හොඳම ළමා පොත් තිබුණේ ඉස්සරද ?


 

ළමයින් වෙනුවෙන් ලියැවුණු පොත්පත් ගැන කතාකරනකොට ගොඩක් වෙලාවට කියවෙන දෙයක් තමයි අපි පොඩි කාලෙ අපිට කියවන්න ලැබුණු ළමා පොත් වගේ පොත් දැන් ළමයින්ට ලැබෙන්නේ නෑ කියන එක. ඒ නිසාම අදටත් තමන්ගෙ දරුවන්ට ඉස්සර තිබුණු පොත් පත් හොයාගෙන ගිහින් දෙන්න මවුපියන් උත්සාහ කරනවා. මේ ගැන කතා කරද්දි රුසියානු ළමා පොත් ගැනත් සෑහෙන්න කියැවෙනවා.


ළමා පොතක් බිහිවෙන්නේ ඒ පොත ලියැවෙන කාලයේ මිනිස්සු විස්වාස කරපු හරි වැරදිවලට අනුව. අපි උදාහරණයක් සැලකුවොත්, ලෝකෙ කාලය තිබුණා වහල් වෙ​ෙළඳාම කියන එක නීතියෙන් තහනම් නොවුණ. මිනිස්සු එක රටකින් මිනිස්සු අල්ලාගෙන ගිහින් තව රටක මිනිස්සුන්ට විකිණුවා. හිතන්න ඒ කාලේ ළමා පොතක් බිහි වුණා නම් ඒ පොතේ ගොඩක් වෙලාවට ලියැවෙන්නේ ”‍ කාරුණික සහ සාධාරණ වහල් හිමියෙක් වෙන්නේ කොහොමද ?”‍ වගේ දෙයක් වෙන්න පුළුවන්. නමුත් අද වෙනකොට ලෝකය වහල් වෙළෙදාම සම්පූර්ණයෙන් ම වැරදියි කියලා තේරුම් අරන් තියෙනවා. එතකොට අද ජීවත් වෙන දරුවෙකුට ඒ පොත ගැළපෙන්නේ නෑ. අන්න ඒ නිසා මිනිස්සු  සංකල්ප සදාචාරය අතින් දියුණු වෙනකොට පරණ ළමා පොත් ඉවත් කරන්න වෙනවා. නැතිනම් අදට ගැළපෙන්න වෙනස් කරන්න වෙනවා.


ඊළඟ කාරණය සමහර පොත් දිහා හොඳින් බලනකොට, ඒ කාලේ නොදැකපු, ළමයින්ට සුදුසු නැති දේවල් හොයාගන්න පුළුවන් වෙනවා. උදාහරණයක් හැටියට, මහදැනමුත්තාගේ කතාව ගත්තොත්, ඒ කතාවේ ගෝලයොන්ගේ නම් ටික, ”‍ඉඳිකටු පැංචා, පොල්බෑ මූණා..”‍ වගේ නම්. හොඳින් බැලු‍වොත් තේරෙයි මේ තියෙන්නේ ශරීර ස්වභාවය දිහා බලලා විහිළු කරන එක කියලා. මේ වගේ කතාවක් කියලා දීලා ඊට පස්සෙ දරුවෙක් තමන්ගේ පන්තියේ ළමයෙක් ට ”‍තඩියා”‍ නැත්නම් ”‍ බතලයා”‍ කියලා විහිළු කළාම ඒකට ඒ ළමයාට  දඬුවම් කරන්න පුළුවන්ද ?


එහෙම නම් අපිට එක්කෝ මේ කතා ඉවත් කරන්න වෙනවා. නැතිනම් මේ කතාවල කතා සාරය අද ට ගැළපෙන්න වෙනස් කරන්න වෙනවා. 


