සුනාමි මෙහෙයුම් කාර්යාලයේ රෑ දවල් වැඩ


  • අද මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරියක ලෙස සේවය කරන නමුදු සංගීත විශාරද විභාගය ද සමත් වූ ගායිකාවක් ද වන ඇය ගැයූ විවිධ තේමාවන්ගෙන් යුත් ගීත ගණනින් දහසය ද ඉක්මවා ඇත. තවත් අලු‍ත් ගීත ගැයීමට අමතරව, කෙටි කතා සංග්‍රහයක් එළි දැක්වීමට ද ඇය මේ දිනවල සුදානමින් සිටී.

 

2004 වසරේ නත්තලට පසු දවස උදාවී ටික වේලාවකට පසු අසන්නට ලැබුණේ අරුම පුවතකි. 
“මුහුද ගොඩ ගලනවා’‘


ඒ පුවත සවන් වැටුණු විගසම අප කළේ රූපවාහිනිය අසලට රොක්වී මුහුද ගොඩගලන හැටි බැලීමය.  රටේ තැන තැන මුහුදුබඩ පළාත්වල මුහුදට යටවී විනාශ වූ පෙදෙස් අතුරුදන් වූ ජනතාව පිළිබඳ පුවත්වලින් රූපවාහිනී ප්‍රවෘත්ති පිරී ගියේය. 


ඒ වනවිට මුහුද ගොඩගැලීම යනු කුමක්දැයි අප දැක නොතිබුණු සිදුවීමකි. කැලණිතිස්ස රජ සමයේ මුහුද ගොඩගැලීමක් ගැනත් රට බේරා ගැනීමට විහාර මහා දේවිය මුහුදට බිලි වූ බවත් ඉතිහාසයෙන් අසා තිබුණත්, අපට මේ මුහුද ගොඩගැලීම අරුමයක්ම විය. නමුත් නිතර භූමිකම්පාවලට ගොදුරු වන ජපානය වැනි රටවලට නම් මුහුද ගොඩගැලීම අරුමයක් වූයේ නැත. මුහුද ගොඩගැලීමට කියන සුනාමි යන වචනය පවා අපේ ශබ්ද කෝෂයට එක් වූයේ ද එදාය.  


රට වටේටම විපත් සිදුකළ හදිසි අවස්ථාවට මුහුණ දෙනු පිණිස  රජය, සිය  නිලධාරීන් වහාම සේවයට කැඳවීය. විශේෂයෙන් සමාජ සේවා අමාත්‍යාංශයේ සුනාමි මෙහෙයුම් කාර්යාලයක් ආරම්භ කළේය. ඒ වනවිට සමාජ සේවා අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරියක වූ මංගලා ගුණරත්න වහාම අමාත්‍යාංශයේ සේවයට වාර්තා කළාය.


“මගෙ බෝඩිම තිබුණේ සෙත්සිරිපායෙ අපේ ඔෆිස් එක කිට්ටුවමයි. ඒ නිසා සේවයට කැඳවූ හැටියෙම මට සේවයට යන්න පුළුවන් වුණා. මම ගිහින් ටික වෙලාවක් යනකොට අපේ අමාත්‍යාංශයේ වැඩ කරලා විශ්‍රාම ගිය අය පවා එන්න පටන් ගත්තා. ඒ අයට හදිසි අවස්ථාවල වැඩ කරලා හොඳ පලපුරුද්දක් තිබුණා.
මම ජනසන්නිවේදන විශේෂ උපාධිධාරිනියක්. ඒ දැනුමත් ප්‍රයෝජනයට අරගෙන රටේ තැනින් තැනින් එන තොරතුරු සටහන් කරගන්න ඒ ඒ පළාත්වල දිසාපතිවරු එක්ක සම්බන්ධ වෙලා ඒ පළාත්වලට වෙලා තියෙන විනාශය ගැන තොරතුරු ගන්න, විපතට පත් වූ ජනතාව ආරක්ෂක ස්ථානවලට යවන්න,  අනාථ කඳවුරු පිහිටුවන්න, විපතට පත්වුණු අයට ආහාර, අඳින්න ඇඳුම් පැලඳුම් සපයාදෙන්න, බේත් හේත් සපයන්න  වගේ දහසකුත් එකක් රාජකාරි කරන්න තිබුණා. 


