ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට පත්වී මාසයක් ගතවුණේ මේ සතියටය. එතුමන්ගේ දේශපාලන ආගමනය නිසා මේ රටේ සමස්ත දේශපාලනයේ බරපතළ වෙනසක් නිර්මාණය වී ඇති බව ඉතාමත් සත්‍යයක්ය. මේ වෙනස මෙතෙක් ජනාධිපතිවරයකු පත්වූ විටක සිදු නොවූ ආකාරයේ එකක් බව මගේ මතයය. මේ වෙනසේ එක් පැත්තක් පෙනී යන කාරණයක් වන්නේ රජයේ ආයතනවලට ප්‍රධානීන් තෝරා ගැනීමේ ඇති විවෘතභාවයයි.

ජනාධිපතිවරණය නිමාවී මාසයක් ගත වී ඇතත් සමහර රාජ්‍ය ආයතනවලට තවමත් ප්‍රධානීන් පත් කරන්නට නොහැකි වී ඇත්තේ මේ වාරයේ රාජ්‍ය අයතනවලට පත්කරන අය රටේ හැමෝටම පෙනෙන ආකාරයෙන් කරන්නට උත්සාහ දැරීම නිසාය.

රජයේ ආයතනයක් ගොඩනගන්නට අදහසක් හා දැනුමක් තිබෙන ඕනෑම අයෙකුට රජයේ ආයතනවල ප්‍රධානීන් වීමට අයදුම් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේ පළමු වතාවටය. එවැනි ක්‍රමවේදයක් මෙතෙක් කාලයකට නොතිබුණු නිසා සමහර විටෙක දේශපාලන ව්‍යාපාර තුළ ද යම් ආකාරයක ආතතියක් ගොඩනැගෙන බව සැබෑවක්ය. එහෙත් රටක් විධියට කල්පනා කරන විට මේ ආකාරයේ නව අත්හදා බැලීම් ඉතාමත් වැදගත් බව පිළිගත යුතු සත්‍යයකි.

මේ සටහනින් මා ලියන්නට යන්නේ රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත්කිරීමේ ක්‍රමවේදය ගැන නොවේ. මගේ මූලික මාතෘකාව වන්නේ මේ වන විට වර්තමාන ආණ්ඩුව මුහුණ දෙමින් සිටින අභියෝග කීපයක් පිළිබඳව යම් සටහනක් තැබීමටය. මේ අභියෝග කීපයම දේශපාලනික අභියෝග නිසා ඒවා පිළිබඳව සාකච්ඡා කිරීම ඉතාමත් වැදගත්ය.

අනෙක් අතට මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය දක්වා පවතින්නේ මේ ආණ්ඩුව නිසා එයට මතුවිය හැකි අභියෝග සාකච්ඡා කිරීම ඉතාමත් වැදගත් බව මගේ අදහසය.

මා දකින ආකාරයට ආණ්ඩුවට ඇති එක් අභියෝගයක් වන්නේ මෙම අන්තර්වාර ආණ්ඩුව මීළඟ මහ මැතිවරණය දක්වා ‘ජයග්‍රාහී මානසිකත්වයකින්’ යුතුව පවත්වා ගෙන යාමේ අභියෝගයයි. මේ ආණ්ඩුව අන්තර්කාලීන එකක් යැයි කියන්නේ ඒ මගින් බලාපොරොත්තු වෙන්නේ මීළඟ මැතිවරණය වන තෙක් රට ‘අල්ලා ගෙන සිටින’ භාරකාර ආණ්ඩුවක් යන තේරුමෙන්ය. මෙහි ඇති අභියෝගාත්මක තත්ත්වය වන්නේ රටට වැඩදායක පනතක් වැනි බරපතළ වෙනස්කමක් කරන්නට තරම් ශක්තිමත් බලයක් පාර්ලිමේන්තුවේ නොමැති නිසා මේ කාලවකවානුව තුළ ජනතාවගේ ඇති විශාල අපේක්ෂා ඉටු කරන්නට ඇති ඉඩ කඩ සමහර විටෙක සීමාවීමට ඇති අවකාශය සමග ගළපා බලන විට මේ තත්ත්වය අභියෝගයක් බව මගේ අදහසයි.

