’මොනර කුටුම්බය ’ මා සිදුකළ ගවේෂණයක ප්‍රතිපලයක් - අනුර හොරේෂස්


 

නිර්මාණකරුවෙකට කලාතුරකින් හිමිවෙන අනගි අවස්ථාවක් ජ්‍යෙෂ්ඨ පත්‍රකලාවේදියකු හා ජනප්‍රිය ලේඛකයකු වන ඔස්ට්‍රේලියාවේ මෙල්බන් හී පදිංචි අනුර හොරේෂස් වෙත හිමි වී තිබේ. ඔහු විසින් රචිත ”ගිනිඅවි සහ ගිනිකෙළි” කෘති මාලාවෙන් නිෂ්පාදනය කළ ‘‘ගිනිඅවි සහ ගිනිකෙළි - 02’ චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල කොළඹ අවට ප්‍රදේශවල සිදුකරයි. ඒ අතර ඔහු රචිත අලු‍ත්ම නවකතාව ‘‘මොනර කුටුම්බය’ පෙබරවාරි 03 වැනිදා කොළඹ ගොඩගේ පොත් මැදුරේ දී ජනගත කෙරේ. එම කටයුතු සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටින අනුර හොරේෂස් සමග කළ පිළිසඳරයි මේ.


ප්‍ර: සමාජ, දේශපාලන, සංස්කෘතික, සාහිත්‍යය, සිනමා කලාව, නාට්‍ය කලාව ආදි සියලු‍ ක්ෂේත්‍ර විශාල අර්බුදයකට පත්ව ඇති සමයක ඔබ ‘‘මොනර කුටුම්බය’ නමින් අලු‍ත්ම නවකතාව එළිදක්වනවා. මෙවන් යුගයක සාහිත්‍ය කෘතියක් එළිදැක්වීම ම විශාල අභියෝගයක්. මේ අභියෝගයට ඔබ මුහුණ දුන්නේ කොහොමද?


ඔබ නම් කළ නාමාවලිය ‘අර්බුදයක’යි ඉන්නේ කියලා කියනවා මටත් ඇහිලා තියෙනවා. නමුත් එසේ නොවෙනවා නම් සමස්ත රටවැසියන්ම සතුටු වේවි. මම දකින දේ තමයි, මොන ප්‍රශ්න තිබුණත් ඒ, ඒ ක්ෂේත්‍ර ඇතුළේ අදාළ කණ්ඩායම් හැකි පමණින් ව්‍යාපෘතිවල යෙදෙන ආකාරය. මොන ප්‍රශ්න තිබුණත් ගොවීන් වගා කිරීම රටට, වැසියන්ට විශාල ආශීර්වාදයක්. අලු‍ත් නාට්‍ය රැසක් මේ දිනවල වේදිකාගත වෙන ආකාරය පෙනෙනවා. සංස්කෘතික වැඩ සටහන් නම් තරමක් දුර්වලයි. එහෙත් සිනමාවට අලු‍ත් අධ්‍යක්ෂවරුන් පිවිසෙනවා. නව මාදිලියේ චිත්‍රපට ඔවුන් අතින් නිපදවෙනවා. ඒවා නිපදවන්නට ආයෝජකයෝ සම්බන්ධ වෙනවා. මගේ ‘ගිනිඅවි සහ ගිනිකෙළි - 02’ චිත්‍රපටය මේ දිනවල ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන උදයකාන්ත වර්ණසූරිය විසින් අධ්‍යක්ෂණය කරනු ලබනවා.‘මොනර කුටුම්බය’ නවකතාව මුද්‍රණයේ දී බලපෑ ප්‍රධාන බාධාව තමයි‘වැට්’ ප්‍රශ්නය. ඒ නිසා මම පොතේ මිල නියම කළේ සමහර වියදම් අතහැරලා. ඒ විදිහට අපි කවුරුත් කිසියම් පරිත්‍යාගශීලි පියවරක් අනුගමනය කළහොත් එය සෑම ක්ෂෙත්‍රයකටම ආශිර්වාදයක් වේවි. 


ප්‍ර:කෙබඳු ප්‍රස්තූතයක් මුල්කරගෙන ද ‘මොනර කුටුම්බය’ ඔබ අතින් නිර්මාණය වුණේ?