මේ කාර්යාලය පැය විසි හතරම වැඩ කරන නොනිදන කාර්යාලයක් වුණා. ඒ නිසා හරියට නින්දක් නැහැ, කෑමක් නැහැ.  පැය දහයක් විතර වැඩ කරලා බෝඩිමට දුවලා ඇඟ සෝදා ගෙන නැත්නම් නාගෙන වෙන ඇඳුමක් දාගෙන ආපහු ඔෆිස් එකට දුවනවා.  හැම දවසකම උදේට ඇවිත් තියෙන වාර්තා දැක්කම මට ඇඬෙනවා. මිනී අච්චරයි මෙච්චරයි කියලා දකිද්දී, මොන කරුමයක්ද මේ වුණේ කියලා හිතෙනවා.  නොකා නොබී  අර අසරණ වුණු මිනිස්සුන්ට පිහිට වෙන්න හිතෙනවා. 
මේ වෙද්දි පිටරටවලින් බෙහෙත් වර්ග, ආහාරපාන කන්ටේනර් පිටින් එන්න ගත්තා. නැව්වලින් වරායට, ගුවන් යානාවලින් කටුනායකට එන මේ ආධාර ගැන වාර්තා තියාගන්න ඒ ආධාර අවශ්‍යතාවයන් පරිදි සාධාරණ විදිහට රට පුරා අවතැන් කඳවුරුවලට යවන්න, දිසාපතිවරු,  ප්‍රාදේශීය ලේකම්වරු, පොලිසිය හමුදාව, සමාජ සේවා නිලධාරීන්  සමග සම්බන්ධීකරණය කරන වැඩ කටයුතු හරිම භාරධූරයි. විශ්‍රාමික නිලධාරීන්ගෙ දැනුම, මගපෙන්වීම අපිට හරියට වැදගත් වුණා. 


සුනාමියට ගොදුරුවුණු මල් වගේ දරුවන්ගෙ, ළමයින්ගෙ අම්මලා තාත්තලාගේ මිනී දකිද්දි මට ඇඬෙනවා. සමහර අම්මලා මුහුදට ගහගෙන ගිහින් තිබුණෙ පන්සලේ සිල් ගනිද්දි. ඇයි සුනාමිය ආවෙ පසලොස්වක පෝය දවසකදිනෙ.  සිල් අරගෙන හිත සංසුන් කරගෙන හිටිය උපාසක අම්මලා, තාත්තලා සිල් ඇඳුම් පිටින්ම මුහුදට ගහගෙන ගියා කියලා ඇහෙද්දි හිතට හරිම දුකයි. ඔය අස්සෙ රටේ විවිධ පළාත්වල අපේ සමාජ සේවා නිලධාරින් සුනාමියට අහුවෙලා මැරිලා අනාථවෙලා කියලා එන ප්‍රවෘත්තිත් තිබුණා. නොදන්න අයට වඩා දන්න අයගෙ මරණ, අනාථවීම්,  හිතට ගේන්නෙ ලොකු දුකක්. ඒ නිසා මගෙ ඇස්වල කඳුළු වියැකුණේම නැතිතරම්. 
අපේ නිලධාරීන්ට රාජකාරිවලට රටේ විවිධ ප්‍රදේශවලට යන්නත් සිදුවුණා. ඒත් මම නම් ඔෆිස් එකෙන් එළියට ගියේම නැහැ. මට බයයි, මේ මිනී දකිද්දි මට හරියට රාජකාරිය කරගන්න බැරිවෙයි කියලමයි මට හිතුණේ. ඒනිසා මම ඔෆිස් එකේ රාජකාරි ටික කරගෙන හිටියා.”


රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක් මේ වෙලාවෙ ලංකාවට ආවා. ඔවුන් විවිධ ප්‍රදේශවල ගෙවල් හදන්න පටන් ගත්තා. ඔය විදිහට ලංකාවට එන රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම  එයාලගෙ විවිධ වැඩවලට අවශ්‍ය සහයෝගය ලබාදීම වගේ දහසකුත් එකක් රාජකාරි මේ කාලෙ කරන්න තිබුණා.”
සුනාමි ව්‍යසනය සමයේ මෙලෙස රැයක් දවාලක් නැතිව සේවය කළ මංගලා වසර හයක්ම සිටියේ සමාජ සේවා අමාත්‍යංශයේය. පසුව පලදායිතා අමාත්‍යාංශයටත් එතැනින් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය කාර්යාලයටත් සේවයට එක්වන ඇයට එහිදී ද අතිශය සංවේදී සිදුවීමක් අසන්නට ලැබිණි. 
“ජ්‍යෙෂ්ඨ අමාත්‍ය කාර්යාලය තිබුණෙ කොල්ලු‍පිටියෙ. මගේ තනතුර වුණේ සැලසුම් අධ්‍යක්ෂ. අපේ කාර්යාලයෙ ආරක්ෂාවට හිටියෙ පෞද්ගලික ආරක්ෂක සේවයකට සම්බන්ධ අය. එක් කාන්තාවක්  හිටියා පිළිගැනීමේ නිලධාරිනිය විදිහට වැඩ කළේ. නමුත් ඇයගෙ පත්වීම තිබුණෙ ආරක්ෂක නිලධාරිනියක් විදිහට. කාලෙකට පස්සෙ අපේ කාර්යාලය වහන්න නියමිත වුණා. ඔන්න ඔය දවස්වල මේ කියන කාන්තාව මාව මුණගැහෙන්න ආවා. ඇය මට කිව්වෙ ඇගේ ජීවිතේ එක් දුක්බර පැත්තක්. ඇයට හිටියෙ ඉගෙන ගන්න වයසෙ දරුවො දෙන්නෙක්. ඇගේ සැමියා බීමට ඇබ්බැහි වෙලා. ඔහු දරුවො දෙන්න ගැන බලන්නෙ නැහැ. කන්න කිසිම දෙයක් ගෙදරට ගේන්නෙත් නැහැ. ඔහුගෙ එකම අවශ්‍යතාව උදේ ඉඳන් රෑ වෙනතුරු බීමම පමණයි.  ගෙදර හැම දෙයක්ම කෙරුණෙ මේ කාන්තාව උපයාගන්න දේකින් විතරයි. ඉතින් කාර්යාලය වහපු දවසකට ඒ කාන්තාවගෙ රැකියාව නැතිව යනවලු‍. ඊට පස්සෙ ඇයට ජීවත්වීමේ ගැටලු‍වක් තිබුණා. ඇය කිව්වෙ මහන මැෂිමක්වත් තිබ්බ නම් ඇඳුම් මහලා හරි ළමයි දෙන්නට කන්න අඳින්න දෙන්න, උගන්නන්න තිබුණා කියලයි. 
මම කිව්වා කොහොමහරි මහන මැෂිමක් අරගෙන දෙන්නම්  කියලා. එතකොට මෙයා කියනවා හරියකට මහන්න දන්නෙත් නැහැ කියලා. 


ඒ කාලෙ මගේ මහත්තයා වැඩ කළේ ජනසරණ පදනමේ  ජාතික සංවිධායක විදිහට. ඒ නිසා මට ජනසරණ පදනම හරහා අර කාන්තාවට මහන මැෂිමක් අරන් දෙන්න පුළුවන් වුණා. පස්සෙ මැහුම් ඉගෙනගන්න මාස හයක් යනතුරු පන්ති ගාස්තුව ගෙව්වෙත් මම.’‘ මංගලා එහෙමය. ඕනෑම තැනක ඕනැම කෙනෙකුගේ දුකට සවන් දෙන පුරුද්දක් ඇයට තිබේ. පහළම සේවකයාගේ පටන් ඉහළම නිලධාරීන් දක්වා කා සමගත් සුහදව කටයුතු කිරීම ඇගේ හැටියකි. 
“කාලෙකට පස්සෙ අර කාන්තාව මට කතාකරලා කිව්වා අම්මාගෙ ඉඩමෙන් කොටසක් දුන්නා ගෙයක් හදාගන්න කියලා. පොඩිවට ගේකුත් හදා ගෙන මැහුම් ගෙතුම් කරගෙන ජීවත් වෙනවා කියලා. ළමයි හොඳට ඉගෙන ගත්තා කියලත් ඇය කිව්වා.”


ජ්‍යෙෂ්ඨ අමාත්‍ය කාර්යාලයෙන් පසු මංගලා සේවයට එක්වූයේ ළමා කටයුතු අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්ෂ තනතුරටය. ඒ සමයේ දී ඇයට තවත් එක් සත්‍ය කතාවක් අසන්නට ලැබිණි. 
“අපේ අමාත්‍යාංශයෙ ආරක්ෂක අංශයෙ වැඩකරන තරුණයෙක් මාව මුණගැහෙන්න ඕනැයි කියලා කිව්වා. මම ඔහුට මගේ කාර්යාලයට එන්න කිව්වා. ඔහු කලින් කසාදෙන් අයින්වෙලා දෙවැනි කසාදයක් බැඳගෙන හිටිය කෙනෙක්. ඒ කසාදෙන් එයාට ළමයි දෙන්නෙක් ඉන්නවා. පළමු කසාදෙනුත් එයාට ගෑනු දරුවෙක් ඉන්නවා. ඒ දරුවා හිටියෙ අම්මා ළඟ. හැබැයි ඒ ගෑනු කෙනාත් දෙවැනි වරට කසාද බැඳලා. ඒ වෙද්දි එයාගෙ පළමු කසාදෙ දුවට වයස අවුරුදු දොළහක්. නමුත් ඒ දරුවාට ඒ ගෙදර ආරක්ෂාව මදි කියලා ඒ දරුවා පරිවාසෙට බාරදෙන්න මගෙන් උපදෙස් ගන්නයි ඔහුට අවශ්‍ය වෙලා තිබුණෙ. 
මම කිව්වා ඒ දරුවා එයා ළඟට ගන්න කියලා. එතකොට එයා කිව්වෙ දෙවැනි කසාදෙ බිරිඳ ඒ දරුවා බාරගන්න කැමැති නැහැ කියලා. 