මේ තත්ත්වය සරලව තේරුම් කළ හැකි තත්ත්වයක් අපේ රටේ මුල්‍ය පද්ධතියේ ඇති අපේක්ෂා සහගත තත්ත්වය දෙස බැලීමෙන් පෙන්නුම් කෙරෙයි.  පසුගිය රජය විසින් මූල්‍ය ක්ෂේත්‍රයේ සිදුකරනු ලැබූ අවුල්සහගත තත්ත්වයට සාපේක්ෂව ජනතාවගේ පැත්තෙන් ඉල්ලා සිටින්නේ භාරකාර රජයකින් බලාපොරොත්තු වෙන ආකාරයේ ඒවා නොවන බව ඉතාමත් පැහැදිලි කාරණයක්ය.  මේ තත්ත්වය නිසාම  රාජ්‍ය යාන්ත්‍රණය සහ රටේ මූල්‍ය පද්ධතිය යන ක්ෂේත්‍ර දෙක තුළටම ඉතාමත් ඉක්මන් හා ක්ෂණික ප්‍රතිසංස්කරණයන් පද්ධතියක්ම ඉල්ලා සිටින තැනකට රට පත්වී ඇති බව තේරුම් ගැනීම ඉතාමත් නිවැරදිය.

නිදර්ශන ලෙසින් ගතහොත් මේ වන විට අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සිටින්නේ බරපතළ හුවමාරු මුදල් අර්බුදයක බව පෙනී යන කරුණක්ය. මුදල් ගලා ඒම (Cash flow) අඩුවීම හේතුවෙන් කිසිම ව්‍යාපාරයක් ශක්තිමත් තත්ත්වයක පවත්වාගෙන යන බවක් පසුගිය වසර පහක කාලයම පෙන්නුම් කළේ නැත. මේ බොහෝ අයගේ ගිණුම් තිබෙන්නේ ක්‍රිබ් එකේ  (Crib) හෙවත් අසාදු ලේඛනයේය. ඒ අයට කිසිම ආකාරයක අලුත් ණයක් ගැනීමේ හැකියාවක් නැත. එපමණක් නොවේ. මේ තත්ත්වය නිසා අර්බුදයට පත්වූ ව්‍යාපාරිකයන්ගේ ගණන සීමා කළ නොහැකි තරමට වැඩිවී ඇති බව ද ප්‍රසිද්ධ කාරණයක්ය. මේ හුඟක් අයගේ වත්කම් වෙන්දේසි කරන්නට බැංකුකරුවන් සූදානම් වෙන බව බොහෝ සුළු ව්‍යාපාරිකයන්ගේ පැත්තෙන් ඇසෙන මැසිවිල්ලක්ය.

මේ ආකාරයෙන් කඩා වැටෙමින් තිබෙන ආර්ථිකය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අභියෝගය වත්මන් භාරකාර රජය හමුවේ ඇති ප්‍රධානතම අභියෝගයක් බව ඉතාමත් පැහැදිලිය. මෙවැනි බරපතළ තත්ත්වයක් සුළු කාලයකින් විසඳීමේ බලාපොරොත්තුවක් ජනතාවගේ පැත්තෙන් මතුවිය හැකි අතර එය කළමනාකරණය කර ගැනීම ආණ්ඩුව පැත්තෙන් ඉතාමත් අවශ්‍ය දෙයක් බව මගේ අදහසය. මේ අභියෝගය ජයගැනීම සඳහා විසඳුම් මාලාවට සමානව ශක්තිමත් ප්‍රචාරණ ව්‍යාපෘතියක් ද ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍ය බව මගේ යෝජනාවය.

