මෙම මස මුලදී ශ්‍රී ලංකා රජය 2019 වසරේදී ජපානය සහ ඉන්දියාව සමග අත්සන් කළ, කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැදගත් ක්‍රමෝපාය සංවර්ධනය උදෙසා වූ අවබෝධතා ගිවිසුම ඒකපාක්ෂිකව අවලංගු කරනු ලැබුවේය. ඒ අනුව නැගෙනහිර බහාලුම් පර්යතනය සංවර්ධනය කිරීමේ හා මෙහෙයුම් කිරීමේ කටයුතු ශ්‍රී ලංකා වරාය සංවර්ධන අධිකාරිය විසින්ම කරනු ඇත.

එම තීරණය නිවේදනය කිරීමත් සමගම රජය සහ වෘත්තීය සමිති අතර පැවැති නොසන්සුන්තාව සමනය වූයේය. මෙම නැගෙනහිර පර්යන්තය පිළිබඳ අර්බුදය ආරම්භ වූයේ වරාය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, පසුගිය වසරේ නොවැම්බරයේදී නැගෙනහිර බහාලුම් පර්යන්තය ශ්‍රී ලං.ව. අධිකාරියත් ජපානය සහ ඉන්දියාවත් එක්ව හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන බවත් ශ්‍රී.ලං. වරාය අධිකාරිය මෙහිදී සියයට 51 ක හිමිකමක් දරන බවත් නිවේදනය කිරීමෙන් අනතුරුවය.

ඉන්දියාව නියෝජනය කරන පාර්ශ්වය අද‌ානි සමූහය ලෙස එහිදී නම් කෙරිණි. විවිධ දේශපාලන පක්ෂවලට අනුබද්ධ වෘත්තීය සමිති අනියත බියට සහ කලබලයට පත්ව එවැන්නක් සිදු කිරීමට එරෙහිව තම විරෝධතා ව්‍යාපාර ආරම්භ කළහ.

භූ දේශපාලන අවශ්‍යතා මත ජනාධිපතිවරයා එම අවබෝධතා ගිවිසුම නොනවතා ක්‍රියාත්මක කරන්නට යන බවක් පෙනෙන්නට තිබිණි. කෙසේ වුවද බෞද්ධ භික්ෂූන්, දේශපාලන පක්ෂ සහ වෙනත් පාර්ශ්ව ව්‍යෘපෘතියට අදාළ කටයුතු ක්‍රියාත්මක කිරීම නවතා දමන ලෙස රජයට බලපෑම් කරන්නට විය. ශ්‍රී ලංකාවත්, ඉන්දියාවත්, ජපානයත් අතර අත්සන් කළ ත්‍රෛපාක්ෂික අවබෝධතා ගිවිසුම අවලංගු කර දමන ලෙස ඔවුහු කියන්නට පෙළඹුණෝය. මේ වනවිට යෝජිත නැගෙනහිර පර්යතන්තය (ECT) ගනුදෙනුව මහා තූර්ය ඝෝෂා මැද නතර වී තිබේ. එහෙත් ඒ මගින් ජාතිය විසින් උගත යුතු වටිනා පාඩම් රැසක් ශේෂකොට තිබේ.
යෝජිතව තිබූ නැගෙනහිර පර්යන්ත ගනුදෙනුව දේශපාලනිකව හා ආර්ථික වශයෙන් නිර්ව්‍යාජ ලෙස රටට ප්‍රයෝජනවත් වන බව සහ එම අවබෝධතා ගිවිසුම අවලංගු කිරීම අප රටට අනර්ථකාරී වන්නේය යන පූර්ව අනුමානයෙන් යුක්තව මෙම ලිපියෙන් මගේ අදහස් මම ඉදිරිපත් කරන්නෙමි.


