ඡායාරූප සහ කතාව ෂෙහාන් ගුණසේකර

‘‘හැන්දෑවේ හය වෙනකොට අලින් ගම්බිම් වදිනවා. රංචුවේ ඉන්නවා අලි අසූවක් විතර පැටවු එක්ක. ඒ අලි රංචුවම ගම් වැදුණොත් සුනාමියට ගංවතුරට ගෙවල් දොරවල් අහු වුණා වගේ.   කොළඹ ඉන්න කට්ටියට උදේට ඇවිල්ල බලන්න පුළුවන්. අපි මේ කතා කරන්නෙත් අලි මං තලේ ඉඳගෙන. ගෙදරට රෑට එනවා අලියා. අලියා ආපු ගමන් මුදුන් යට ලීය අල්ල ගන්නවා. ඌ පස්සට අදිනවා. ගේ ඇතුළට වැටුණොත් ඇතුළේ මිනිස්සු ඔක්කොම ඉවරයි. වනජීවී එකේ අය නම් එන්නේ කවුරු හරි මැරුණට පස්සේ. මිනිස්සු කුපිත වෙලා තියෙනවා නම් එන්නෙත් නෑ. දවසක් සූරියවැව ග්‍රවුන්ඩ් එක ළඟ රෑ නමයට විතර මනුස්සයෙක් පාගලා මරල තිබුණා.”

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12 ක් ඇත. ඉන් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අලි මිනිස් ගැටුමෙන් නිරන්තරව පීඩා විඳින ගම්මානයක් ලෙස හැඳින්විය හැකිය. දිස්ත්‍රික්කයටම උරුම වූ වියළි කාලගුණය, වනාන්තර ආශ්‍රීතව පදිංචි වී සිටීමත් වැඩිවන ජනගහණය සහ සංවර්ධන කටයුතු  මෙම අලි මිනිස් ගැටුම ඉහවහා යාමට බලපාන හේතු වී තිබේ.

සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැලිවැව ග්‍රාම නිලධාරී වසමේ 14 කණුව ගම්මානයේදී හමුවූ G. ඥාණවතී අලි මිනිස් ගැටුම ගැන මෙසේ කීවාය.

“අලි එන්නේ වැව්වලින් වතුර බීලා නටල සද්දේ දාගෙන. මෙහෙන් අලි දෙන්නයි. එක තැනකින් පස් දෙනයි. තව තැනකින් දහදෙනයි. මිනිස්සු ඔක්කොම අවදි වෙලා වටවෙලා ගිනිමැල ගහනවා. අලි වෙඩි දැම්මට වත් යන්නෑ. ගිනිමැලේට බයයි. ලොකුම අලි 15ක්  විතර ඉන්නවා. සැරම අය ඉන්නව ගිනිමැලේටත් පනින. ඇත්තටම ලේ වතුර වෙලා අපි ඉන්නේ.

