’දිවි රැකගැනීමට ගත් අවසන් උත්සාහය ’’


 

  • අඳුර වැටෙත්ම ලද අවසරයෙන් ඇළපාර දිගේ ඉදිරියටම ඇදුණු මැදවල ක්‍රමක්‍රමයෙන් ආරක්ෂක වළල්ලෙන් පිටතට පැනගැනීමට සමත්විය.

දින හයක් මළසිරුරු අතර සැඟව... (තුන්වන කොටස)

 

2/ලුතිනන් මැදවල සිය දෑත්වල වාරුවෙන් පිටුපසට යන ගමන තුළ එල්ල වූ අභියෝග බොහෝය. ජලය සහිත තැන්වල එලෙස ගමන් කිරීම එතරම් අපහසු නොවුනද භූමියේ උස්පහත් තැන්වල ගමන් ගැනීමේදී සිය තුවාල ලත් පාදය ඒ හරහා ඇදගෙන යාම අතිශය අසීරු කරුණක් විය. කෙසේ නමුත් අපහසුතා මධ්‍යයේ වුව තමන් යන දිශාවේ “බී” කණ්ඩායමට අයත් කෑම පිසින කුස්සිය පිහිටා තිබුණා ඔහුට මතකය. ඒ අසලම ඉන් අපද්‍රව්‍ය බැහැර කරන කුණු වළක්ද තිබුණු බව ඔහු දනී. ආහාරයට ගත හැකි කුමන හෝ දෙයක් එහි ඉතිරි වී තිබිය හැකි බැව් සිතූ ඔහු බොහෝ අසීරුවෙන් ඒ වෙත ඇදුණේය. අඳුරේ වුවද කුණුවළ පිහිටි තැන සොයාගැනීමට මැදවලට අපහසු නොවූමුත් එය ද වතුරෙන් පිරී තිබුණි. හෙතෙම සෙමෙන් සෙමෙන් ඊට බැස කෑමට ඉතිරි වූ යමක් එහි වෙත්දැයි විපරම් කරන්නට වූයේ නොඉවසිලිවත්වය. නමුත්, අවාසනාවකට එහි සියල්ල වතුරෙන් යට වී තිබුණා මිස ආහාරයට ගත හැකි කිසිවක් නොවීය. 


කුණු වළ තුළ ආහාර සොයා දැරූ නිෂ්ඵල උත්සාහය අත්හළ මැදවල ඉන් නික්මෙන්නට සැරසුණද එය ඊට බැසි තරම් ලෙහෙසි නොවීය. ඔහුට වළෙන් ගොඩ ඒම අසීරු වූයේ එහි වූ ගැඹුර හා වතුර පිරීතිබීම හේතුවෙනි. එහිදී, අධික කුසගින්න තවදුරටත් උසුලාගෙන සිටිය නොහැකි තැන ඔහු හිස පසෙකට හරවා කුස පිරෙන්නට යළිත් වතුර පානය කරන්නට විය. වැහි වතුර හා කළපු දියද මිශ්‍රව මියගියවුන්ගේ සිරුරු පවා සේදී දුර්වර්ණ වූ එම වතුර පවා අවස්ථාවේ හැටියට ඔහුට තම දිවි රැක ගැනීමට ප්‍රමාණවත් වූ සෙයකි. එම වළෙන් ගොඩ ඒමේදී මෙතෙක් ඔහු කර හරහා එල්ලාගෙන සිටි පෞද්ගලික අවිය ඔහුට දැනුණේ විශාල බරක් ලෙසය. ඒ වනවිට එහි කිසිදු පතුරොමක්ද නොවූ බැවින් එය අත්හැරීම ඔහුගේ අවසන් තීරණය විය. නමුත්, එය සතුරන් අතට පත්වන ලෙස ඉවත දමන්නට ඔහු සූදානම් නොවීය. ඒ අනුව අවියේ ප්‍රධාන කොටස් සියල්ල වෙන වෙනම ගැලවූ ඔහු ඒවා විවිධ තැන්වලට විසි කරන්නට වූයේ කිසිවකුට එම කොටස් යළි එකතු කර ගත හැකි නොවන පරිද්දෙනි.