පිළිතුර : ඔබත් කාන්තාවක්. මේ රටේ සමස්ත ශ්‍රී ලාංකීය කතුන්ගෙන් සියයට අසූ පහක් පමණ විවාහක කාන්තාවෝ මෙම සංවේදි ගැටවේ කොටස්කාරියෝ. ඔවුන් පත්වන ගැටලුවට ඝෘජුව මුහුණ දෙන අනෙක් පාර්ශ්වය විවාහක පුරුෂ පක්ෂයයි. කනගාටුවට කාරණය වන්නේ මේ දෙපාර්ශ්වය අදටත් දන්නේ නැහැ මෙම සංවේදී ප්‍රශ්නය කුමක් ද කියලා. ඒ නිසා පවුල් අවුල් එමටයි. දික්කසාද නඩු කෙළවරක් නැහැ. දරුවෝ අනාථ වෙලා. අනෙක් පැත්තෙන් පෙම්වතුන් හා පෙම්වතියන් මෙම සංවේදි ගැටලුවට ‘ප්‍රතිකර්ම’ සොයා යන ගමන්වල තිබෙන බිහිසුණු බව ඔවුන් දන්නෙත් නැහැ. අවුරුදු එකහමාරකට නොවැඩි කාලයක් මුළුල්ලේ මෙම සංවේදි ගැටලුව හා ඉන්පසු රටේ ඇති වී තිබෙන පවුල් සංස්ථා අර්බුද හා ඒ ඇසුරෙන් සමාජය තුළ ගොඩනැගී තිබෙන ‘රහස්’ ව්‍යාපාර ගැන මම වෛද්‍යවරුන්ගෙන්, සමාජයේ ඉහළ සිට පහළ දක්වා කාන්තාවන් හා පුරුෂයින්ගෙන්, පොලිසියෙන්, බන්ධනාගාරවලින් තොරතුරු රැස් කළා. සැබවින්ම  ‘මොනර කුටුම්බය’ මා සිදුකළ ගවේෂණයක ප්‍රතිපලයක්.

 


ප්‍ර:ඔබ ජ්‍යෙෂ්ඨ පුවත්පත්කලාවේදියෙක්. හිටපු පුවත්පත් කතුවරයෙක්. එතෙර ජීවත් වුණත් නවකතා, කෙටිකතා, වේදිකා නාට්‍ය ඇතුළු කලා මාධ්‍ය ගණනාවක ඔබ දිගටම නිරත වෙනවා.‘සොඳුරු දඩබිම’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඔබයි. මෙබඳු මාධ්‍ය ගණනාවක් මෙන්ම චිත්‍රපට ක්ෂේත්‍රයට ද නැඹුරු වූ සහ ඒ සියල්ල ස්පර්ශ කළ නිර්මාණකරුවෙක්. මේ එක්, එක් අංශ ඔබේ නිර්මාණ දිවියට සමීප වුණේ කොහොමද?


