අහිතකර ගෝලීය ආර්ථික තත්ත්ව මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අපනයන, සේවක ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම් මත යැපිය හැකි ද ? මෙරට ආර්ථිකය ගෝලීයව පවතින අවිනිශ්චිත කරුණු සහ තත්ත්ව මත යැපෙන බැවින් එම ප්‍රශ්නයට විශ්වාසනීය පිළිතුරක් දිය නොහැක. ගෝලීය වසංගතය අවසන් වන්නේ කවදාද ගෝලීය ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වන්නේ කවදාද යන්න තවමත් අවිනිශ්චිත ය.

අභියෝගවලට ප්‍රතිචාර දැක්වීම
වෙනස්වන ගෝලීය ආර්ථික අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමට හැකියාව හා ධාරිතාව යන කරුණ මත ද මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම මත රඳා පවතී. ජාත්‍යන්තර ඉල්ලුමේ වෙනස් වන රටා සැලකිල්ලට ගැනීමේදී අපනයන කර්මාන්තවල පිබිදීමක් දක්නට ලැබීම යහපත් ලක්ෂණයකි.

ගෝලීය අවිනිශ්චිතතා  
නව කොරෝනා වයිරස ගෝලීය වසංගතය පාලනය කිරීමට කොතරම් කාලයක් ගතවේවිද ? ආර්ථික පසුබැසීමේ තත්ත්ව වෙනස් වීමට කොතරම් කාලයක් යාවි ද සහ නව ජාත්‍යන්තර ආර්ථිකයේ ස්වභාවය කෙසේ වේවිද යන්න තවමත් අවිනිශ්චිත ය. ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ වේගය සහ එහි ලක්ෂණ කෙසේ වේවිද යන්න සම්බන්ධයෙන් මේ වනවිට විවිධ මත සහ අනුමාන ඉදිරිපත් වී තිබේ.

ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම
ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ වේගය සහ එහි ස්වභාවය සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාඥයෝ විවිධ මත පළ කරති. ගෝලීය ආර්ථිකය ක්‍රමික ආර්ථික වර්ධනයක් සමඟ ‘යූ’ (U) හැඩයේ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගනු ඇතැයි ඇතැම් ආර්ථික විද්‍යාඥයෝ අපේක්ෂා කරති. ආර්ථිකය පතුළටම කඩා වැටීම ඉන්පසු වේගයෙන් වර්ධනය වෙමින් ‘වී’ (V) හැඩයේ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගනු ඇතැයි ඇතැම් ආර්ථික විද්‍යාඥයෝ මත පළ කරති. ගෝලීය ආර්ථිකය, ‘ඩබ්ලිව්’ (W) හැඩයේ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගනු ඇතැයි තවත් පිරිසක් මත පළ කරති. එනම් ආර්ථිකය වේගය වර්ධනය වී, කඩා වැටීමකට ලක්ව නැවත ඉහළ යෑම ඉන් අදහස් කෙරේ. ආර්ථිකය වී හැඩයේ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගෙන ඉන්පසු ස්ථාවර මට්ටමක පවතිනු ඇතැයි ඇතැම් අය අපේක්ෂා කරති.

අනුමාන
මේ වනවිට ගෝලීය ආර්ථිකය සම්බන්ධයෙන් සෑම ආකාරයකම අනුමාන ඉදිරිපත් වී තිබේ. ඕනෑම ආකාරයක සැලකිය යුතු ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගත හැක්කේ ගෝලීය වසංගතය පාලනය කිරීමෙන් පසුවය. එමෙන්ම ගෝලීය වයිරස වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පැනවූ ‘ලොක්ඩවුන්’ සීමාවලින් සිදු වූ ආර්ථික සහ සමාජ ප්‍රතිවිපාක පාලනය කිරීම සඳහා ගන්නා ලද මුදල් සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල බලපෑම හේතුවෙන් ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමාද වේ.

යථා තත්ත්වයට
සංවර්ධිත බටහිර රටවල් ද ඇතුළුව තවමත් ලොව බොහෝ ප්‍රදේශවල වේගයෙන් පැතිර යමින් තිබෙන කොරෝනා ගෝලීය වසංගතය සැලකිය යුතු ආකාරයකින් පාලනය කිරීමකින් තොරව ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමට නොහැක. මෙරට නිෂ්පාදිත අපනයනවල ප්‍රධාන වෙළෙඳපොළවල් වන්නේ ඉහත කී සංවර්ධිත බටහිර රටවල් ය. එමෙන්ම මෙරටට සංචාරකයන් බොහෝ වශයෙන් පැමිණෙන්නේ ද එම රටවල්වලිනි.

