සිසුන්ගේ ලෝකයට සඳක් වූ ගුරුතුමිය මධුභානි රත්නායක


​‘මොකද අර ළමයා නිදාගෙන”


තම ඩෙස්කුවේ හිස තබාගෙන හොඳටෝම නිදා සිටින ළමයා දැක ඇය ඇසුවාය. පංතියේ ළමයි හැමෝම පාහේ නිදා සිටි ළමයා දෙස බැලු‍වේ සිනාසෙමිනි.


‘එයා හැමදාම ඔහොම තමා ටීචර්. ඉස්කෝලෙ එන්නෙ නිදාගන්න.”


දඟකාර සිසුවෙක් කීවේ අනිත් අයගේ සිනා හඬ මධ්‍යයේය. ඇය ඔහු ළඟට ගියේ විමතියෙනි. ‘පුතා පුතා නැගිටින්න. මොකද මේ පංතියෙ නිදාගෙන”
ඇය ඔහු අවදි කළාය. දෑස හැර වටපිට බැලූ ඔහු ගුරුතුමිය දැක දෑස පිස ගත්තාය. ‘මට නිදාගන්න දෙන්න ටීචර්”
ඔහු ඉල්ලා සිටියේය.


‘එයාට නිදාගන්න දෙන්න ටීචර්.  සර්ලා ටීචර්ල කවුරුවත් එයාව ඇහැරවන්නේ නැහැ.”
ළමයි කී බැවින් එදා ඇය නාට්‍ය හා රංග කලාව පාඩම ඉගැන්වූයේ අනිත් පිරිසටය. 
‘මේ පුතා නැගිට්ටාම ඇවිත් මාව හමුවෙන්න කියන්න.”
පංතිය අවසානයේ දී පංති නායකයාට කී ඇය ඇගේ ඩ්‍රාමා කාමරයට ගියාය.
උගන්වන වේලාවේ දී නිදා සිටින ළමයෙක් විභාගය සමත් වන්නේ කෙසේදැයි ඇයට විමතියකි. එහෙත් සිය පළමු පත්වීම බැවින් ඇයට ළමයි ගැන අත්දැකීම් අඩුය. ඇය තම සහෝදර ගුරුමහත්මියකගෙන් මේ ගැන ඇසුවාය.
‘ඔහොම තමා මේවයෙ ළමයි. ජීවිත දුෂ්කරනේ ඔය කියන ළමයා රෑට මිනී පෙට්ටි සාප්පුවක මිනී කපනවා. දවල්ට නිදි. ඉස්කෝලෙ එන්නෙ නිවාඩු පාඩුවෙ නිදාගන්නලු‍” 
ඒ ගුරුතුමිය කීවේ එවැනි කතාවකි.
එහෙත් ඇයට නම් මෙය සැහැල්ලු‍වෙන් ගතහැකි කාරණයක් නොවේ.
ඔහු ඇය හමුවට ආවේ පාසල නිමාවීමෙන් පසුවය. ‘‘ටීචර් මට එන්න කිව්ව ද? ”
ඔහු ඇසුවේය.


‘ඔව් පුතේ ඇයි ඔයා පංතිය වෙලාවෙ නිදාගන්නෙ?”
ඇය ඇසුවේ රැවුම් බැල්මකින් ඔහු දෙස බලමිනි. මොහොතකට ගල් ගැසුණු ඔහු තම ගුරුතුමිය දෙස බලා සිටියේය. 
‘ටීචර්  මම රෑට මිනී පෙට්ටි සාප්පුවක වැඩ කරනවා.  ඉතිං පංති ආවම මට නිදිමතයි”
‘‘ළමයින්ට ඉස්කෝලෙ එන්න කියන්නෙ ඉගෙන ගන්න. ඇවිත් නිදා ගත්තාම කොහොමද විභාග පාස්කරන්නෙ...”
ඇය ඇසුවේ දැඩි හඬකිනි. ‘අම්මා තාත්තා මොක ද කරන්නේ ?”
දන්නෙ නෑ ...”
‘දන්නෙ නෑ.  ඔය ළමයා මාව විහිළුවකට ගත්තද? දන්නෙ නෑ කියන්නෙ ?”
‘අනේ නැහැ ටීචර්. ඇත්තටම අම්මා තාත්තා ගැන මම මුකුත් දන්නෙ නැහැ. මම ඉන්නෙ ආච්චි ගාව.  දැන් ආච්චිට වයසයි. ඉතින් මම රස්සාවක් කරනවා. ආච්චිටයි මටයි ජීවත් වෙන්න”