රජයේ විසඳුම ප්‍රබල නොවීම
ඉන්දියාව සහ ජපානය සමග දියත් කරන්නට නියමිතව තිබූ හවුල් ව්‍යාපාරය ආරම්භ කිරීම උදෙසා රජය දැඩි අධිෂ්ඨානයෙන් පසු නොවූ බව බොහෝ අය නිරීක්ෂණය කරති. වෘත්තීය සමිති සහ වෙනත් පාර්ශ්ව වෙතින් එතරම් දැඩි විරෝධතාවක් පැන නැගේ යැයි ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු නොවූ බව ද පැහැදිලිය. ගනුදෙනුවට එරෙහිව මතු වූ විරෝධතාවේ තීව්‍රතාව සම්බන්ධයෙන් රජය විමතියට පත් වූ අතර විරුද්ධ පාර්ශ්ව වෙතින් පැමිණි චෝදනාවලට සරිලන මට්ටමේ ප්‍රතිචාරයක් ද රජය පැත්තෙන් ඊට එරෙහිව මතු නොවූයේය. ඡන්ද දායකයන් විසින් අනුමත කරනු ලැබූ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අත්සන් තබන ලද එම ගිවිසුම විරුද්ධ නිසා රජය එම ගිවිසුම සම්බන්ධයෙන් ඊට පක්ෂව කරුණු දැක්වූයේ වරදකාරී හැඟීමෙන් යුතුවය. රජය නිසි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් විරෝධතාවලට එරෙහිව ක්‍රියා කළේ නම් සාකච්ඡා කරන ලද එම ගිවිසුම ක්‍රියාත්මක කරන්නට තිබිණි. සාකච්ඡාවට භාජන වූ ගිවිසුම සියයට 60, 40 මට්ටමේ හිමිකාරීත්වය වෙන් වන්නක් වූ බව අනුමාන කළ හැකිය. එහිදී යෝජිතව තිබූ 51% - 49% අනුපාතයට වඩා එය ඉහත කී (60% - 40%) ලෙස වෙනස් වන්නටත් ශ්‍රී ලංකාවට වාසි සහගත ලෙස නැගෙනහිර පර්යන්තයේ පාලනය ශක්තිමත් වන්නටත් ඉඩ තිබිණි.


නැගෙනහිර පර්යන්ත ගිවිසුමේ ව්‍යාපාර වාසි අවතක්සේරු නොකළ යුතුය
වෘත්තීය සමිති සහ දේශානුරාගී ජාතිකවාදී බලවේග නැගෙනහිර බහාලුම් පර්යන්ත ගනුදෙනුව ජාතික දේපළ විකුණා දැමීමක් ලෙස අර්ථකථනය කළ අතර රජය එය භූ දේශපාලන සාධකවල බලපෑමෙන් බිහි වූ ආයෝජන ක්‍රමෝපායක් ලෙස හැඳින්වීය. කෙසේ වුවද රජය, යෝග්‍යතාව මත හෝ වාසිදායක ව්‍යාපාරයක්ය යන ස්ථාවරයේ පිහිටා එම ගනුදෙනුව පිළිබඳ තර්කානුකූලව කරුණු කියන්නට අසමත් වූයේය. එය තදබල ප්‍රමාද දෝෂයකි. එහි ප්‍රතිඵලයක් ලෙස මාධ්‍යය ද එය එකවර විකුණා දැමීමක් ලෙස පෙන්වා දෙමින් එම ගිවිසුමට එරෙහිව මහජන මතය ගොඩ නැගුවේය. එසේ නම් රජය නැගෙනහිර බහාලුම් පර්යන්තය ගිවිසුමට පක්ෂව කිනම් ආකාරයකින් තර්කානුකූලව කාරණා කිව යුතුව තිබුණේද?

යෝජිත හවුල් ව්‍යාපාර ගිවිසුමට ඇතුළත් වීමෙන් සහජීවනය උදාවන බව (පාර්ශ්ව සියල්ලට වාසි සහගත බව) රජය හුවා දක්වා පෙන්වා දිය යුතුව තිබිණි. සහජීවනය යන්න, සංවිධාන, ආයතන හෝ වෙනත් ඒජන්ත ආයතන දෙකක් හෝ ඊට වැඩි ගණනක අන්තර් ක්‍රියාකාරීත්වයෙන් හෝ සහයෝගීතාවෙන් යුතුව ඔවුන්ගේ සම්මිශ්‍ර වෑයමෙන් ඔවුන් තනි තනිව කරන වෑයමෙන් නිපද විය හැකි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි අවස්ථාව ලෙස හඳුන්වා දිය හැකිය. සරලව දක්වතොත් දෙපාර්ශ්වයක් අතර සහජීවනයක් පවතින විට යෙදවුම් දෙකකින් ලැබෙන නිපැයුම් දෙකක් වෙනුවට තුනක් වනු ඇත. (1+1 = 3). එම ගිවිසුමෙන් රටට සහජීවනය උදාවෙන බවත්, යෝජිත හවුල් ව්‍යාපාරයෙහි නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් තනිව කරනවාට වඩා වැඩි වාසි රටට සැලසෙන බව පැහැදිලිව පෙන්වා දීමේ වගකීම රජය වෙත පැවරී තිබිණි.

