ඔහු ජීවත් වූයේ දහතුන් වැනි සියවසේ තුර්කියේ බව ප්‍රකාශ වෙයි. ජනතාව ඇත්ත කියන්නට නැඹුරුවනු කෙසේ වෙතත් එන පිරිස සම්පූර්ණයෙන්ම ඇන හිටියේය. මෙය නිරීක්ෂණය කළ දක්ෂ උපහාස කතාකාරයකු වූ නස්රුදීන් නගර දොරටුවේ පෙනී සිටි අතර නිලධාරීහු ප්‍රශ්න කළ විට ඔහුගේ උත්තරය වූයේ එල්ලුම් ගසේ එල්ලෙන්නට යන බවය. එය පිළිගත නොහැකි බව කියන නිලධාරීන් එය බොරුවක් යැයි ප්‍රකාශ කළ විට නස්රුදීන් කියා ඇත්තේ එහෙනම් එල්ලාපල්ලා කියාය. එල්ලුවොත් නස්රුදීන්ගේ ප්‍රකාශය ඇත්ත එකක් බවට හැරේ.

ලෝක ඉතිහාසයේ පවා නිලධාරීහු අත්තනෝමතිකය. ප්‍රායෝගික නැත. අදටත් සිද්ධවෙන්නේ එයයි. ජනතාව තමන්ගේ වාහනයක නැගී නගරයට එන්නේ ඇයි? සිරි විසිතුරු බලන්නට හෝ ආණ්ඩුවට බදු ගෙවන්නට නොවේ. වෙන කළ හැකි දෙයක් නැති හෙයින්ය. තමන්ගේ එදිනෙදා අත්‍යවශ්‍ය දේ වෙනුවෙන් නගරයට එන්නට සිදුවී ඇති අතර එයට පහසුකම් සැලසීම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි.

වාහන කොළඹ නගරයට ඇතුළු කිරීම සතියේ දිනවල ඉතා අපහසුය. පාසල් පැවැත්වෙන කාලයේ එය උග්‍ර ප්‍රශ්නයකි. කොළඹ නගරය වටා පිහිටි සැතපුම් විස්සක වටයක පිහිටි අතුරු මාර්ග වලින් එකතුවන රථ වාහන එකම වෙලාවට පැමිණෙන අතර එය විශාල තදබදයක් ඇති කරයි. පොලිස් නිලධාරීන් තදබදය පාලනයට පරිශ්‍රමයක නිරත නමුත් ඉතා දුෂ්කරය. සවසට ආපසු නික්ම යෑමද එයට නොදෙවැනිය. කොළඹ නගරයට පමණක් නොව අනෙක් ප්‍රධාන නගරවලට ද එම ගැටලුව තිබේ. අධික තදබදයෙන් ගැලවෙනු අරමුණු කරගෙන පැය ගණනකට කලින් පාරට එන පුරවැසියෝ උදේ ආහාරය අමතක කරති. නොඑසේනම් කෙටි කෑමවලට නැඹුරුවන අතර එය සෞඛ්‍ය ගැටලු දක්වා වර්ධනය වෙයි. මෙරට පාසල් දරුවන්ගේ දුෂ්පෝෂණය වැඩිවී ඇත.

 එය දුප්පත් පොහොසත් ප්‍රශ්නයක් නොවේ. ආදායමක් ඇති පවුල් වල දරුවෝ පවා උදේ ආහාරය හා දහවල් ආහාරය අක්‍රමවත්ව ගනිති. සේවයට එන යන වෘත්තිකයන්ට පවා බෝ නොවන රෝග බහුලය. තන්තු බහුල ආහාර අනුභව කරන සේ සෞඛ්‍ය සේවා උපදෙස් දෙති. කෑම පිඟානෙන් තුනෙන් දෙකක් එළවළු හා ධාන්‍ය විය යුතු බව දක්වති. එහෙත් පැය ගණන් තදබදයක ගතකරන වැඩ කරන ජනතාව මිලදී ගත හැකි අඩුම දෙයකින් කුස පුරවා ගන්නා අතර එය දියවැඩියාව, කොලෙස්ටරෝල් වෙනත් රෝගවලට හේතුවකි. දැරියන් හා කාන්තාවන්ගේ තත්ත්වය තවත් දරුණුය. පැය ගණනක් ගතවන හෙයින් වතුර පානය පාලනය කරති. නගරයට ඇතුළු වන පෞද්ගලික වාහනවලට බද්දක් පැනවීමෙන් පිරිසුදු වැසිකිළි පද්ධතියක් හෝ නගරයේ තැන තැන ඉදිකරන්නේ නම් යහපත්ය. එවැනි ආකල්පයක පවා නැති යෝජනා වලින් ජනතාවට ලැබෙන පිටිවහල කුමක්ද?