85 අවුරුද්දේ තමයි අපි මේ ගම්මානෙට ආවේ. ඒ කාලේ අපිට අලින්ගෙන් කිසිම හානියක් තිබුණේ නෑ. අපිට කුඹුරු පිටි නෑ. අහස් දියෙන් කරන හේන් ගොවිතැන් තමයි කළේ. අපි හේන් ගොවිතැන්බත් කරගෙන හොඳින් ජීවත් වුණා. මෙහේ පොඩි වැව් තියෙනවා . ඒ වැව් අතරතුරේ තමයි අපි අතිරේක තක්කාලි වම්බටු ඩිංගක් වවලා අපේ ආදායම  වැඩිකරගන්න සූදානම් වෙන්නේ.  තුඹ තියෙන කාලෙට අපිට තුඹවලින්ම සතියකට ලක්ෂයක් දෙකක් ගන්න තරම් ආදායම තිබුණා. දැන් අවුරුදු පහක හයක කාලෙක ඉඳන් තමයි අපිට අලි නිසා මේ ප්‍රශ්නෙ ඇති වෙලා තියෙන්නේ. මගේ මහත්තයා තක්කාලි අක්කර එකහමාරක දැම්මා මේ මාස් කාලේ.  අප්‍රේල් 10 වෙනිදා තක්කාලි පෙට්ටි දෙකක් කැඩුවා. ඊට පස්සෙන්දා අලි 54 දෙනෙක් ඇවිල්ලා ඒ තක්කාලි මණ්ඩියම සුන්නද්දූලි කළා. මම මේ තේ කහට එකක් බුලත් විටක් විකුණගෙන තමයි දැන්   ජීවත් වෙන්නේ. මමයි මගේ මහත්තයයි ලක්ෂ අටකට වැඩිය ආයතනවලට ණයයි. මේවා ගෙවන්නේ කොහොමද ? වස බොන්න ගියා මගේ මහත්තයා. . ඒ වෙලාවෙ මම කිව්වා කරන්න දෙයක් නෑ මම මේ විදිහට පොඩියට බිස්නස් එක කරගෙන ඒ එන ආයතනවලට ඇත්ත කතාව කියල ණය ටික ගෙවාගෙන යමු කියලා”. ඇය නොනවත්වා කියාගෙන ගියාය.

සංවර්ධනයේ අතුරුපලයක් ලෙස මෙම ප්‍රදේශය තුළ අලින්ට ජීවත් වීමට වනය අහිමි වීම අලි මිනිස් ගැටුම වර්ධනය වීමට බලපා ඇති මූලිකම සාධකයකි. සංවර්ධනය ඔවුන්ගේ ජීවිත වලට කළ බලපෑම පිළිබඳ විමසූ කළ ඇය මෙසේ කීවාය.

“සංවර්ධනේ ලොකුවට ගියා. පාරවල් හැදුවා. දූවිලි නැතුව මිනිස්සු ජීවත් වෙනවා. සෞඛ්‍යය පැත්තෙන් හොඳයි. ඇත්තටම අපි සංවර්ධනේට දොස් කියන්න හොඳ නෑ. නමුත් මහින්ද  මහත්තයගේ සංවර්ධනෙත් එක්ක ඒ සත්තුන්ට ඉන්න තැන් අඩු වුණා. උන්ට කන්න අඩු උණා. මත්තල එයාර්පෝට් එක ග්‍රවුන්ඩ් එක සංවර්ධනය වෙනකොට පාරවල් හැදිලා එනකොට අලින්ට ඉන්න තැන් නැති වුණා. සත්තුන්ගේ අයිතිය මිනිස්සු උදුරගෙන. ඉතින් සත්තුන්ට ඉන්න තැනක් නැති වුණාම තමයි උන් ගෙවල්වලට එන්නේ. නැත්නම් මීට ඉස්සර මෙහෙම නෑ. සත්තුත් ඉන්න ඕනෑ. අපිත් ඉන්න ඕනෑ. 14 කණුව වසමෙම ගෙවල් තියෙනවා 351. ඒවායින්  ගෙවල් 35 කට වැඩිය සම්පූර්ණයෙන් හානි කරල තියෙනවා. ළමයෙක් හම්බ වෙන්න හිටියොත් පාරට ගෙනියන්න බෑ. අසාධ්‍ය ලෙඩෙක්ව පාරට ගෙනියන්න බෑ. වීල් එකකට කතා කළාට අලි නිසා එන්නේ නෑ. මොන ආණ්ඩුව තිබුණත් මේ ප්‍රශ්නවලට විසඳුම් නෑ. ”  .

සූරියවැවදී හමුවූ  චන්ද්‍රරත්න  මහතා මෙසේ කීවේය.