කොළඹ වරායේ සිදුවන ප්‍රධාන නැව්ගත කිරීම්වලින් සියයට 80ම ප්‍රතිනැව්ගත කිරීම් වන අතර එයින්ද සියයට 60ක් ඉන්දියාව සමග සිදුවන ප්‍රතිනැව්ගත කිරීමේ ව්‍යාපාරය. එම නිසා කොළඹ වරාය සම්බන්ධයෙන් ඉන්දියාව දේශපාලනික වශයෙන් හා වාණිජමය වශයෙන් උනන්දු වීම ස්වභාවිකය. ඉන්දියාව නියෝජනය කරන පාර්ශ්වයක් සමග හවුල් ව්‍යාපාරයක් ගොඩනැගීම මගින් නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් සිදු වනවිට ප්‍රතිනැව්ගත කිරීම් ප්‍රමාණයද වැඩි වන්නට ඉඩ ඇත. හවුල්කාර පාර්ශ්වයක් ලෙස එහිදී ඉන්දියාව වැඩි ව්‍යාපාර කටයුතු ප්‍රමාණයක් ජනනය කරනුයේ ඔවුන්ගේ ආයෝජනවලට වැඩි ප්‍රතිලාභයක් ඉන් ලැබෙන බැවිනි.

එවැනි වාතාවරණයක් තුළ වෙළෙඳ භාණ්ඩ වැඩි ප්‍රමාණයක් හුවමාරු වනවිට එමගින් ශ්‍රී ලංකා ආර්ථිකයට වැඩි ඵලදායී බලපෑමක් ඇති වේ. එය ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් තනිවම නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු කරද්දී ලැබෙනවාට වඩා වැඩි ආර්ථික ලාභයකි. රජය විසින් හුවා දක්වා කිව යුතුව තිබුණේ එම වාසි සහගත ව්‍යාපාර තත්ත්වයයි. එහිදී හවුල් ව්‍යාපාර පාර්ශ්වයක් ලෙස ඉන්දියාව ද ආයෝජන කොටසක් ගෙනෙනු ඇත. එයින් වැඩි වන්නේ මෙරටට ලැබෙන ඍජු විදේශ ආයෝජන ප්‍රමාණයයි. ව්‍යාපාරයේ අවදානම බෙදා ගැනීමට ද එහිදී සාමූහිකව බැඳෙන්නේය.

සහයෝගිතා ගිවිසුම කටුගා දැමීමෙන් ශ්‍රී ලංකාව ඉන්දියාව සහ ජපානය අතර සිදුවන කීර්ති නාමය පළුදු වීම ගැන ද ශ්‍රී ලංකා රජය අවධාරණය කොට කිව යුතුව තිබිණි. කොළඹ වරාය මත මෙතරම් යැපෙන්නේ නැතිව වෙන අතක් බලාගත යුතු බවට ද ගිවිසුම කටු ගෑමෙන් ඉන්දියාවට සන් කරන්නේය. ඒ අනුව ඉන්දියාව විකල්පයක් ලෙස තමන්ගේ වරායක් වෙත යොමු වීම ද සිදුවිය හැකිය. එවැනි ප්‍රතිචාරයකින් ප්‍රතිනැව්ගත කිරීමේ කේන්ද්‍රස්ථානයක් ලෙස කොළඹ වරායට ඇති භූගෝලීය වැදගත්කම ද අඩුවේ.

ඉන්දියානු වරායවල මෙහෙයුම් වියදම කොළඹ වරායට වඩා වැඩි බැවින් ශ්‍රී ලංකාවට සදාතනික වාසියක් තිබෙන බවට ආර්ථික විද්‍යාඥයකු තර්ක ඉදිරිපත් කර ඇත. තාක්ෂණික වර්ධනය සමග කිසි දෙයක් අසීරු නොවන බැවින් දැනට තිබෙන වාතාවරණය අනාගතයේ කොයි මොහොතේ හෝ වෙනස් විය හැකිය. එම නිසා කොළඹ වරාය තුළ සෑහෙන තරම් ඉන්දියානු ආයෝජනයක් සිදු වේ නම් ශ්‍රී ලංකාවට, ඉන්දියාව කොළඹ වරාය මත යැපීමේ තත්ත්වය දිගු කාලීන වශයෙන් ස්ථාවරව පවත්වාගත හැකි වේ. එමගින් ඉන්දියාවට තමන්ගේ වරාය ප්‍රතිනැව්ගත කිරීම උදෙසා දියුණු කිරීමට ඇති අවශ්‍යතාව හා ආසාවද කල් දමා ගත හැකි වේ.


කාර්මික විශේෂඥයන්ගේ නිහැඬියාව
නැගෙනහිර බහාලුම් පර්යන්තය පිළිබඳ සිද්ධියේදී වඩාත් කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ වරාය හා නැව්ගත කිරීම පිළිබඳ විශේෂඥවරුන් කිසිවකු හෝ ඔවුන්ගේ කර්මාන්තයට අයත් සමූහයේ සංගම්වල විශේෂඥයන් කිසිවෙක් මහජනයා ඉදිරියට අවුත් යෝජිත හවුල් ව්‍යාපාරයෙන් රටට සිදුවන යහපත ගැන කිසිවක් කීවේ නැත.

