන භාෂාවටත් නියමිත ව්‍යාකරණයක් තියෙනවා. මේ මොන විදියට ලිව්වත් එම දෙයාකාරයම සමානයි. එහෙත් අද වෙලා තියෙන වින්නැහිය වන්නේ මේ මොන විදිහට ලිව්වත් එම නිර්මාණ නිවැරැදි භාෂා රීතිවලට අනුගත නොවීමයි. අක්ෂර වින්‍යාසය, උක්ත ආඛ්‍යාත සම්බන්ධය, පද බෙදීම, භාෂා රටාව, වාක්‍ය ගැළපීම ආදි මේ සියල්ලම කෙරෙහි ලේඛකයා උනන්දුවක් දැක්විය යුතු වනවා. ලිඛිත ද කථන ද කියන එක නොවේ වැදගත් රචනාවේ නිරවද්‍යභාවයයි. එහෙම නැතිව කරන නිර්මාණවලින් භාෂාවට කරන හානියට සමාව දෙන්න බැරි තරම් විශාලයි. භාෂා රීති නොදන්නා අය කියන්නේ ලියන දේ තේරෙනවා නම් කොහොම ලිව්වත් කමක් නැහැ කියලා. ඒක අර කිතුල් ගහට නැග්ග මිනිහා දුන් පිළිතුර හා සමානයි.
 
ඔබේ “යසාගේ වාක්කිය” තීරු ලිපිය සඳහා පසුගියදා ජනාධිපති සම්මානයක් ලැබුණා. ඔබේ තීරු ලිපි රචනා ගැන යමක් කතා කරමු. 
මගේ මුල්ම තීරු ලිපිය පළවූයේ 1982 ජනවාරි මාසයේ 17 වැනිදා “රිවිරැස” පුවත්පතේයි. එහි නම “ගෙරවීම”. ඒ තීරු ලිපිය තවම මා ළඟ තියෙනවා. ඊට පසු මා දිගටම ප්‍රධාන පුවත්පත්වලට තීරු ලිපි ලිව්වා. ඒවා පාඨකයන් අතර ජනප්‍රිය වුණා. “යසයාගේ වාක්කිය” කියලා මම තීරු ලිපියක් ලක්බිම පුවත්පතට ලියන්න පටන් ගත්තා. 2000 වසරේ සිට. එය ඊට පස්සෙ මේ දක්වා අද පුවත්පතේ “යසාගේ වාක්කිය” යනුවෙන් ලියනවා. ඒ අතරම “සභාවෙන් අවසරයි” යන තීරු ලිපිය ද මා ලියුවා. එය පාසල් යන ළමයෙක් සභාවක් ඉදිරියේ පවත්වන කතාවක්.
 
මා මේ වනවිට තීරු ලිපියක මාතෘකාව කරන්නේ ක්‍රියා නාම පදයක්. ක්‍රියාවකින් නිෂ්පන්න වන නාම පදයක්. එසේම මටම ආවේණික වූ භාෂා ශෛලියක් යොදා ගන්නවා. මාතෘකාව වෙන්නේ “ල්” හා “ල” අවසානයට එන නාම පද. උදාහරණ ලෙස  ගත්තොත් නැටිල්ල, ගැයිල්ල, පැනිල්ල ආදි වශයෙන්. එසේම සෑම වාක්‍යක්ම “ය” අකුරෙන් අවසන් කරනවා. ගියේය, තිබුණේය, ලැබුණේය වගේ. එසේම සෑම වාක්‍යයකටම තීරු ලිපියේ මාතෘකාව අඩංගු කරනවා. නැටිල්ලට කවුරුත් කැමැතිය. නොයෙක් විධියේ නැටිලි තියෙනවාය ආදි වශයෙන්. මෙය මට සුවිශේෂී රටාවක්.