“ග්‍රාමසේවක ළඟට ගියාම අලි වෙඩි තුනයි මිනිසුන්ට දෙන්නේ. අලි වෙඩි තුනක් ගැහැව්වා කියමු. අලියා ගියේ නැත්නම් ඊට පස්සේ මොකක්ද ගහන්නේ ? අනෙක අලි වෙඩිත් බාල කරල තියෙන්නේ අලින්ගේ කණ් අඩි පැලෙනව කියල. ඉස්සර දුන්න අලි වෙඩි ගැහුවම පොළවේත් අඩි බාගයක් විතර යන විදිහට පොළව හෑරෙනවා.”

අලි මිනිස් ගැටුම   අවම කිරීම සඳහා අලි වැට   තිබුණද ප්‍රදේශයේ බොහෝ දෙනෙකු පැවසුවේ විදුලි වැට තිබුණද අලි අමු කොළ අත්තක් හෝ ගසක් විදුලි වැටට කඩා දමා කණුවක් පෙරළා සුපුරුදු පරිදි “තම කාර්යය” සිදු කරන බවයි. ගමිවාසීන් බොහෝ දෙනෙකුගේ අදහස වූයේ “මේ වැටේ අලියට දන්නන්න තරම් කරන්ට් එකක් නෑ” යන්නයි. ඒ නිසාම බොහෝ ගම්වැසියන් රාත්‍රී කාලයේ සිය නිවෙස් ඉදිරියේ තමන්ම තනා ගත් විදුලි වැටක් සක්‍රීය කර ගනිති.  තවද ඔවුන් පවසා සිටියේ විදුලි වැට   දිගට අගලක් (හැඩේට කාණුවක්) කපන්නේ නම් අලි ගම්වැදීම යම් තරමකට හෝ අවම කරගත හැකි බවය.

ප්‍රදේශයේ බොහෝ නිවෙස් ඉදිරිපිට වැටේ වීදුරු බෝතල් එල්ලන ගම්වාසීන් සූරියවැව ප්‍රදේශයේ සුලබ දසුනකි. රාත්‍රියට වීදුරු බෝතල් ගැටෙන හඬ, අලි තම ගෙවත්තට පැමිණි බව ඔවුන්ට දැන ගැනීමට ඇති එකම සංඥාවයි. රාත්‍රියේ එළියට බැසීම යනු මාරයාට අත වැනීමක් වැනිය.

විදානපතිරණගේ තිලක සිය අත්දැකීම   බෙදා ගත්තේ මෙසේය.

“මම මාළු අල්ලන්න වැවේ ගිහින් ඉන්න කොට කෝල් එකක් ආවා අලිය ගේ කඩනවා කියලා. පහුගිය දවස් වල අලි දෙන්නෙක් මෙතන පොරකා ගත්තා. වන ජීවී එකේ අයට කෝල් එකක් දුන්නම ඒගොල්ල කිව්වා අද සෙනසුරාදා නිසා එන්න විදිහක් නෑ කියලා. ඒ වුණාට අලියෙකුට මොනවාහරි දෙයක් වුණාම එයාලා ටක් ගාලා එනවා.”

ආක්‍රමණකාරී ප්‍රචණ්ඩ වන අලි වනජීවී නිලධාරීන් විසින් අල්ලා ගන්නා බවත්  එම අලි දුර බැහැර වනාන්තර ප්‍රදේශයකට මුදා නොහැර එම ප්‍රදේශය ආසන්නයේම මුදා හරින බවත් සූරියවැව ගම්වාසීන්ගේ පොදු චෝදනාවකි.

මෙම ප්‍රශ්නයේදී කිසිඳු පාර්ශ්වයකට චෝදනා කිරීමෙන් ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැත. අලි මිනිස් අරගලය නිමා කිරීමට සියලු පාර්ශ්ව එක්වී නිසි සැලසුමකට අවංකව කටයුතු කිරීම මෙයට ඇති එකම විසඳුමයි. එමෙන්ම සූරියවැව ගම්වැසියන්ගේ ඒකායන ප්‍රාර්ථනාවද එයයි.

අලින්ගේ අපේ කතාවේ තිත්ත ඇත්ත