එසේ වූයේ මෙම ගිවිසුමේ ව්‍යාපාරික වශයෙන් සිදුවන වාසියක් හෝ ඊට විරුද්ධ පැත්තක් ඔවුන් දේශපාලන හේතු නිසා නොදැනිම විය හැකිය. කිනම් ආකාරයකින් හෝ ඔවුන්ගේ නිහඬතාව මාධ්‍යවලත් ගිවිසුමට විරුද්ධ පාර්ශ්වවලින් විරෝධය ශක්තිමත් කිරීමට උපකාරී විය. මෙම ගනුදෙනුව භයානක බවත් ඔවුන් දුටුවේ මේ ඔවුන් එය ප්‍රසිද්ධියේ කිව යුතුව තිබිණි. එසේ වූයේ නම් මහජනයාට මේ පිළිබඳව දැනුම්වත්ව මහජනයාට නිගමනයකට එළඹිය හැකිව තිබිණි.


වෘත්තීය සමිතිවලත් අනෙකුත් විරුද්ධ පාර්ශ්වවලත් සම්ප්‍රදායික ස්ථාවරය
නැගෙනහිර පර්යන්ත ගිවිසුමට විරුද්ධව දැක් වූ පාර්ශ්වයක් එය අර්ථනිරූපණය කළේ ජාතික දේපළ විකුණා දැමීමක් ලෙසයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල එය මුලදී සඳහන් වූයේ නැත. වරාය ආර්ථික මර්මස්ථානයක් ලෙස ද ඔවුහු තර්ක ඉදිරිපත් කළහ. එම නිසා මොනම තත්ත්වයෙන් හෝ එය පෞද්ගලීකරණය නොකළ යුතු බව ඔවුහු කීහ. එම නිසා රටටත් ජනතාවටත් අයත් සම්පත් ආරක්ෂා කරගැනීම පිළිබඳ හැඟීම්බර සටන් පාඨ කේන්ද්‍ර කරගෙන සියලු උද්ඝෝෂණ සිදු විය. අපේ සම්පත් අප රැක ගනිමු යන්න එක් සටන් පාඨයකි. පෞද්ගලීකරණය පිළිබඳ ඕනෑම කතිකාවක් පැවැත්වෙන විට ඔවුන් තෙපලන මහාර්ඝ සටන් පාඨ මේවාය. ප්‍රතිව්‍යුහගත කිරීම් හෝ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යවසායක රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් පිළිබඳ වුවත් ඔවුන් තෙපලන්නේ එම සටන් පාඨමය.

ජාතිකවාදී බලවේග සහ වෘත්තිය සමිති වරාය, ශ්‍රී ලංකන් ගුවන් සේවාව ආදිය මෙම රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යවසාය කෙතරම් පාඩු පිට දුවමින් රජයට බරක් බවට පත් වුවද ඔවුන් ඒවා හඳුන්වන්නේ ජාතික දේපළ ලෙසයි. සියයට 51ක හිමිකාරීත්වයක් රජයට තිබීම ද ඔවුන් අර්ථකථනය කරනුයේ විකුණා දැමීමක් ලෙසය. මෙයින් පෙනී යන්නේ මෙම පාර්ශ්ව තුළ නවීන සීමිත සමාගම් සහයෝගිතාවේ පාලනය වන ආකාරය පිළිබඳ අවබෝධයක් නොමැති බවය. වෘත්තීය සමිතිවල විරෝධය ඔවුන්ගේ රැකියා හා ඔවුන් දැනට ලබන වරප්‍රසාද හා දීමනා අහිමි වේද යන බිය නිසා නැතහොත් පෞද්ගලික අංශය නිතරම වැරදිය යන චිරාගත ආකල්පය නිසාත් පැන නැගුණු එකක් බව පෙනී යයි. ඔවුන් එම ආදානග්‍රාහී දෘෂ්ටියේ ඇලී සිටිනා බවක් ද පෙනී යයි.

වෘත්තීය සමිති ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනුයේ සම්පත් රැක ගැනීමට විනා එම සම්පත් වැඩිදියුණු කරමින් ඒවා කාර්යක්ෂම ලෙස පවත්වා ගැනීම නොවේ. වෘත්තීය සමිති සහ අනෙකුත් බලවේග දැනුම්වත් බව මදිකම නිසා ද ඔවුන්ගේ නීතිය වැඩි වූයේය. රජය එවැනි තොරතුරු මගින් දැනුම්වත් කිරීමේ අඩුපාඩුවට පිළියම් යෙදුවේ නම් නැගෙනහිර පර්යන්තය සම්බන්ධ වැඩි විනිවිදභාවයක් ඇතිවනු නියතය.


