නෙළුම් කුලුන විවෘත කළේ මේ සතියේ සඳුදා හවස්වරුවේය. මේ දවස්වල සමාජ මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව බවට පත්වී තිබෙන්නේ ඒ උත්සවයේ කතා කළ ජනාධිපතිතුමන් කියූ එක් කතාවක්ය. රටේ ජනාධිපතිතුමන් බය නැතිව යමක් කියන්නේ තමන්ගේ උපදේශකයන් තමන්ට ලබා දෙන තොරතුරු හා කරුණු නිවැරැදි යැයි විශ්වාසයක් තිබෙන නිසාය.

එහෙත් මේ කතාවේ අන්තර්ගත කාරණය පිළිබඳව දැන් අනාවරණය වන තොරතුරුවලින් පෙනී යන්නේ නෙළුම් කුලුනේ ගෙවීම් සම්බන්ධයෙන් සිදු කළ ඒ ප්‍රකාශය තනිකරම වැරදි තොරතුරු මත සිදු කළ දෙයක් බවය. ඒ තොරතුරු එතුමන්ට දුන්නේ කවුරුන්ද කියා හෝ එතුමන් මේ සහතික නොකළ කට වචනය තමන්ගේම ප්‍රකාශයක් ලෙසින් කීවේ ඇයිද කියා දන්නේ නැත.

එහෙත් මෙවැනි ක්‍රියාකාරකම් නිසා අපේ රටේ ප්‍රධාන ආයතනික ව්‍යුහයත් දේශපාලනයත් යන දෙකම හෑල්ලුවට පත්වෙන බව මගේ අදහසයි. මේ සතියේ සටහනින් මේ පිළිබඳව ලියන්නට සිතුණේ අසත්‍ය කරුණුවලින් පිරුණු මේ අලංකාරික දේශපාලනය 2015 සිට මේ දක්වා රටට සිදුකර ඇති විනාශය විශාල එකක් බැවින් එය එළිපිටම කතා කිරීම වැදගත් කාරණයක් වන නිසාය.

මේ සිද්ධියට පදනම වැටෙන්නේ 2012 ආරම්භ නෙළුම් කුලුන ව්‍යාපෘතිය බව හැමෝම දන්නා කාරණයක්ය. මේ කුලුන හදන්නට යෝජනාව ආවේ කොහෙන්දැයි මා දන්නේ නැත. 2010 මහ මැතිවරණයෙන් පසුව අපේ රටේ සමාජ දේශපාලන අවකාශයේ විවර වූ සංවර්ධනමය මැදිහත්වීම් අතරින් එකක් ලෙසින් මේ ව්‍යාපෘතිය මතුවී ආ බව පෙනී යන කාරණයක්ය.

එම සමාජ දේශපාලන මොහොත තුළ ආරම්භ කළ යුතු සංවර්ධන වැඩසටහන් කවරේදැයි තීරණය කිරීමේදී යම් ආකාරයක අසමතුලනයක් ඇතිවී තිබුණා ද යන කාරණය මේ දවස්වල සමහරුන් මතුකරන කාරණයක් බව සැබෑය. ඒ අසමතුලිතභාවය ප්‍රශ්නයක් ලෙසින් සමහරුන් දකින්නේ රටේ යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා ලබාදුන් ප්‍රමුඛත්වය නිසාය. මා තේරුම් ගන්නා ආකාරයට 2009 දක්වා මේ රටේ තිබූ සිවිල් යුද්ධය නිසා විනාශයට පත්වී තිබූ සහ ඒ හේතුව නිසාම අවධානයට ලක් නොවී තිබූ යටිතල පහසුකම් අංශය යථාවත් කිරීම 2010 ආණ්ඩුව ඉදිරියේ තිබූ ප්‍රධානතම අභියෝගයක් වූ බවයි. ඒ අභියෝගය භාරගැනීම නිසා ඒ ආණ්ඩුවට ලැබිය යුතුව තිබුණේ අගය කිරීමක් මිස ප්‍රශ්නයට නැගීමක් නොවිය යුතු බව මගේ අදහසයි. එහෙත් 2015 ජනාධිපතිවරණ ක්‍රියාදාමයට පදනම් වූයේ මේ යටිතල පහසුකම් ගොඩනැගීම පිළිබඳව ගෙතුණු අවලාද හා අසත්‍ය ප්‍රකාශවලින් පිරී තිබුණු බව තේරුම් ගත යුත්තේ මේ තත්ත්වය හමුවේය.