මෙය ඉතා සංවේදි ප්‍රශ්නයක්. අවංක පිළිතුරක් සපයන්න මට අවස්ථාවක් දෙන්න. වර්ෂ 1978 දී පමණ එකල ජනප්‍රිය නිදහස් ලේඛකයෙකු වූ මෝදර, සී.එච්.සිරිමල් පීරිස් මහතා මාව රැගෙන කොළඹ අලු‍ත්කඩේ දවස නිවස කාර්යාලයට ගොස් එහි මුද්‍රණය වූ ‘ප්‍රියාවි’ පත්‍රයේ ප්‍රධාන කර්තෘ විමලේන්ද්‍ර වතුරේගම නමැති විශාල දැක්මක් තිබූ මහා පුරුෂයාට මා හඳුන්වා දුන්නා. එතැනින් ආරම්භ වූ පත්‍රකලා ජීවිතය තුළ මට මෙතැනට එන්නට මග පෙන්වූ හා අත දුන් ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රවල දැවැන්තයන් වූ ශ්‍රේෂ්ඨයන්, ජ්‍යෙෂ්ඨයන් බොහෝමයි. මඩවල එස්. රත්නායක, කිත්සිරි නිමල් ශාන්ත, ධර්මසිරි ගමගේ, සෝමදාස ඇල්විටිගල, පද්මසිරි දිසානායක, මිණිවන් පී. තිලකරත්න, කේ. ජයතිලක, එඩ්මන්ඩ් රණසිංහ, සුනිල් මාධව ප්‍රේමතිලක, ගාමිණී සුමනසේකර, රෝහණ වෙත්තසිංහ, දයාරත්න රණසිංහ, මෙරිල් පෙරේරා, දයාසේන ගුණසිංහ. බන්ධුල පද්මකුමාර, ශ්‍රීයා රත්නකාර, අනුලා ද සිල්වා, පර්සි ජයමාන්න, දෙල්තොට චන්ද්‍රපාල, එස්. සුබසිංහ, ජයසේකර අපොන්සු යන මහත්ම මහත්මීන් විශේෂයි. මම ඉගෙන ගත්තේ ‘සමාජය’ නමැති විශ්ව විද්‍යාලයෙන්. කටුක දුක් විඳිමින් පත්‍රකලාවේදියෙකු වෙන්නට එහිදී ලැබූ ‘අධ්‍යාපනය’ තමයි අදටත් මට නිර්මාණ කාර්යයේ යෙදෙන්නට ශක්තියක් වී තිබෙන්නේ. පොත් කියවීම හා නොකඩවා චිත්‍රපට බැලීම අදටත් මගේ පුරුද්දක්. මගේ නිර්මාණ ජීවිතය තුළ මේ සෑම අත්දැකීමක් නිබඳව සැරිසරනවා.


ප්‍ර:ඔබ ලියූ ‘ගිනිඅවි සහ ගිනිකෙළි’ පාඨකයින් අතරේ ඉතා ජනප්‍රිය වූ කෘති මාලාවක්. මෙම කතා පෙළ ඇසුරෙන් සිනමා හා ටෙලි නාට්‍ය පසුකාලීනව නිර්මාණය වුණා. ‘මොනර කුටුම්බය’ත් සිනමාවට නැඟීමේ පෙර ලකුණු තිබෙනවාද?


 ‘මොනර කුටුම්බය’ ප්‍රස්තූතයෙන් මේ දක්වා කිසිම කෘතියක් ලියැ වී නැහැ. ඒ බව මට ඉර, හඳ වගේ විශ්වාසයි. මෙය පාඨකයින්ට නැවුම් අත්දැකීමක්. ඒ වගේම නවකතාව ලියැ වී තිබෙන්නේ පාඨකයා, ප්‍රේක්ෂකයෙක් බවට පත් කරවමින්. අත නොහැර කෘතිය අවසානය දක්වා එක හුස්මට කියවාගෙන යා හැකි රසය එහි සෑම වැකියකම ගැබ් වී තිබෙනවා. අවසානයේ දී සිය ජීවිතයට නැවුම් අවබෝධයක් ලබා දුන් චිත්‍රපටයක් නැරඹූ උද්දාමය පාඨකයා (ප්‍රෙක්ෂකයා) ගේ සිත තුළ නැගෙනවා නොඅනුමානයි. රටේ සමස්ත කාන්තා පරපුරේ ගෞරවය හා අභිමානය ‘මොනර කුටුම්බය’ තුළ මම සුරක්ෂිත කළා. මෙයින් චිත්‍රපටයක් නිෂ්පාදනය වීමට තිබෙන අවස්ථා බොහෝමයි.


ප්‍ර:‘මොනර කුටුම්බය’ නවකතාව ඔබට සුවිශේෂි වෙන්නේ කොහොමද?


මේ සංවේදී අත්දැකීම අප කාටත් උරුමයි. එහෙත් කිසිවෙක් දන්නේ නැහැ. එබැවින් කිසිම තැනක සාකච්ඡා වෙන්නෙත් නැහැ. මම එකී සංවේදී ගැටලුව පිළිබඳ ගවේෂණයක් කළා. එහි දී මා අත්පත් කරගත් තොරතුරු අපූර්ව නවකතාවකට පෙරළුවා. මෙම නවකතාව කියවන සියලු‍ම තරුණ, වැඩිහිටි කාන්තාවන්ට හා පිරිමින්ට කල්පනා වේවි ‘පනින්න පෙර සිතා බලන්න’.  ‘මොනර කුටුම්බය’ ජයග්‍රහණය එයයි.

 

 

පද්මිණී මාතරගේ