තනිව දිනීම විනා සැවොම දිනීම කෙරේ විශ්වාසයක් නැති වීම
එක් පුද්ගලයකු හෝ කණ්ඩායමක් පරාජයට පත් කරමින් තනි පුද්ගලයකුට හෝ කණ්ඩායමකට ජය අත්වීම එක් තත්ත්වයකි. ශ්‍රී ලංකාව තුළ මෑතදී සිදු වූ බොහෝ දේශපාලන අරගලවලදී ප්‍රධාන ලක්ෂණය වූයේ එයයි. සයිටම් ආයතනය පිළිබඳ අරගලය උදාහරණයකට ගනිමු.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අනෙකුත් විරුද්ධ පාර්ශ්වවලට අවශ්‍ය වූයේ සයිටමය (SAITM) මුළුමනින්ම අහෝසි කර දැමීමය. වෛද්‍ය විද්‍යාල පරිපාලනය පවා නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ඇතුළු අනෙකුත් අය සම්මුතියකට එළඹීමට සූදානම් නොවූහ. ඔවුනට ඕනෑ වූයේ සියල්ල මුළුමනින්ම නැත්නම් එපාය යන විසඳුමය.

ඒ හා සමානවම නැ. පර්යන්ත ගැටලුවේදී ඊට විරුද්ධ සියලු පාර්ශවවලට අවශ්‍ය වූයේ ත්‍රෛපාක්ෂික ගිවිසුම අහෝසිකොට ඊට ඉන්දියාවේ මැදිහත් වීමද අහෝසිකොට දැමීම තහවුරු කර ගැනීමය. එවැනි අහෝසි කිරීමකදී මතුවන රාජතාන්ත්‍රික ගැටලු පිළිබඳ සලකා බැලීමක්ද ඔවුනට අවශ්‍ය නුවූයේය. එවැනි හවුල් ව්‍යාපාරයකින් ඉහත පැහැදිලි කළ ආකාරයෙන් සිදුවන සහජීවනයකින් ද අත්වන වාසි ද ඔවුනට අවශ්‍ය නොවීය.
මැද මාවතක් නැත, සම්මුතිගත වීමක් නැත. මන්දයත් එය එක් පාර්ශවයක් පරයා අනෙක දිනිය යුතු සෙල්ලමක් යැයි ඔවුන් සිතන බැවිනි. මිනිසුන් ආදානග්‍රාහීව එක් මතයක එල්බගෙන ඉන්නා විට ඔවුනට නම්‍යශීලී ලෙස අනෙක් දේ දැකිය නොහැකිය. ඔවුහු එවිට ඔවුන්ගේම මතවාදයේ ගොදුරු බවට පත්වෙති. එවිට සාකච්ඡා කොට ගැටලු විසඳා ගැනීමක් නැත. එහෙත් බොහෝ අවස්ථාවල පාර්ශ්ව සියල්ලටම දිනුම අත්වන විසඳුම් තිබේ.

රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යාපාර ඇති අනෙකුත් රටවලින් උගත හැකි පාඩම්
ශ්‍රී ලංකා වෙරළ තීරයේ තෙල් සම්පත් සොයාගත් වාතාවරණයක් ගැන උපකල්පනය කරගනිමු. මෙවැනි අවස්ථාවක් එළඹුනහොත් බහුජාතික ඛනිජ තෙල් සමාගමක් සමග සහයෝගයෙන් ක්‍රියාකිරීම විනා අපට වෙනත් විකල්පයක් නැත. එවැනි අවස්ථාවක මෙම වෘත්තීය සමිති සහ ජාතිකවාදී බලවේග එම බහුජාතික සමාගම්වලට දක්වන ප්‍රතිචාරය ගැන සිතාබලනු වටී. ශ්‍රී ලංකාවේ බහුතර දෙනා රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය කිරීමටත්, රාජ්‍ය දේපළ සහ රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලික අංශයේ අතට පත්වීමටත් විරුද්ධය. එසේ වුවද වෙනත් රටවල් පෞද්ගලීකරණය කරන ආකාරය ගවේෂණය කර බලා ඒවායින් පාඩම් ඉගෙන ගැනීම වඩාත් වටනේය.

මැදපෙරදිග, ගල්ෆ් රටවල් ඔවුන්ගේ තෙල් සංචිත උකහා ගැනීමේදී බහුජාතික සමාගම් හවුල් කරගත් ආකාරය පිළිබඳව මෙම රචකයාට අත්දැකීම් කිහිපයක් ඇත.

සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් රාජ්‍ය වැනි තෙල් සම්පත්වලින් පොහොසත් ගල්ෆ් රටවල ප්‍රධාන තෙල් බිම්වලින් තෙල් උකහා ගන්නේ බහුජාතික සමාගම්ය. මර්ස්ක් ඔයිල්, එක්සොන් මොබයිල්, ෂෙල් සහ ඔක්සිඩෙන්ටන් පෙට්‍රෝලියම් ආදී සමාගම් ඒ අතර වේ. ඔවුන් ඒ සඳහා තෙල් ගවේෂණ සහ නිෂ්පාදන කටයුතු පිළිබඳ හවුල් ගිවිසුම්වලට එළඹ තිබේ (EPSA ගිවිසුම්). තෙල්, ගෑස් ගවේෂණය සහ නිෂ්පාදනය සිදුවන්නේ එම ගිවිසුම්වලට අනුකූලවය. මෙම වැඩපිළිවෙළ එකඟතාව නැතහොත් පැවරුම යනුවෙන්ද හැඳින්වේ.

ඉහත කී (EPSA) වර්ගයේ ගිවිසුම්වලට එළඹ තිබෙන්නේ එම ස්වදේශික රටවලට අයත් නොවූ තාක්ෂණික ඥානය බහුජාතික සමාගම්වලට හිමිව තිබීම නිසාය.

උදාහරණයකට කටාර් රාජ්‍යයේ සියලුම තෙල් සහ ගෑස් ගවේෂණ සහ නිෂ්පාදන කටයුතුවල අධිකාරිත්වය දරන්නේ කටාර් පෙට්‍රෝලියම් නම් රාජ්‍ය ආයතනයයි. සියලුම බහුජාතික සමාගම් සමග EPSA ගිවිසුම්වලට එළඹ ඇත්තේ කටාර් පෙට්‍රෝලියම් ආයතනයයි. සෑම බහුජාතික සමාගමකටම වෙන්කළ තෙල් සංචිතවල තෙල් බිම් ඇත. මුහුදේ තෙල් ආකර පිහිටුවීම සහ වානිජ නිෂ්පාදනය උදෙසා ආයෝජන සිදුකිරීමේ වගකීම් ඇත්තේ ඉහත කී ගිවිසුම් අනුව පැවරීම් ලබාගත් බහුජාතික සමාගම්වලටය. සෑම (EPSA) ගිවිසුමකින්ම තෙල් නිෂ්පාදන බහුජාතික සමාගම සහ කටාර් පෙට්‍රෝලියම් (QP) අතර බෙදීයන ආකාරය නිශ්චිතව තීරණය වේ.

සාමාන්‍යයෙන් (දර්ශීය වශයෙන්) ඉහත කී EPSA ගිවිසුමකින් බහුජාතික සමාගමට තෙල් බැරල් ප්‍රමාණවත් සංඛ්‍යාවක් විකුණා ගැනීමෙන් මෙහෙයුම් වියදම් පියවා ගන්නට අවසර ලැබේ. එය පිරිවැය තෙල් යනුවෙන් හැඳින්වේ. ඉතිරි නිෂ්පාදනය හඳුන්වන්නේ ලාභ (තීරුවට අයත්) තෙල් යනුවෙනි (Profit Oil) එම නිෂ්පාදනය කටාර් පෙට්‍රෝලියම් (QP) සහ බහුජාතික සමාගම අතර 60% - 40% අනුපාතයට බෙදීයයි. සාමාන්‍යයෙන් EPSA ගිවිසුම් අනුව නිෂ්පාදනය හවුල, කටාර් පෙට්‍රෝලියම් හට වඩාත් වාසිදායක වන අතර බහුජාතික සමාගමට අර්ථදායී වේ. මන්දයත් බහුජාතික සමාගමට සියලුම මෙහෙයුම් වියදම් පිරිවැය තෙල් විකිණීමෙන් මුළුමනින් පියවාගත හැකි බැවිනි. ෆොසිල ඉන්ධන සංචිතයන්හි ආර්ථික වාසිය පෞද්ගලික රාජ්‍ය හවුලෙන් බෙදා හදාගන්නේ ඒ ආකාරයටයි.
කටාර් පෙට්‍රෝලියම් (QP) වෙනත් පාර්ශ්ව සමගද ඒකාබද්ධ ව්‍යාපෘති පවත්වාගෙන යන බව මෙහිදී සඳහන් කළ යුතුය. එවැනි හවුල් ව්‍යාපාරයක් Oryx GTL සමගම පවත්වා ගැනේ. QP සහ දකුණු අප්‍රිකාවේ සාසොල් (Sasol) 51% : 49% අනුපාතයෙන් සිදුවන හවුල් ව්‍යාපාරයේදී දෙවැනි පරම්පරාවෙන් උත්පාදිත ගෑස් (GTL) දියර බවට පත්කිරීමේ කටයුතු රාස් ලෆාන් කාර්මික නගර සංකීර්ණයේ සිදුවේ. රටවලට සුදුසු ලෙස සකසාගත් මෙම සාර්ථක මොඩලවලින් ශ්‍රී ලංකාවටද ඒ ගැන දැනගත හැකිවේ.