සටන ඇරඹි දා පටන් ඒ වනවිට දින කීපයක් ගතව ඇත්දැයි මැදවලට අනුමාන කළ නොහැකි විය. කෙසේ නමුදු තුවාල වූ මොහොතේ පටන් මේ වනතුරුම අඛණ්ඩව වතුරේ බැස දිවා රැය ගෙවූ බව නම් ඔහුට මතකය. රාත්‍රියේ පැවති අධික ශීතල එම උණුසුම් යුද බිම පවා සීතල කොට තිබුණි. කෙසේ නමුත් දිගින් දිගටම වතුරේ ගිලී සිටින අවස්ථාවල ඔහුට සීතල එතරම් නොදැනුණද තම හිස කොටස වතුරෙන් උඩට තබා ගෙන සිටීමේදී පෙළුණේ දැඩි ශීතලකිනි. විටෙක ඔහුට දැනුනේ තම ශරීරයම හිරිවැටී ඇති ලෙසය. මේ අතර බිම වාඩි වී සිටින ඉරියව්වේම හිඳිමින් ඔහු සිය තුවාල ලත් පාදය අල්ලා බලන්නටද උත්සාහ ගත්තේය. එහි තුවාල වූ කොටස් කොළ පැහැ ගැන් වී ඇට කැබලි පිටට නෙරා තිබූ අතර එම ප්‍රදේශයේම මස් දියවී අත්ලට දැනුණේ ලිස්සනසුලු බවකි. කඳවුර තුළ තවදුරටත් තමාට කිසිදු පිළිසරණක් නොවන බැවින් කෙසේ හෝ ඉන් එළියට පැනගැනීම ඔහුගේ එකම අභිප්‍රාය විය. තවදුරටත් කුසට කිසිදු ආහාරයක් නොමැතිව ගත කිරීම ඔහුට දරාගත නොහැකි අපහසුතා ගෙන දුන් අතර, ඒ හේතුවෙන්ම යළිත් ඔහුගේ දෑස් නිලංකාර වෙන්නට විය. එහිදී, නිසැකවම තමන් යළි ක්ලාන්ත වෙන්නට නියමිත බැව් ඔහුට වැටහුණි. කෙසේ හෝ අවසාන මොහොතේ තමන් යා යුතු පැත්තටම හිස රඳවා ගන්නට ඔහු උත්සාහ ගත්තේය. 


මේ අතර තමන් අත රැඳි පිස්තෝලය පවා දැන් ඔහුට කරදරයක් වී ඇති සෙයකි. දිගින් දිගටම එය පැවතියේ වර්ෂාවට තෙමෙමින් හා මඩ තැවරී ය. පතුරොම් තිබුණද එය හදිසියකදී වුව ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයක පවතී දැයි ඔහු තුළ වූයේ සැකයකි. ඒ අනුව එතෙක් තම ඉනෙහි සඟවාගත් එම පිස්තෝලය ඉවතට ගත් මැදවල, කඳවුරු භූමියෙන් එළියට යාමට මත්තෙන් එය ආරක්ෂා ඇති තැනක සැඟවීමට උත්සුක විය. යම් හෙයකින් තම ජීවිතය නිරුපද්‍රිතව ඉතිරිකර ගතහොත් පසු කලෙක හෝ පැමිණ එය නැවත ලබාගැනීම ඔහුගේ බලාපොරොත්තුව විය. ඒ අනුව පිස්තෝලයේ මැගසිනය ගැලවූ ඔහු එය යාබද වතුර වළකට වීසිකළ අතර එහි බඳ කොටස ඒ ආසන්නයේ ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලක පාදම කෙළවරකට විසිකර දැම්මේ නිශ්චිතව එම ස්ථානය පිළිබඳ සිත්හි තබාගෙනය. ඒ අනුව තවදුරටත් ප්‍රමාදයකට ඉඩක් නොතබාම යළිත් ඔහු ගමන් අරඹන්නට වූයේ මෙතෙක් පැවති සියලු අපහසුතා එලෙසින්ම දරාගෙනය. මේ අතරවාරයේ ත්‍රස්තවාදීන් විසින් කඳවුරේ බඩුභාණ්ඩ සියල්ල ට්‍රැක්ටර්වල පටවා ගෙන යන ආකාරයත් එහි තිබූ මෝටර් සයිකල් ඇතුළු අනෙකුත් වාහන පවා ඔවුන් විසින් රැගෙන යන ආකාරයත් මැදවලට දැකගත හැකි විය. 