දවසකට කොළඹ නගරයට ඇතුළුවන වාහන සංඛ්‍යාව හැට දහස ඉක්මවන බව දැක්වෙයි. එයින් හතලිස් පන්දහසක් සැහැල්ලු වාහනය. මේවායේ එක් අයකු හෝ දෙදෙනකු ගමන් කරන බව ගණන් බලා ඇත. මාර්ග සංවර්ධන අධිකාරියට අනුව ප්‍රධාන මාර්ග දොලහකින් දවසකට ලක්ෂ විසි දෙකක ජනගහනයක් නගරයට ඇතුළු වෙති. මෙම පිරිසගෙන් සියයට හතලිස් පහක් පෞද්ගලික වාහන භාවිතා කරති. අඩු තරමින් ලක්ෂ දහයක පිරිසක් පෞද්ගලික වාහන භාවිතා කරන අතර දැනටත් මෙම වාහන වලින් දිනපතා අය කරන ගාස්තු ප්‍රමාණයක් තිබේ. ආදායම් බද්ද, දුම් සහතිකය ඒ අතර ප්‍රධානය. වාහනයක් නතර කර තබන තැන අනුව ගාස්තු අය කරන අතර ඒවා පළාත් පාලන ආයතනවල ආදායම් මාර්ගයකි. බදු අඩු කරන යෝජනා ගෙන එන වත්මන් ආණ්ඩුව එය මෙරට ආර්ථිකය සක්‍රීය කරන වැදගත් පියවරක් බව විශ්වාස කරයි. එසේ තිබියදී තවත් ගාස්තු අය කිරීමට යෝජනා කිරීම සුදුසු නැත. අයකරන සෑම ගාස්තුවක්ම ක්‍රමය නඩත්තු කරන පිරිවැයක් වන අතර අවසානයේදී එය ගෙවන්නේ පාරිභෝගිකයාය. දරුවන් පාසලට ගෙන එන වාහනයකට අය කරන බද්ද ගෙවන්නේ දෙමාපියන් වන අතර එය අනවශ්‍ය හිරිහැරයකි.

ජනතාව සිය පෞද්ගලික වාහන වලින් නගරයට ඇතුළු නොවිය යුතු බව තීරණය කරන ආණ්ඩුව එයට විකල්ප ක්‍රම යෝජනා කළ යුතුය. පොදු ප්‍රවාහනය ඉතාම දුර්වලය. බස්රථවල ගමන දුෂ්කර ක්‍රියාවකි. කාර්යාලයට හෝ පාසලට යන කිසිවකුට එහි හොඳ පහසුකම් නැත. දුම්රිය සේවය පවා ජනතාවට ගැළපෙන ඒවා නොවේ. නිසි වෙලාවට ධාවනය නොවන අතර දුම්රිය නැවතුමක සිට ප්‍රධාන මාර්ගයට තවත් පිරිවැයක් දැරිය යුතුය. පොදු ප්‍රවාහනය විදිමත් හා පහසුකම් සහිත තැනකට පත් නොකරන ගැනෙන ගාස්තු අය කරන යෝජනා කිසිසේත් සාධාරණී කරණය කළ නොහැකිය.

ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය අලුත් වෙමින් තිබේ. අධිවේගී මාර්ලවලට සම්බන්ධ වන වටරවුම් මාර්ගය අවසාන අදියරේ පවතී. කොළඹ මගහැර යා යුතු සෑහෙන වාහන සංඛ්‍යාවක් මෙකී වටරවුම සම්පූර්ණවූ පසු කොළඹට එන්නේ නැත. අනෙක දැන් යෝජනා කර ඇති සැහැල්ලු දුම්රිය ක්‍රමයයි. අති විශාල වියදමක් කර මාලඹේ සිට කොළඹට එන සැහැල්ලු දුම්රිය වසර 2025 සිට බලපැවැත්වෙනු ඇත. එයට කලින් කොළඹ වරාය නගරය සක්‍රීය වනු ඇති අතර එය තවත් වාහන තදබදය ඇති කරන හේතුවකි. වරාය නගරය ශ්‍රී ලංකාව හා චීනය අතර දීර්ඝ කාලීන ආයෝජන සැලසුම් සහිතව ක්‍රියාවට නගන සුවිශේෂී ව්‍යාපෘතියකි. එයට එන යන වාහනවලට ද නගරයට ඇතුළු වන වාහන බද්ද අදාල කළ යුතුද? නුසුදුසුය. විධිමත් පහසුකම් සපයනු වෙනුවට අනවශ්‍ය හිරිහැර ආයෝජන අධෛර්යවත් කරන පියවරකි.

විවිධ අවශ්‍යතා සඳහා කොළඹ නගරයට එන අති විශාල ජනගහනය පාලනය කිරීමට පැවැති ආණ්ඩු විවිධ පියවර අත්හදා බලා තිබේ. නගරයෙන් පිටත පෞද්ගලික වාහන නතර කර සුඛෝපභෝගී බස් වලින් ගමන් පහසුව සම්පාදනය කළේය. එය ජන අවධානයට ලක් වූයේ නැත. පෞද්ගලික වාහන ඇතුළු කිරීම සීමා කරන හා අධික ගාස්තු අය කරන බවට කරන ලද තරවටුව අලුත් දෙයක් නොවේ. මංතීරු නීතියක් හඳූන්වා දී එයින් වාහන විනය ඇති කරන්නට තැත් කළේය. අද වන විට එය අත්හැර දමා තිබේ. බස් මංතීරු හඳුන්වා දුන්නේය. බස් රියැදුරන් මංතීරුවකට යොමු කිරීම කළ නොහැකි බව ඔප්පු කර හමාරය. ආණ්ඩුව හා නිලධාරීන් එකතු වී අලුත් අදහසක් ක්‍රියාවට නැංවිය යුතුව තිබේ. මගී ප්‍රවාහනය මෙරට ජන ජීවිතය පීඩාවට පත්කර ඇති ප්‍රධාන ගැටලුවකි. ප්‍රායෝගික විසඳුමක් හැර අනෙකක් රටට හිරිහැරයකි.

සාරා කන්දේගොඩ