නැගෙනහිර බහාලුම් පර්යන්ත හා සැසඳූ විට බටහිර බහාලුම් පර්යන්ත ඉන්දියාවට හොඳ ගනුදෙනුවක් වේද?
විරෝධතා පැන නැගෙද්දී රජය බටහිර පර්යන්තය ඉන්දියාවට දෙන්නට තීරණය කර නැතැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. කැබිනට් මණ්ඩලය විසින් එම තීරණය ස්ථිර කළ යුතුය යන ස්ථාවරයේ ඔහු රැඳී සිටියේය. අවසානයේ අවබෝධතා ගිවිසුම අහෝසි කළ යුතු බව කැබිනට් මණ්ඩලය තීරණය කළ විට වෘත්තීය සමිති සහ අනෙක් ජාතිකවාදී බලවේග ජයඝෝෂා නැගුවෝය. කෙසේ වුවද අවබෝධතා ගිවිසුම කටුගාන්නට රජය ගත් තීරණය තුළ ට්‍රෝජන් අශ්වයකු ද ඇමිණී සිටියේය. ඉන්දියා - ජපාන (ව්‍යාපාර එකතුව) සුසන්ධානය වෙත මෙතෙක් සංවර්ධනය නොකළ බටහිර බහාලුම් පර්යන්තය ශ්‍රී ලංකා රජය විසින් පිරිනැමුවේය. එම ගනුදෙනුව වඩාත් පාඩු සහගත සහ ජාත්‍යානුරාගී නොවනතාක් දුරට ජාතිකවාදී දෘෂ්ටියෙන් බැලූවිට පෙනී යනු ඇත්තේ ඉන්දියා - ජපාන වෙළඳ හවුලට අදාළ මෙහෙයුම් සිදුකරන සමාගමට ඉන් සියයට 85ක අයිතිය හිමිවන බැවිනි. නැගෙනහිර පර්යන්තයේ 51% : 49% හවුල් ව්‍යාපාරය හා සැසඳූවිට මෙය මෙරටට පාඩු සහගතය.

එසේ වුවද එය ශ්‍රී ලංකා රජය එවේලේ ඇඟ බේරාගන්නට එසේ කී බවක් පෙනෙන මුත් ඉන්දියාව සහ ජපානය මෙම නව යෝජනාවට අවනත වන්නේද යන්න මෙතෙක් තහවුරු කොට නැත. මෙම දෙරට ශ්‍රී ලංකා රජය ත්‍රෛපාක්ෂික ගිවිසුම අහෝසි කළ පසු මේ වනවිටත් දැඩි විරෝධතාවක් පළකොට තිබේ. එම නිසා ශ්‍රී ලංකා රජය ත්‍රෛපාක්ෂික ගිවිසුමෙන් ඉවත් වීමට ගත් තීරණය බුද්ධිමත් වේද නොවේද යන්න කීමට තවම වේලාසන වැඩිය.


පෞද්ගලීකරණ උදෙසා ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව
මෑතකදී මහ ඉහළින්ම කතාබහට ලක්වූ තර්කය වූයේ අවුරුදු 5කට බලයට එන රජයකට, රටකට දීර්ඝකාලීනව බලපාන මූලෝපායික තීරණවලට එළැඹීමට නොහැකිය යන්නය. ජනවාර්ගික අර්බුදයට සහ පෞද්ගලීකරණයට අදාළ තීරණ ගන්නා අවස්ථාවල එම තර්කය ගෙන එනු ලැබීය. එම තත්ත්වය වලංගු වන්නේ නම් රජයකට ගත හැකි වන්නේ එදිනෙදා කටයුතුවලට අදාළ තීරණ පමණකි. එවිට මූලෝපායික තීරණ ගත නොහැකිය. ඇතැම් දේශපාලන පක්ෂවල සහ ඊනියා ජාතිකවාදී කණ්ඩායම්වල චින්තනය එවැන්නකි. එසේ නම් මැතිවරණ ප්‍රකාශනවල ජාතික වශයෙන් වැදගත් වන තීරණාත්මක කාරණා පිළිබඳව පැහැදිලිව සටහන් කළ යුතුය. මැතිවරණ ජයග්‍රහණවලින් පසු එය බහුතර කැමැත්ත ඊට හිමිවීමක් ලෙස එය ගත හැකිවේ.

