සෝයා වෙනුවට ලුපින් බෝංචි


 

  • වැඩි අස්වැන්නක් ඇති සහලකුත් හදයි

රුසියානු - යුක්රේන යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ලෝක ධාන්‍ය සැපයුම සීමා වීම, සංවර්ධනය වෙමින් පවතින රටවල ඇති වී තිබෙන ආර්ථික අර්බුද සහ තවත් කරුණු රාශියක් හේතුවෙන් ලෝක ආහාර සුරක්ෂිතතාවයට තර්ජනයක් එල්ල වී තිබෙන අවස්ථාවක, ලෝක ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවිය හැකි ආකාරයේ සොයා ගැනීම් දෙකක් සිදු කිරීමට චීන පර්යේෂකයන් කණ්ඩායමක් සහ ජාත්‍යන්තර පර් යේෂකයන් කණ්ඩායමක් සමත් වී ඇත.


එහිදී, චීනයේ වාසොන්ග් කෘෂිකර්ම විශ්වවිද්‍යාලයේ පර් යේෂණ කණ්ඩායමට, සහල් අස්වැන්න වැඩි කළ හැකි ජානයක් හඳුනා ගැනීමට හැකියාව ලැබී ඇති අතර, ජාත්‍යන්තර පර් යේෂණ කණ්ඩායමට ප්‍රෝටීන් බහුල ශාකයක් වන ලු‍පින් බෝංචිවල ඇල්කලොයිඩ් පහළ දමන පැණි රස ගන්වන ජානය හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබේ.
ඉතාලි ජාතිකයන්, තමන්ට පොඩි බඩගින්නක් ඇති වූ විට ලු‍ණු රසැති පෝෂ්‍යදායි ලු‍පින් බෝංචි ඇට පීරිසියක් ආහාරයට ගැනීමෙන් එම බඩගින්න නිවා ගැනීමට කැමැත්තක් දක්වයි. බොහෝ ඉතාලි තැබෑරුම්වල ලු‍පින් බෝංචි ඇට යනු නැතිවම බැරි කටගැස්මකි.


ලු‍පින් බෝංචි යනු රනිල කුලයට අයත් බෝගයකි. මධ්‍යධරණී මුහුද ආශ්‍රිත කලාපයේ මෙන්ම මැද පෙරදිග සහ අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල වසර දහස් ගණනක සිට ලු‍පින් බෝංචි ආහාරයට ගනු ලබයි. ලු‍පින් බෝංචි ඕනෑම දේශගුණයක පහසුවෙන් වගා කිරීමට හැකියාව පවතී. ලු‍පින් බෝංචි ඉතා ඉහළ ප්‍රෝටීන් සහ තන්තු ප්‍රමාණයකින් යුක්ත වන අතර අඩු කාබෝහයිඩ්‍රේට් සහ සීනි ප්‍රමාණයක් ද ඇත.


ලු‍පින් බෝංචි උතුරු සෝයා බෝංචි ලෙස ද හඳුන්වනු ලබයි. අසාමාන්‍ය තිත්ත රසයක් ගෙන දෙන ඇල්කලොයිඩ් ඉහළ ප්‍රතිශතයක් ඇතැම් ලු‍පින් බෝංචි ප්‍රභේදවල අඩංගු වේ. ඇල්කලෝයිඩ් යනු අවම වශයෙන් එක් නයිට්‍රජන් පරමාණුවක්ව අඩංගු ස්වභාවික කාබනික සංයෝග කාණ්ඩයකි.