දැන් පසුගිය සඳුදා නෙළුම් කුලුන විවෘත කරන අවස්ථාවේ ජනාධිපතිතුමන්ගේ ප්‍රකාශයෙන් රටට ඉඟි කරන්නට උත්සාහ කළේ 2015 සිට පැවත එන මේ අලංකාරික දේශපාලනයේම දිගුවක් බව පැවසීම ඉතාමත් නිවැරැදිය. එතුමා කියන පරිදි නෙළුම් කුලුන ව්‍යාපෘතිය සඳහා සමදායකත්වය සැපයූ ආයතන තුනක් වේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා රජය පැත්තෙන් විදුලිසංදේශ කොමිෂන් සභාවත් චීනය පැත්තෙන් CEIEC (China Electronic Imports and Exports Corporation)  සහ ALIT( Aerospace Long March International Trading Co) යන ආයතන දෙකත් මේ ගිවිසුමට බැඳී ඇති බවයි. දැන් ජනාධිපතිතුමන්ගේ ප්‍රකාශයෙන් කියන්නේ මේ කියන ALIT ආයතනයට ශ්‍රී ලංකා රජය මගින් රුපියල් බිලියන දෙකක් (කෝටි විස්සක්) අත්තිකාරම් වශයෙන් ගෙවා ඇති බවත් මේ මුදල ගෙවීමෙන් පසුව මේ සමාගම අතුරුදහන් වී ඇති බවත් ශ්‍රී ලංකා රජයට අතිවිශාල පාඩුවක් සිදුවී ඇති බවත්ය.

මේ කාරණය ඇත්තක් නම් එය රටට විශාල පාඩුවක් බව විශේෂයෙන් කීමේ අවශ්‍යතාවක් නැත. එහෙත් මේ කතාව ජනාධිපතිතුමන් කී දවසේම මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කළ හිටපු විදුලිසංදේශ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කියා තිබෙන්නේ මෙවැනි කිසිදු ගෙවීමක් ALIT ආයනයට ගෙවා නැති බවත් මේ කාරණය සම්පූර්ණයෙන්ම වැරැදි තොරතුරු මත සිදුකරන ලද ප්‍රකාශයක් බවත්ය.

අනෙක් අතට මෙවැනි නොමඟ යැවීම් හරහා රටේ ජනාධිපතිවරයාගේ තත්ත්වය පවා හෑල්ලුවට පත්වී ඇති බව සමාජ මාධ්‍යවල බොහෝ අයගේ ප්‍රකාශ මගින් පෙන්නුම් කර තිබෙන අතර 2015 පටන්ගත් අලංකාරික දේශපාලනයේ බොරුවලට ඒ දේශපාලන ව්‍යාපාරයේ නායකයන්ද වැටෙන තරමට මේ අර්බුදය වර්ධනය වී ඇති බව මේ මගින් පෙන්වන අනෙක් කාරණයයි. දැන් ජනාධිපතිතුමන්ගේ ප්‍රකාශය යම් කිසි හෝ සත්‍ය පදනමක් තිබේනම් රජය කළ යුතුව තිබුණේ මේ සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් සිදුකර ඒ කියන ආකාරයට රටට මුදල්මය පාඩුවක් සිදුකර ඇති අය නීතියේ රැහැනට පත් කිරීමය. එහෙත් එවැනි කිසිම දෙයක් සිදු නොකර ඒ පිළිබඳව කිසිම තොරතුරක් කියන්නේ නැතිව සිට රජයේ අවසාන මාස කීපය පැමිණි පසුව මේ ආකාරයේ ප්‍රකාශ කිරීම මගින් සිදුවන්නේ ජනාධිපතිතුමන්ටන් රජයටත් යම් තරමක හෝ පිළිගැනීමක් තිබුණානම් එයත් නැති කරගැනීමය.

මේ සිද්ධිය සමඟ 2015 ජනවාරිවරුන්ගේ පළල් දේශපාලන මෙහෙයුම සම්බන්ධ යැයි මා කීවේ පසුගිය වසර හතර හමාරක පමණ කාලයේ සිදුවූ දේවල් දෙස බැලීමෙන් පසුවය. 2015 ජනවාරිවරුන්ගේ දේශපාලනයේ පදනම වූයේම එවකට තිබූ සියලුම සංවර්ධන ව්‍යාපෘති ප්‍රශ්නයට ලක් කිරීමයි. ඒවා ප්‍රශ්නයට ලක් කිරීම පමණක් නොව එම ව්‍යාපෘති සම්බන්ධව විවිධ ආකාරයේ අලංකාරිකයන් ගොඩනගමින් සමාජය තුළ ඒ ඒ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව යම් ආකාරයක විචිකිච්ජාවක් ගොඩනැගීම ඒ කණ්ඩායමේ අවශ්‍යතාවය බවට පත්වූ බව පැහැදිලි කාරණයකි. ඒ අයගේ කණ්ඩායමේ සමහර ප්‍රධානීන් සාහිත්‍ය මහාචාර්වරුන් හෝ පරිවර්තකයන් වූ නිසා සමාජමය ප්‍රශ්න හමුවේ අලංකාරිකයන් ගොඩනැඟීම පැත්තෙන් ඉතාමත් දක්ෂ ලෙසින් මතුවී සිටි බවද සැබෑවකි. සමහරුන් වෘත්තියක් ලෙසින් කරන්නේ නවකතා ලිවීම වැනි නිර්මාණ කටයුතු නිසා සමාජ දේශපාලන ගැටලු ප්‍රශ්නාර්ථයක් ගොඩනැඟෙන පරිදි කතන්දර හැදීම දේශපාලනය ලෙසින් ප්‍රතිවරනඟනය කර ගත්තදැයි විමසිය හැකිය. මේ කාණ්ඩයේ දේශපාලනය කියන්නේම පසුගිය සඳුදා ජනාධිපතිතුමන් කියූ ආකාරයේ පදනම් විරහිත චෝදනාවලින් පිරුණු දේශපාලනයක් බව සිදුවූ බොහෝ දේවල්වලින් පෙන්නුම් කරන කාරණයකි.