ඒ නිසා එදා මම  ඒ තරුණයාට  ළමාරක්ෂක අධිකාරියෙ නිලධාරියෙක්ව සම්බන්ධ කරලා දුන්නා, අවශ්‍ය කටයුතු කරගන්න. 


මංගලා රාජකාරි ජීවිතයේ දී මුහුණ දුන් සංවේදී සිදුවීම්   බොහෝය. ඉන් සමහරක් අතිශයින්ම මානුෂිකය.  මේ තවත් එවන් කතාවකි. 


“දවසක් අපේ අතිරේක ලේකම් මට කතාකරලා කිව්වා, එක රියැදුරු මහත්තයෙක් ඉන්නවා එයාගෙ ඇස් පෙනීම දුර්වල වෙලා, ඒ නිසා තවදුරටත් රියැදුරු රැකියාව කරන්න බැහැ . ඒ නිසා එක්කෝ එයා විශ්‍රාම යවන්න ඕනැ. එහෙම කළොත් එයාගෙ විශ්‍රාම වැටුපට ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා  එයාට වෙන රාජකාරියක් දෙන්න වෙනවා. නමුත් ඔහුට දෙන්න වෙන්නෙ කාර්යාල කාර්ය සහකාර වගේ වැඩක්. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ කිසිම කෙනෙක් එයාව තමන් ළඟ වැඩට ගන්න කැමැති නැහැ. ඔයාට පුළුවන් ද එයාව ඔයාගෙ සෙක්ෂන් එකට ගන්න කියලා.  රියැදුරු වගේ වැඩක් කරපු කෙනෙකුට පියන් වැඩක් කරන්න අමාරුයිනෙ. ඒකයි කවුරුවත් එයාව තමන්ගෙ අංශයට ගන්න අකැමැති. ඒත් මම හා කිව්වා. පස්සෙ එයා මගේ අංශෙට වැඩට ආවා. හැබැයි ඔහු ඉතාම හොඳින් වැඩ ටික කළා. ඊට අවුරුදු එක හමාරකට විතර පස්සෙ දවසක ඔහු විශ්‍රාම ගියා. එදා ඔහු කතා කළේ අඬ අඬා. ඔහුට රැකියාව දීම ගැන  අපිට හදවතින්ම ස්තූති කළා.’‘
මංගලාගේ රාජකාරි ජීවිතයේ දී අමතක නොවන තවත් සංවේදී සිදුවීම් බොහෝය.  එවැනි සංවේදී සිදුවීම් ඇගේ ගායන දිවියට ද පිටිවහලක් වනවාට කිසිම සැකයක් නැත. ඇය අද මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරියක ලෙස සේවය කරන නමුදු සංගීත විශාරද විභාගය ද සමත් වූ ගායිකාවක් ද වේ. ඇය ගැයූ විවිධ තේමාවන්ගෙන් යුත් ගීත ගණනින් දහසය ද ඉක්මවා ඇත. තවත් අලු‍ත් ගීත ගැයීමට අමතරව, කෙටි කතා සංග්‍රහයක් එළි දැක්වීමට ද ඇය මේ දිනවල සුදානමින් සිටී.


පොල්ගහවෙල සාන්ත බර්නදෙත් කනිටු විදුහල, පොල්ගහවල පරාක්‍රමබාහු මැදි විදුහල, රත්මල්ගොඩ සහ කුරුණෑගල ලක්දාස් විදුහල්වලින් ඉගෙන කැලණිය සරසවියෙන් ජනසන්නිවේදනය පිළිබඳ  විශේෂ උපාධිය ලැබගත් ඇය විවෘත විශ්ව විද්‍යාලයෙන් සංවර්ධන අධ්‍යයනය හා රාජ්‍ය ප්‍රතිපත්ති පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය හා රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව පශ්චාත් උපාධිය ද ලබාගෙන ඇත.  

 

 

 

ශාන්ත කුමාර විතාන