මීට වසර 100 කට පමණ පෙර ජර්මනියේ ශාක බෝ කරන්නන් විසින් පැණිරස ලු‍පින් බෝංචි ස්වාභාවික විකෘතිය ප්‍රථම වරට සොයා ගන්නා ලදී. එම පැණි රස ලු‍පින් බෝංචි ශාකයේ ඇල්කලොයිඩ් අඩු කිරීමට සමත් වූ පැණිරස ගන්වන ජානය හඳුනා ගැනීමට ප්‍රථම වරට ජාත්‍යන්තර පර් යේෂකයන් කණ්ඩායමක් පසුගිය දා සමත් විය. අමිහිරි රසය හේතුවෙන්, මිනිසුන් ආහාරයට ගැනීමට අකමැත්තක් දක්වන බෝග කෑමට ප්‍රිය කරන ආකාරයෙන් ලබාදීමට සහ ශාක මත පදනම් වූ ආහාර ගැනීමට කැමැත්තක් දක්වන අය සඳහා තවත් ප්‍රෝටීන් බහුල ආහාරයක් ලෙස ලු‍පින් බෝංචි හඳුන්වා දීමට මෙම පර් යේෂණය වැදගත් වන බව පර් යේෂකයන් කණ්ඩායම පෙන්වා දී තිබේ.
පැණිරස ලු‍පින් බෝංචි විශාල ලෙස  වගා කිරීමට ගොවියන් කැමැත්තක් නොදක්වයි. එසේ ඉතා ස්වල්පව වගා කරනු ලබන පැණිරස ලු‍පින් බෝංචි, පසුගිය වසර 50 ක කාලය පුරාවට ගොවිපොළ සතුන් සඳහා ආහාර ලෙස යොදා ගැනින. තිත්ත රසය අඩු නිසා වැඩිවාර ගණනක් සේදීමට අවශ්‍ය නොවීම හේතුවෙන් පැණි රස ලු‍පින් බෝංචි ඒ සඳහා භාවිත කෙරිණ.


නමුත් පසුගිය වසර 10ක කාලය තුළ ප්‍රෝටීන බහුල ශාක ආහාර ගැනීමට වැඩි වශයෙන් නැඹුරු වීම සහ සෝයා බෝංචි වගා හේතුවෙන් පසට සිදුවෙන හානිය පිළිබඳ මිනිසුන් දැනුවත් වීම හේතුවෙන් පැණිරස ලු‍පින් බෝංචි ආහාරයට ගැනීමට මිනිසුන් වැඩි වශයෙන් පෙළඹී ඇත. එම නිසා ප්‍රෝටීන බහුල බෝග වැඩි වශයෙන් දේශීයව වගා කිරීමට යුරෝපීයයන් ගන්නා උත්සාහය ද වැඩි වී තිබේ.


ප්‍රෝටීන් බහුලවීම නිසා ලු‍පින් බෝංචි සොයා බෝංචිවල ප්‍රතිවාදියා ලෙස සැලකේ. ලු‍පින් බෝංචි ඕනෑම දේශගුණයකට ඔරොත්තු දීමේ හැකියාව තිබෙන අතර දුර්වල පස සාරවත් කිරීමට ද හැකියාව ඇත. නමුත් මෙතෙක් කල් ලු‍පින් බෝංචි වැඩි වශයෙන් ආහාරයට ගැනීමට මිනිසුන් මැළිකමක් දැක් වූයේ ලු‍පින් බෝංචි ස්වාභාවිකවම ඇල්කොලයිඩ් නිපදවීම හේතුවෙන් තිත්ත රසයක් ගෙන දීම නිසයි.

 

චීනයේ වාසොන්ග් කෘෂිකර්ම විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම සිදුකළ පරීක්ෂණයේ දී සහල් අස්වැන්න වැඩිකර ගත හැකි ක්‍රමයක් සොයා ගැනීමට එම කණ්ඩායමට හැකියාව ලැබී ඇත. එහිදී පර්යේෂණ කණ්ඩායම සොයාගෙන ඇත්තේ ජී. වයි 3 නම් ජානයේ සයිටොකිනින් සංශ්ලේෂණය නියාමනය කිරීමෙන් ශාකයකින් ලැබෙන ධාන්‍ය ප්‍රමාණය වැඩි කිරීමට මෙන්ම වී ප්‍රභේදවල අස්වැන්න සියයට 10 කින් වැඩි කිරීමට ද හැකියාව ලැබෙන බවයි