වසංගතයෙන් නිදහස් වීම
ලෝකය ගෝලීය වසංගතයෙන් නිදහස් වන්නේ කවදාද යන්න සම්බන්ධයෙන් තවමත් නිශ්චිත අදහසක් හෝ අවබෝධයක් නොමැත. ඉදිරි වසර දෙකක කාලය තුළදී හෝ වසංගතය ලොවෙන් තුරෙන් වීමක් හෝ සැලකිය යුතු ලෙස පාලනය වීමක් හෝ නොවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය මත පළ කරයි. නැගෙනහිර ආසියාව හැර ලොව අන් පෙදෙස්වල වයිසරය තවමත් පැතිර යමින් තිබේ. ගෝලීයව වයිරසය පැතිර යෑම පාලනය වනු ඇතැයි තවමත් නිශ්චිතව කිව නොහැක.

අනෙක් අතට වයිරසය පාලනය කළැයි කී රටවල ද නැවත වයිරසය පැතිර යෑමට පටන් ගෙන තිබේ. ඇතැම් රටවල වයිරසයේ දෙවැනි රැල්ලක් මෙන්ම තෙවැනි රැල්ලක් ද ඇති වී තිබේ.

ඇඟවීම්
මෙයින් අපට කෙරෙන ආර්ථික ඇඟවීම නම්, ජාත්‍යන්තර වෙළෙඳාමට දරුණු ලෙස බලපෑම් එල්ල වනු ඇත යන්නයි. ඒ හේතුවෙන් අප අපනයනය කරන ජාත්‍යන්තර ඉල්ලුමක් ඇති ඇගලුම්, සෙරමික්, ටයර් සහ ඒ හා සමාන අනෙකුත් අපනයන විශාල වශයෙන් අඩු වනු ඇත. එහි අනෙක් පැත්ත පෞද්ගලික ආරක්ෂණ උපකරණ, මුහුදු ආහාර සහ ඩිටර්ජන්ට් (පිරිසුදු කාරක) යනාදියට තිබෙන ඉල්ලුම වැඩි වීම ය. එමෙන්ම කොරෝනා ගෝලීය වසංගතයෙන් බලපෑමට ලක්වූ රටවල සිට වසංගතය පාලනය කරන ලද රටවල් දක්වා එම ඉල්ලුම වෙනස් වනු ඇත.

ප්‍රතිචාරය
එවැනි වෙනස් වන ජාත්‍යන්තර ආර්ථික පරිසරයක් තුළ, වෙනස්වන ගෝලීය ඉල්ලුමට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති හැකියාව සහ ධාරිතාව මෙන්ම ගෝලීය ආර්ථිකය පහත වැටෙමින් තිබෙන කාලයක එය දරාගැනීමට මෙරට ආර්ථිකයට ඇති හැකියාව තීරණය වේ, මැන බැලේ. නව නිෂ්පාදනය සඳහා ඇති ඉහළ ඉල්ලුම සහ නැගී එන නව වෙළෙඳපොළ සොයා යමින් ඒවට අපනයන යැවීමට අපනයනකරුවන්ට ඇති හැකියාව මත රටේ අපනයන ආදායම තීරණය වේ.

අභියෝගවලට ප්‍රතිචාර දැක්වීම
අහිතකර ගෝලීය තත්ත්වලට පෞද්ගලික අංශයේ අපනයන කර්මාන්තවලින් දිරිගැන්වෙන සුළු ප්‍රතිචාරයක් ලැබිණි. භාණ්ඩ සඳහා වෙනස්වන ජාත්‍යන්තර ඉල්ලුමට සරිලන පරිදි ඔවුහු නව ක්‍රමවේද අනුගමනය කළහ. ඇගලුම්, සෙරමික්, රබර් සහ ඒ හා සමාන අපනයන සඳහා ඇති ඉල්ලුම පහළ වැටිණි. කෙසේ නමුත් නිෂ්පාදිත අපනයන සඳහා ඇති ඉල්ලුම පහළ නොවැටිණි. කර්මාන්තකරුවන් නව නිෂ්පාදන, නිෂ්පාදනය සඳහා යොමු වීම ඊට හේතු විය.

එම කර්මාන්ත ටයර් නිෂ්පාදනයේ සිට සායනික සහ අනෙකුත් අත්වැසුම් නිෂ්පාදනයට යොමු වීම, ඇගලුම් කර්මාන්තයේ පිරිස් ඇගලුම් වෙනුවට පෞද්ගලික ආරක්ෂණ උපකරණ නිෂ්පාදනයට යොමුවීම හේතුවෙන් නිෂ්පාදිත අපනයන සඳහා ඇති ඉල්ලුම වැඩි විය.