ආරක්ෂක වළල්ලේ එක් බංකරයක් තනා තිබුණේ කණු හතරක් උඩය. සෙබළුන් විසින් එය හඳුන්වන ලද්දේ “බෙල්ල කපන බංකරය” නමිනි. ඊට යටින් ඇළ පාරක් ගලා ගිය අතර එය ආරක්ෂක වළල්ල හරහා කඳවුරෙන් එළියට විහිදී තිබුණි. කිසිවකුට එතුළින් ඇතුළු වීමේ ඉඩක් පැවති හෙයින් එම ඇළ හරස් කොට කන්සර්ටීනා ආදිය යොදා ආවරණය කොට තිබිණ. පැවති වර්ෂාව හේතුවෙන් එහි සැලකියයුතු තරමට ජලය පිරී තිබූ අතර, 2/ලුතිනන් මැදවල හෙමින් සීරුවේ ඊට බැස ගත්තේය. ඇළ දිගේ ඇදෙන ඔහුට කඳවුරෙන් එළියට පැනගැනීමට නම් පෙරකී බංකරය යටින් ගමන් කළ යුතු විය. ඔහු පෙර අපහසු ඉරියව්වේම රැඳෙමින් එම බංකරය යටට ළංවූයේ උපක්‍රමශීලීව ඉවතට පැනගැනීම උදෙසා දෙපස හොඳින් විපරම් කරමිණි. නමුත්, එහිදී ඔහු දුටු දෙයින් තැතිගත්තේය. ඇළෙන් උඩ පිහිටි එම බංකරය තුළ ඒ වනවිට එල්ටීටීඊ ත්‍රස්ත සාමාජිකාවෝ කිහිපදෙනක්ම ඇතුළුව සිටියහ. ඔවුන් එහි සිට දෙපස විපරම් කරමින් විදුලි පන්දම්  දල්වමින් සිටි අතර, ඔවුන්ගේ උකුසු ඇස් මගහැර ඒ සීමාවේ කිසිවක් සිදුකළ නොහැකිව තිබිණ. 


තමා යළි පැමිණ තිබුණේ මරු කටකට බව එහිදී මැදවලට වැටහිණ. සුළු චලනයකදී වුව වතුර කැලැත්තී බංකරයේ සිටින ත්‍රස්ත සාමාජිකාවන්ගේ අවධානයට බඳුන්විය හැකි බැවින් ඔහු හිස පමණක් එහිවූ පඳුරු කිහිපයක් අතර ඉහළට තබාගනිමින් එකම ඉරියව්වේ නොසෙල්වී හිඳින්නට වගබලා ගත්තේ මෙතෙක් දුරක් රැකගෙන පැමිණි තම ජීවිතය අවදානමක හෙළිය නොහැකි බැවිනි.


බංකරයේ යට යොදා තිබෙන තල් කොට අතරින් ඒ තුළ සිටින කොටි සාමාජිකාවන්ගේ ක්‍රියාකාරකම් ඇළ තුළ උඩබැලි අතට වැතිරී හිඳින මැදවලට හොඳින් පෙනුණි. එහි අවම වශයෙන් හතර දෙනකුවත් සිටින අයුරු ඔහුට දැකගත හැකි විය. එසේම, ඔවුන් අවි අතැතිව එකිනෙකා හා කතාබස් කරමින් ද සිටින අයුරු පෙනිණ. ඇතැම් අවස්ථාවලදී, ඔවුන්ගේ විදුලි පන්දම් එළි පහළ ඇළ මාර්ගයටද එල්ල විය. ඒ අතර ඇතැම් කොටි සාමාජිකාවන් බංකරයෙන් එළියේ ඇළ අද්දර තැනක මුත්‍රා කළ අවස්ථාද  තිබිණ. ඒ සියල්ලද වතුර සමඟ මුසුව මැදවලගේ හිස දෙපසින් ගලා යන්නටද විය. දින කිහිපයක් තිස්සේ මළසිරුරු සමගින් මඩ වතුරේම රැඳෙමින් ඔහු ගෙවූ දුක්ඛිත ගමන තුළ, එලෙස මුත්‍රා මුසු වූ ජලයේ සැඟව සිටීම ගැන අමුතු හිරිකිතයක් ගෙන නොදුන්නේය. සිය ජීවිතය රැකගැනීමේ ඒකායන අරමුණින් බැහැර නොවූ ඔහුට, සෙසු අපහසුතා විඳගැනීමට තරම් ආත්ම ශක්තිය ඉතිරිව තිබිණ. 