එසේම ජර්මනියේ බෝග වගා කරන්නන් තිත්ත රසය අඩු, ස්වභාවික විකෘතියක් සොයා ගත්තත් ලු‍පින් බෝංචි ශාක පරාගනය වී තිත්ත රසය වැඩි ලු‍පින් වැඩි වී යැයි බියෙන් බෝග වගා කරන්නන් අඩු වශයෙන් පැණි රස ලු‍පින් බෝංචි වගා කිරීමට පුරුදු වී සිට තිබේ. නමුත් මෙම සොයා ගැනීම හේතුවෙන් ගොවීන්ට අඛණ්ඩව වැඩි වශයෙන් පැණි රස ලු‍පින් වගා කිරීමට අවස්ථාව ලැබෙනවා සේම වැඩි ප්‍රෝටීන අන්තර්ගතයක් ඇති ප්‍රභේද වගා කිරීමට ද අවස්ථාව සැලසෙන බව පර් යේෂකයෝ පෙන්වා දී ඇත.
මෙම පර් යේෂණයේ දී, තිත්ත සහ පැණි රස ලු‍පින් බෝංචි ප්‍රභේද 227 ක ඇති විවිධ ඇල්කලෝයිඩ්වල ජෛව රසායනයන් අධ්‍යයනය කර තිබේ. එහිදී ඇල්කලෝයිඩ්වල සංයුතියේ වෙනස්කම් දෙස බැලීමෙන් ලු‍පින් බෝංචිවල ජාන පිළිබඳ අදහසක් ලබා ගැනීමට හැකි වූ බව පර්යේෂක කණ්ඩායම පවසා ඇත. සෙවිය යුතු ජානය පිළිබඳ අදහසක් පර් යේෂකයන් කණ්ඩායමට තිබූ බවත් අවසාන වශයෙන් පැණි රස ලු‍පින් බෝංචිවල තිබූ එම ජානය අනෙකුත් තිත්ත ලු‍පින් බෝංචි ප්‍රභේ ද පැණිරස කිරීම සඳහා යොදා ගැනීමට හැකි දැයි පරීක්ෂා කිරීමට අවශ්‍ය වූ බව පර් යේෂකයන් කණ්ඩායම පෙන්වා දී තිබේ. වෙනත් ශාකවල එය සිදු කිරීම සඳහා ජාන වෙනස් කිරීමේ මෙවලම් භාවිත කිරීමට හැකියාව තිබුණත් ලු‍පින් ශාකයේ එය සිදු කිරීම අපහසු වූ බව පර්යේෂකයන් කණ්ඩායම පවසා ඇත.


මෙම පර් යේෂණය හේතුවෙන් ගොවීන්ට තමන් වගා කරන්නේ පැණි රස ලු‍පින් බෝංචිවල කුමන ප්‍රභේදය දැයි දැන ගැනීමට අවස්ථාවක් ලැබෙන බවත් ඒ හේතුවෙන් පැණි රස ලු‍පින් බෝංචි පහසුවෙන් වගා කිරීමට ගොවීන්ට හැකියාව ලැබෙන බවත් පර් යේෂකයන් කණ්ඩායම පෙන්වා දී තිබේ. මෙම පරීක්ෂණයේ ප්‍රධාන අරමුණක් වූයේ තිත්ත රසය හේතුවෙන් මිනිසුන් ආහාරයට ගැනීමට මැළිකමක් දක්වන ලු‍පින් බෝංචි මිනිසුන්ට කැමැත්තක් ඇතිවන ආකාරයෙන් පිළි ගැන්වීමට හැකි ක්‍රමයක් සොයා ගැනීම බව පර්යේෂකයන් කණ්ඩායම පවසා ඇත.


එසේම චීනයේ වාසොන්ග් කෘෂිකර්ම විශ්ව විද්‍යාලයේ පර් යේෂණ කණ්ඩායම සිදුකළ පරීක්ෂණයේ දී සහල් අස්වැන්න වැඩිකර ගත හැකි ක්‍රමයක් සොයා ගැනීමට එම කණ්ඩායමට හැකියාව ලැබී ඇත. එහිදී පර් යේෂණ කණ්ඩායම සොයාගෙන ඇත්තේ ජී. වයි 3 නම් ජානයේ සයිටොකිනින් සංශ්ලේෂණය නියාමනය කිරීමෙන් ශාකයකින් ලැබෙන ධාන්‍ය ප්‍රමාණය වැඩි කිරීමට මෙන්ම වී ප්‍රභේදවල අස්වැන්න සියයට 10 කින් වැඩි කිරීමට ද හැකියාව ලැබෙන බවයි.


ආසියාවේ ප්‍රධාන දේශීය සහල් ප්‍රභේදයක් වන ජැපොනිකා සහල් ප්‍රභේදයේ සියයට 98ක් ජී.වයි 3 ජානය තිබෙන බවත් ඉන්දිකා සහල් ප්‍රභේදයේ සියයට 21 ක් ජී.වයි 3 ජානය තිබෙන බවත් චීන පර්යේෂණ කණ්ඩායම පවසා ඇත. මෙම ක්‍රමය මගින් ඉන්දිකා සහල් ප්‍රභේදයේ අස්වැන්න සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දැමිය හැකි බව පර්යේෂණ කණ්ඩායම පෙන්වා දී ඇත.

 

■ විමුක්ති එස්. රුද්‍රිගු