ජූනි මාසයේ සිට අගෝස්තු දක්වා අපනයන
වසරේ ඉදිරි කාලය හා සැසඳීමේදී ජූනි, ජූලි සහ අගෝස්තු මාසවල නිෂ්පාදිත භාණ්ඩ අපනයනය ඉහළ ගියේය. මේ මාස තුනේ අපනයන ආදායමේ එකතුවේ සාමාන්‍ය ඇමෙරිකානු ඩොලර් බිලියනයකට (ඇමෙරිකානු ඩොලර් මිලියන 960කට) ආසන්න විය. ජූනි මාසයේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 906ක් විය. ජූලි මාසයේ අපනයන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.09ක් වූ අතර අගෝස්තු මාසයේ අපනයන ආදායම් ඇමෙරිකානු ඩොලර් මිලියන 969ක් විය. ජාත්‍යන්තර ඉල්ලුමට සරිලන පරිදි නිෂ්පාදනය කෙරුණු වෙනස්කම් හේතුවෙන් එලෙස ඉහළ අපනයන ආදායමක් ලබාගැනීමට හැකියාව ලැබිණි.

මුහුදු ආහාර
මස් පරිභෝජනය කිරීමේ සිට මුහුදු ආහාර අපනයන වෙත මාරු වීමට අපනයනකරුවන් සාර්ථකව ප්‍රතිචාර දක්වා ඇත. මුහුදු ආහාර අපනයනකරුවන්ගේ ද ඉහළ යෑමක් දක්නට ලැබිණි. අපනයනවල අවධානය හා ඉලක්කය වෙනස්වීම සහ නව අපනයන වෙළෙඳපොළවල් පුළුල් වීම යනාදිය දිගටම පවත්වාගෙන යෑම ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට ඉතා වැදගත් වේ. නැගෙනහිර ආසියාවේ වෙළෙඳපොළ අපනයන සඳහා සුදුසු වන අතර එය විපරම් කිරීම ද ඉතා හොඳ ය.

බාධා දෙකක්
වෙළෙඳ භාණ්ඩවලට සාපේක්ෂව මේ වසරේ දී ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා සංචාරක කර්මාන්තයෙන් සහ විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් ප්‍රේෂණ ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැක. එම අංශ යථා තත්ත්වයට පත්වනු ඇතැයි අවිනිශ්චිත ය.
මේ වසරේ දී සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම් සහ සේවක ප්‍රේෂණ විශාල වශයෙන් අඩුවනු ඇත. එම අංශ දෙකෙන් 2018 වසරේදී ගෙවුම් ශේෂයට ලැබුණු දායකත්වය ඇමෙරිකානු ඩොලර් බිලියන 11.4කි. එම අංශ දෙකෙන් ආදායම් නොලැබී යෑම ඉතා විශාල ආර්ථිකමය පසුබැසීමකි. එම අංශ දෙකෙන් ලැබෙන ආදායම් නොලැබී යෑම රටේ විදේශ මූල්‍ය අංශයේ අවදානම් සහගත බව ඉහළ දමයි.

සාරාංශය සහ නිගමනය
ගෝලීය ආර්ථික පසුබැසීම පවතින්නේ කොතරම් කාලයක් ද ඒ කාලය තුළ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අහිතකර ලෙස බලපෑම් එල්ල වේ. කොරෝනා වසංගතය සැලකිය යුතු ලෙස පාලනය කරන තෙක් ගෝලීය ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කළ නොහැක. අවාසනාවකට වයිරස ව්‍යාප්තියේ අඩුවීමක් දක්නට නැත. විශේෂයෙන්ම මෙරට ආර්ථිකයට වැදගත් බටහිර සහ ඉන්දියාව තුළ වයිරසය පැතිර යෑමේ අඩුවක් දක්නට නැත.

වයිරසය තුරන් කිරීමට හෝ පාලනය කිරීම වසර තුනක් පමණ ගතවනු ඇතැයි මේ වනවිට අනාවැකි පළ කර ඇත. චීනය, වියට්නාමය සහ දකුණු කොරියාව යන රටවල කොරෝනා වසංගතය පාලනය කර ඇති අතර එම රටවල ආර්ථික නැවත යථා තත්ත්වයට පත්වෙමින් තිබේ.

කොරෝනා වසංගතයෙන් රටට සිදුවන ආර්ථික බලපෑම, ආකාර තුනකි. අපට සුපුරුදු පරිදි වෙනදා මෙන් බටහිර රටවලට වෙළෙඳ භාණ්ඩ අපනයනය කළ නොහැක. එබැවින් නව අවශ්‍යතා සපුරන පරිදි අපගේ වෙළෙඳ භාණ්ඩ අපනයන කිරීමට නවා දිශානති කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. දෙවැන්න, පෙරදිග නව අපනයන වෙළෙඳපොළවල් සොයා යෑම ය. ඒ තුළින් නව අපනයන​ වෙළෙඳපොළවල් සොයාගනිමින් අපනයන ආදායම් ඉහළ නංවා ගත හැකි ය. ඉදිරි වසර කිහිපය සඳහා සංචාරක කර්මාන්තයෙන් ලැබෙනු ඇතැයි සහ විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන්, සේවක ප්‍රේෂණ ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි වීම තෙවැන්නයි.


ආචාර්ය නිමල් සඳරත්න විසිනි
සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපියේ
(*** පරිවර්තනය - හර්ෂණ තුෂාර සිල්වා)