තවත් පැත්තකින් ආණ්ඩුවට මුහුණදීමට ඇති අභියෝගයක් වන්නේ පසුගිය ආණ්ඩුවේ අකාර්යක්ෂම පාලනයට සාපේක්ෂව ඉතාමත් කාර්යක්ෂම හා ක්ෂණික ප්‍රතිඵල දෙන ආකාරයේ පාලනයක් ගොඩනඟා ගැනීමට ජනතාවගේ ඇති බරපතළ අපේක්ෂාවය. මේ අපේක්ෂාව සපල කර ගැනීමට මීළඟ ආණ්ඩුව පත්වන තුරු සිටිය යුතු යැයි කීවාට සමාජයේ එක් තීරුවක් ඉන්නේ එවැනි ඉවසීමක්වත් නොමැති තත්ත්වයකය. මේ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයේ වේගය තව තවත් වැඩි කිරීමේ ඉල්ලීම මතුවෙන්නේ මේ තත්ත්වය හේතුවෙන්ය. අලුත් ආණ්ඩුවක් නිර්මාණය කර ගනිමින් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගැනීමෙන් පසුව සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ පවා දැන්මම ඉල්ලන්නේ මේ ප්‍රශ්නය හේතුවෙන් බව මගේ තේරුම් ගැනීමය. සමහර අයකුට මෙවර ආයතන ප්‍රධානීන් පත්කිරීමේ ක්‍රියාදාමය පවා ‘පමාවීමක්’ ලෙසින් දකින්නේ මේ කියන ‘ඉක්මන’ පිළිබඳව ඇති කල්පනාව හේතුවෙන්ය.

තුන්වෙනුව මේ ආණ්ඩුවට ඇති අභියෝගයක් වන්නේ පරණ ආණ්ඩුවේ අය රාජ්‍ය සේවයේ සිදුකර ගොස් තිබෙන සමහර පත්වීම් වෙනස් කරන්නට කාලයක් ගතවීමය. ආණ්ඩුවේ සමහර මර්මස්ථානවලට බරපතළ වශයෙන් දේශපාලනමය සම්බන්ධතාවක් ඇති නිලධාරින් පත්කර තිබෙන නිසා එවැනි නිලධාරින් සමඟ පහළ නිලධාරින්ගේ ඇති සැකය හා වෛරය සමහන් කරන්නට නොහැකිවීම වත්මන් ආණ්ඩුවට මුහුණ දෙන්නට ඇති බරපතළ අභියෝගයක් බව මගේ මතයයි. මෙවැනි අර්බුදජනක පත්වීමක් හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ සිදුවෙන්නට ගිය බරපතළ විෂමාචාරයක් වළක්වා ගන්නට අදාළ නිලධාරියා මාරු කිරීමට පවා එම අමාත්‍යංශයේ ඇමතිවරයාට සිදුවූ බව මා හොඳට දන්නා කාරණයක්ය.