නෙළුම් කුලුන ව්‍යාපෘතිය මේ රටේ ඒ මොහොතේ කළ යුතුව තිබූ හොඳම හා එකම ව්‍යාපෘතිය යැයි මා කියන්නේ නැත. ඒ ව්‍යාපෘතිය ආරම්භයේ සිටම විවිධ මූල්‍ය දුක්ෂරතාවලට භාජන වෙමින් ගොඩනැඟුනු රාජ්‍ය ව්‍යවසායකත්වයක් ලෙසින් තේරුම් ගැනීමේ වැරැද්දක් නැත. දැන් රටට අවශ්‍ය වන්නේ එවැනි රාජ්‍ය ව්‍යවසායකත්ව ශක්තිමත් ව්‍යාපාර බවට පාලනයක් මිස ඒවා පිළිබඳව නැති දූෂණ පිළිබඳව ආඩාපාලි කියන පාලකයන් නොවන බව මෙහිදී සඳහන් කළ යුතුම කාරණයකි. එසේම හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපොළ වැනි රාජ්‍ය ව්‍යවසායකත්ව කළමනාකරණය කරමින් රටට ශක්තියක්වීම මිස ඒවා පිටරටට විකිණීම තමන්ගේ ප්‍රතිපත්තිය කරගත් දේශපාලනයෙන් මේ රටට වැඩක් නොවන බව පසුගිය වසර හතර හමාරේ පාලනය අපට පෙන්වා දෙන සත්‍යය යැයි කීමේ වැරැද්දක් නැත.

2015 රජයේ පැමිණීමත් සමඟ වරාය නගරය ව්‍යාපෘතියේ සිට නෙළුම් කුලුන ව්‍යාපෘතිය දක්වා මේ සෑම ව්‍යාපෘතියක්ම නිසිකාලයට නිමා නොකිරීමේ ‘කල් ඉකුත්වීමේ ගාස්තු’ (Demurrages) ගෙවීමට සිදුවූ බව මේ ආණ්ඩුවට සම්බන්ධ බොහෝ අය දන්නා කාරණයකි. එය එසේ වී ඇත්තේ මේ ආණ්ඩුව හැම සංවර්ධන ව්‍යාපෘතියකටම අවධානය යොමු කරන්නේම ‘එය තුළ යම් දූෂණයක් පවතී’ යන සැකය මුසු කරගත් මැදිහත්වීමක් වන නිසාය. මේ සැකය දුරු කරගැනීමට ගතවන කාලයට සමාන්තර කල් ඉකුත්වීමේ ගාස්තුව ගෙවීමට සිදුවී ඇත්තේ මේ රටේ ජනතාවටය. මා දන්නා ආකාරයට චීනයත් සමඟ සිදුකරන වරාය නගරය ජපානයේ ආධාර මත සිදුකරන කටුනායක අධිවේගී මාර්ගයේ සිට කොළඹ දෙසට එන නව මාර්ගය නෙළුම් කුලුන වැනි බොහෝ ව්‍යාපෘති සඳහා කල් ඉකුත්වීමේ ගාස්තු ගෙවීමට සිදුවූ බවය. මීළඟ ආණ්ඩුවකින් කළ යුතු එක් ප්‍රධාන කාර්යයක් විය යුත්තේ මේ ආණ්ඩුවේ සමහරුන් දැනුවත්වම කල් දැමූ මේ සමහර ව්‍යාපෘති සඳහා ගෙවූ මේ කල් ඉකුත්වීමේ ගාස්තුව ඒ ඒ අයගෙන් පෞද්ගලිකවම අය කරගැනීමේ නීතියක් සම්මත කරගැනීමය.

2015 ජනවාරි දේශපාලනය ආරම්භ වූයේ අලංකාරිකයක් ලෙසින්ය. එය ක්‍රියාත්මක වී වසර හතර පමණ වනවිට එය සහරාන්ගේ ත්‍රස්තවාදය හරහා ව්‍යසනයක් බවටද පත්විය. නෙළුම් කුලුන විවෘත කිරීමේ උත්සවයේ කියූ හා සමහර තවත් කාරණාවලින් පෙනී යන්නේ 2015 දේශපාලනය දැන් ප්‍රහසනයක් බවට පත්වෙමින් තිබෙන බවය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය චරිත හේරත්