එහෙත් ප්‍රශ්නය වන්නේ පරාජයට පත්වීමට ඇති බිය නිසා පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනවල එවැනි තීරණාත්මක කරුණු ගැන පැහැදිලිව සටහන් නොවීමයි. මෙම තත්ත්වය බලයට පැමිණි විට බූමරංගයක් සේ බලයට පැමිණි විට පක්ෂයට බලපාන අතර ඒ හේතුවෙන් ප්‍රකාශයට පත් නොකළ අනාවරණය නොකළ න්‍යායපත්‍ර ක්‍රියාවට නැගෙන්නට පටන් ගැනේ. මැතිවරණ වේදිකාවල දෙනු ලබන දේශපාලන වශයෙන් ජනප්‍රිය පොරොන්දු නිතරම ආර්ථික වශයෙන් ප්‍රායෝගික නොවන ඒවා බව අප මතක තබාගත යුතුවේ.

රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය නොකරනු ලැබේය යන මැතිවරණ පොරොන්දුව නොසලකා පාලක සන්ධානය නැගෙනහිර ජැටිය සම්බන්ධ රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරය දියත් කරන්නට පෙළඹුණේය. කටුගා දමන ලද නැගෙනහිර පර්යන්ත ගිවිසුම අනුව වැඩි පාලන බලයක් ඉන් රජයට හිමිවීමට නියමිතව තිබුණත් පෞද්ගලීකරණය ඉටුකළ නොහැකි සංකල්පයක් ලෙස පෙනී ගියේය.

මැතිවරණ ප්‍රතිපත්තිවල කුමක් සඳහන් කළත් බලයට පැමිණිවිට විශේෂයෙන් ශ්‍රී ලාංකීය ආර්ථිකය සම්බන්ධ ගැටලුවලට ඇතුළුව යථාර්ථයට මුහුණදීමේදී එම ප්‍රතිපත්ති පවත්වාගෙන යා නොහැකිය.
මෙම නිසා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකඟ වූ ජාතික ප්‍රතිපත්ති, පෞද්ගලීකරණය සම්බන්ධයෙන් තිබිය යුතුය. එහිදී ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සේවාව එමිරේට්ස් වැනි පෞද්ගලික කළමනාකරණ අංශයට භාර දිය යුතු ද වැනි කාරණා මෙහිදී සැලකිල්ලට ගත යුතුය. එවැනි ක්‍රියාකාරකම් ශක්තිමත් කළ හැක්කේ ද්විපාක්‍ෂික එකඟතාවලින් පමණකි. ජාතික ප්‍රතිපත්තියක් නොමැති තැන, ආර්ථිකයට හානි සිදුවන්නේ විරුද්ධ පක්ෂය නිතරම බලයේ සිටින රජයේ ප්‍රගතිශීලී පියවර කඩාකප්පල් කර දමන බැවිනි.


නිගමනය
නැගෙනහිර පර්යන්ත ගිවිසුමේ අර්බුදය, රටේ පෞද්ගලීකරණ හිතවාදී හෝ ඊට විරුද්ධවාදී බලවේගවලට කදිම පාඩමක් කියාදෙන්නකි. යථාර්ථය නම් වෙළෙඳපොළ ආර්ථිකයකදී රජයට ව්‍යවසායයන් පවත්වා ගැනීමේ හැකියාව ගැන බලාපොරොත්තු තැබිය නොහැකිවීමය. ජාතික හා ආර්ථික වශයෙන් තීරණාත්මක ව්‍යවසායයක් සම්බන්ධව රජයේ සැලකිය යුතු ආයෝජනයක් තිබිය යුතු බවට වාදයක් නැත. එසේ වුවද ජාතික සම්පත් කළමනාකරණයේදී රාජ්‍ය පෞද්ගලික සහයෝගීතාව යම් තරමකින් පැවතිය යුතුය. ආර්ථිකමය තීරණ ගත යුත්තේ ජාතිකවාදී හැඟීම්බර මතවාදවලට වහල් වී නොව ප්‍රබල මූල්‍යමය ඇගයුමකින් පසුවයි. තනිව දිනීමේ ප්‍රවේශයකට වඩා සාමූහිකව ජයගැනීමේ ප්‍රවේශයක් අනුගමනය කිරීම වඩා වැදගත්ය. එමගින් ප්‍රධාන ආර්ථික ගැටලුවලට ද විසඳුම් ලබාගත හැකිය. ඒ මගින් ප්‍රජාතන්ත්‍රවාදය ද සුරැකෙනු ඇත. දශක දෙකකට පෙර එමිරේට්ස් මගින් ශ්‍රී ලංකන් ගුවන් සේවාව මෙහෙයවීම අනාගත රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරවලට ආදර්ශයක් සේ ගත හැකිය.


(***)
2021 පෙබ. 24 වැනිදා Daily FT පුවත්පතේ පළවූ
“Eight Lessons from the East Container Terminal Fiasco”
ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