මේ කරුණුවලට අමතරව වත්මන් රජය ඉදිරියේ ඇති අභියෝගයක් වන්නේ පසුගිය පාලන කාලයේ විදේශයන් සමග එකඟවී ඇති සමහර  ගිවිසුම්වලින් එළියට ඒමේ අපහසුතාවයයි. ඒ රජය ගිවිසුම්වලට ගියේම එතරම් බරපතළ ආකාරයක තෝරා බේරා ගැනීමකින් තොරව නිසා ඒ ආකාරයේ අර්බුද ජනක ගිවිසුම් රාශියක් ඇති බව අප හොඳින්ම දන්නා කාරණයක්ය. මේ ගිවිසුම්වලට රට හිරකර තිබෙන අතර මේවායින් සමහර ඒවා ලෝකයේ ශක්තිමත් රටවල් සමග අත්සන් කළ ඒවා බව මෙහිදී අපගේ අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය. මේ ගිවිසුම් අතරින් පසුගිය කාලයේ ඉමහත් ආන්දෝලනයට පත්වූ ගිවිසුමක් වන්නේ ඇමරිකාවත් සමග අත්සන් කිරීමට පසුගිය රජයේ කැබිනට් මණ්ඩලයෙන් පවා අනුමත කරවාගත් MCC ගිවිසුමය. ඒ ගිවිසුමේ ප්‍රධාන පැතිකඩවල් දෙකක් තිබෙන අතර එකකින් කියන්නේ මෙරට ප්‍රවාහන පද්ධතියට විශාල ආයෝජනයක් සිදුකරන බවය. එහෙත් ගිවිසුමේ දෙවන කොටසේ පෙන්නුම් කරන්නේ ඊට වඩා බරපතළ ආකාරයෙන් රටට අහිතකර ආකාරයේ කාරණයක් බව පසුගිය මැතිවරණ කාලයේ සාකච්ඡාවට භාජන වූ බව අප හැමෝම දන්නා කාරණයක්ය. ඒ නිසාම රටේ ජනතාවගෙන් සමහරුන් බලා සිටින්නේ අලුත් ආණ්ඩුව පැමිණි මුල් අවස්ථාවේදීම ඒ ගිවිසුම ඉරා දැමිය යුතු බව වැනි යෝජනාවක්ය. එහෙත් මෙහිදී අපගේ අවධානය යොමු විය යුතු කාරණය වන්නේ වෙනත් රටක ගිවිසුමකින් ඉවත්වීමේ රාජතාන්ත්‍රික තත්ත්වයන් සැලකිල්ලට ගැනීම ඉතාමත් අවශ්‍ය බවයි.

ඇමරිකාව ඉහත සඳහන් MCC ගිවිසුම මගින් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි පසුගිය ජනාධිපතිවරණයේ විශාල වශයෙන් සාකච්ඡා වූ හෙයින් සමහරුන් කල්පනා කරන්නේ මේ ගිවිසුම ඒකපාක්ෂිකවම අප ප්‍රතික්ෂේප කළ යුතු බවයි. එහෙත් මෙහිදී අප අවධානයට ගත යුතු කාරණයක් වන්නේ රටවල් දෙකක් අතර ඇති ගිවිසුම්වලින් ඉවත්වීමේ දී සිදුකරන ක්‍රමවේදයක් ජාත්‍යන්තර කටයුතු කළමනාකරණය කිරීමේ දී තිබෙන බවයි. එවැනි ආකෘතියක පිහිටෙන් මිස එවැනි ගිවිසුමකින් ඉවත්වීමේ හැකියාවක් ලෝක දේශපාලනය තුළ නොමැති හෙයින් ඒ පිළිබඳව අපගේ අවධානය යොමු විය යුතු බව අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය.

තවත් පැත්තකින් වත්මන් ආණ්ඩුව මුහුණදෙන ගැටලුවක් වන්නේ රජයේ ආයතනවලට තෝරා ගැනීමේ දී යොදාගත් ක්‍රමවේදය නිසා සමහර පාක්ෂිකයන්ට රජයේ ප්‍රධාන ධුරවලට පත්වීමේ ඇති සම්භාවිතාව අඩු වී ඇති බවට මතුවිය හැකි නෝක්කාඩුවයි. රටේ මූල්‍ය පද්ධතියටම බරක් ලෙසින් පවතින සමහර ආයතන ලාභ ලැබිය හැකි ආකාරයෙන් පාලනය කළ හැකි කණ්ඩායමක් පත්කිරීම රට පැත්තෙන් ඉතාමත් අවශ්‍ය තත්ත්වයක් බව මෙහිදී පිළිගත යුතුම කාරණයකි. ඒ තත්ත්වය රටේ බොහෝ මධ්‍යස්ථ කණ්ඩායම්වල ප්‍රසාදයට පත්වී ඇති තත්ත්වයක් බව ද මෙහිදී අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය චරිත හේරත්