පසු දිනට පහන් වුවද, බංකරය තුළ සිටි කොටි සෙබළියන් කිසිවකුත් ඉවතට නොගිය බැවින් මැදවලටද සියලු අපහසුතා දරාගනිමින් තවදුරටත් ඇළේ බැස එකම ඉරියව්වේ නොසෙල්වී සිටීමට සිදුවිය. විශේෂයෙන්ම, ඔහුට දිවා කාලයේ තම පරෙස්සම පිළිබඳ වැඩිපුර අවධානය යොමන්නට සිදුවූයේ තමා අතින් සිදුවෙන සුළු වෙනස්වීමකදී වුව බංකරයේ සිට පහත බැලූ සැණින් එහි සිටිනවුන්හට තමාව දැකගත හැකිව තිබූ නිසාවෙනි. කෙසේ හෝ එදින හවස්වරුව වෙත්ම මැදවලට කිසියම් අස්වැසිල්ලක් ලැබුණේ ඔවුන් සියලුම දෙනා එම බංකරය අතහැර යාම හේතුවෙනි.    


අඳුර වැටෙත්ම ලද අවසරයෙන් ඇළපාර දිගේ ඉදිරියටම ඇදුණු මැදවල ක්‍රමක්‍රමයෙන් ආරක්ෂක වළල්ලෙන් පිටතට පැනගැනීමට සමත්විය. ඒ වන විට එම ඇළ මාර්ගය හරස් කොට තිබූ කන්සර්ටිනා වැටවල් සියල්ල කපා දමමින් ත්‍රස්තවාදීන් ඒ තුළින් කඳවුරට ඇතුළුව තිබූ අතර එම මාර්ගය පැහැදිලිව විවෘතව තිබීම මැදවලගේද පහසුවට හේතු විය. තවද, ඒ අවට වළදමා තිබූ බෝම්බ, වෙඩි ද්‍රව්‍ය සියල්ලද වර්ෂාව හේතුවෙන් ඉවතට ගසාගෙන ගොස් තිබූ බැවින් එහි වූ අවදානමද සැලකියයුතු තරමට මඟහැරී තිබිණ. කෙසේ හෝ, අවසානයේ පසු දිනට පහන් වන්නට පෙරම කඳවුරු සීමාවෙන් පිටත පිහිටි යුද අගලකට බැසගන්නට ඔහු සමත් වූයේය. 


කඳවුරෙන් එළියට පැනගත්තද තවමත් තමන්ට නිසැක රැකවරණයක් ලැබී ඇති බවට මැදවල තුළ විශ්වාසයක් නොවීය. දැන් දැන් ඔහුගේ අපහසුතා පෙර දිනවලට වඩා බෙහෙවින් වැඩි වී ඇත. ඔහුට පවා දරා ගත නොහැති දුර්ගන්ධයක් ද දැන් ඔහු තුළින්ම දැනෙන්නට විය. මෙලෙස තවත් පැය කිහිපයක් ගෙවී ගියේය. එදින සවස් වෙද්දී කඳවුරේ මුහුදු සීමාවේ නාගදේවන්තුරේ දෙසින් එකවරම ඔහුට ඇසුණේ අඛණ්ඩව වෙඩි වරුෂාවකි. ඔහු හුන් තැනම වාඩි වී සීරුවෙන් ඈත විපරම් කරන්නට වූයේ තැතිගැන්මෙන් යුතුවය. එහිදී, ඔහු දුර තියා දුටුවේ කිසියම් පිරිසක් කඳවුරු පරිශ්‍රය වෙත වෙඩි තබමින් පැමිණෙන අයුරුය. එහිදී, ඔවුන් කළු ගුළි මෙන් දුරට පෙනුනා මිස ඒ කිසිවකුත් හඳුනාගත හැකි නොවීය. එසේම, ඔවුන් සෑම අයකුම රතු පැහැති පටියක් ද පැලඳ සිටි අතර, ඔවුන් තවත් ත්‍රස්තවාදීන් පිරිසක්ද නොඑසේ නම් තම මිතුරු පිරිසක්ද යන්න මැදවලට ප්‍රහේලිකාවක් විය.


(අවසන් මොහොතේ 2 ලුතිතන් මැදවල තම දිවි රැකගනීවිද? 


(ඉතිරි කොටස ලබන සතියේ)