ඊළඟට විද්‍යාත්මක දැනුම කියන එකත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒ නිසා විද්‍යාත්මක දැනුම තියෙන ළමා පොත් අනිවාර්යයෙන්ම ටික කාලෙකින් සංස්කරණය වෙන්නම ඕනැ. උදාහරණයක් හැටියට, මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ළමයින් උදෙසා ලියූ ”‍ විද්‍යා විනෝද කතිකා”‍ කියවා බලන්න පුළුවන්. ඒ පොත් ඒ කාලයේ දරුවන්ට විශාල සේවයක් කරන්න ඇති. නමුත් අද දරුවන් ට දෙන්න නම් ඒවයේ අඩංගු විද්‍යාත්මක කරුණු බොහෝ සෙයින් සංස්කරණය කරන්නවෙනවා.


හොඳින් හිතුවොත් ඒ කාලයේ ලියැවුණු ගොඩක් යොවුන් වීර කතාවල ළමා වීරයින් කණ්ඩායමේ ඉන්නේ පිරිමි ළමයින් විතරයි. ඒත් අද වෙනකොට ඒ තත්ත්වය වෙනස්. පිරිමි දරුවන්ට වගේම ගැහැනු දරුවන්ටත් වීරකම් කරන්න පුළුවන් බව අද ලියැවෙන ළමා පොත්වල තියෙනවා. 


ඊළඟ කාරණය පොතක් කියන්නේ පොතේ අන්තර්ගත කතාව විතරක් නෙවෙයි. පොතේ චිත්‍ර,පිටු ,කඩදාසි, පිටකවරය මේ හැම දෙයක්ම පොතට අයිතියි. පහුගිය අවුරුදු ගණනාවටම මේ හැම දෙයක් ම ගොඩක් දියුණු වුණා. අද ලෝකයේ දියුණු රටවල්වලින් පිටවෙන ළමා පොත් අධ්‍යයනය කළොත් මේ හැම දෙයක් ගැනම වෙන වෙනම ලොකු අවධානයක් යොමු කරලා තියෙනවා. පොත් කවරයේ ඝනකම පවා ඒ ඒ වයස් කාණ්ඩ අනුව වෙනස් වෙනවා. 


මුද්‍රණ ශිල්පයේ දියුණුවත් එක්ක, චිත්‍රයක් වුණත් ඉස්සරට වඩා ගොඩක් ආකර්ෂණීය විදිහට අද දරුවන්ට ලබා දෙන්න පුළුවන්. 


ලෝකයේ ළමා පොත් හැමදාම අලු‍ත් වෙනවා. නොගැළපෙන පොත් ඉවත් වෙනවා. පොත් වලට අලු‍ත් විද්‍යාත්මක දැනුම එකතු වෙනවා. පරිගණක, ජංගම දුරකතන, වාහන, මේ හැම එකක් ම වගේ, ළමා පොතුත් තිබුණාට වඩා දියුණු වෙනවා. අපි එතෙන්ට එනකල් අපිට ඒ දියුණු ළමා පොත් පරිශීලනය කරන්න පුළුවන් වෙන්න අපේ දරුවන්ට ජාත්‍යන්තර බාසාව හොඳින් උගන්නන්න වෙනවා.


එකදාස් අටසිය අසූ ගණන්වල කාල් බෙන්ස් මුල් ම මෝටර් රථය නිපදවනවා. ඒ වෙනුවෙන් ඔහුට සම්පූර්ණ ගෞරවය හිමි වෙනවා. හැබැයි ඊට පස්සෙ මිනිස්සු නිකම් බලාගෙන හිටියේ නෑ. ඔවුන් එකතුවෙලා මේ මෝටර් රථය තව තවත් දියුණු කළා. එන්ජිම, රෝද, සැපපහසුව , ආරක්ෂක යාන්ත්‍රණ වගේ හැම එකක් ම දියුණු කළා. ඒ නිසා අද තියෙන්නේ කාල් බෙන්ස් හදපු මුල් ම මෝටර් රථයට වඩා සෑහෙන්න දියුණු මෝටර් රථයක්. ඉතින්, අද ඉන්න දරුවන් පාවිච්චි කරන්න ඕනැ ඒ දියුණු කරපු නවීන මෝටර් රථ මිසක් අර එක්දාස් අටසිය ගණන්වල හදපු මෝටර් රථය නෙවෙයි.