ඇගේ ඉහ මොළ රත්විය. ඇගේ පියා ගුරුවරයෙකි. අම්මාගේත් තාත්තාගේත් ආදරය මැද ගෙවුණු ළමා විය ඇයට අතිශයින්ම සුන්දර විය. එහෙත් රටේ හැමෝටම එබඳු සුන්දර ජීවිත හිමි වන්නේ නැත. ඇයට සුසුමක් නැගිණි. ‘ඒ වුණාට පුතේ ඉස්කෝලෙ ඇවිත් ඉගෙන ගන්න ඕනෑ. ඉගෙන නොගත්තොත් ඔයාට වෙන්නෙ හැමදාම මිනී කපන්න. ඒත් අමාරුවෙන් හරි ඉගෙන ගත්තොත් ඔයාට දවසක වෙන රස්සාවක් කරන්න පුළුවනි. ඒ නිසා හෙට ඉඳලා පංතියෙ නිදාගන්න බැහැ තේරුණාද ?”
‘හා ටීචර්”
ඔහු පොරොන්දු වූ පරිදිම පසුදා පටන් පංතියේ නොනිදා සිටියේය. සතියක් හමාරක් යනවිට පාඩම්වලට ද කන් දුන් ඔහු අන්තිමේ දී ඉගෙනගෙන  සාමාන්‍ය පෙළ විභාගයෙන් ද සමත්වී උසස් පෙළ පංතියට ද ගියේය.
ඒ ඇගෙන් ජීවිතයේ ලලිත කලාව උගෙන ගොඩ ගිය එක ළමයෙකි. එබඳු තවත් ළමයින් බොහෝය. තවත් ළමයි ගැන කියන්නට කලින් ඇය කවුදැයි ලිවිය යුතුය. 
ඇය මධුභානි රත්නායකය. අනුරාධපුරය ස්වර්ණමාලි බාලිකාවෙන් උගෙන සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබ ගුරු පත්වීමක් ලැබ මේ කියන රජරට කලාපයේ දුෂ්කර විදුහලට ගිය ගුරුතුමියකි. වත්පොහොසත්කම් ඇති මව්පියන්ගේ දරුවන් නගරයේ පාසල්වලට යද්දී මෙම පාසලට එන්නේ දුප්පත් ඉගෙනීමට දැඩි වුවමනාවක් නැති දරුවන්ය.  


එසේම මේ දරුවන්ගෙන් වැඩිදෙනා ජීවිතය වැරදුනු  ළමයින්ය. සමහරුනට අම්මා තාත්තාගේ ආදරය කවදාවත් ලැබී නැත. සමහර දැරියක බොරු ආදරයකට රැවටී හොර රහසේ පැන ගොස් ජීවිතය වරද්දාගෙන ආපසු මහ ගෙදරට ආ දැරියන්ය. තාත්තලා මතට ඇබ්බැහිවීම නිසා අපා දුක් විඳින්නට සිදු වූ දූ පුතුන් ද වූහ. 
එහෙත් ඔවුනට ද ජීවිතයක් තිබේ. සුබ සිහින තිබේ. ඒ සිහින ඔවුන්ට දී ඔවුන්ගේ ජීවිත ගොඩ දමන්නට වෙහෙසුණු මේ ගුරුතුමියට ඊළඟට ලැබුණේ එකොළහ වසර පංතියයි. ඒ පංතිය දඟකාර කියන දේ නාහන මුරණ්ඩු ළමයින්ගේ පංතියකි.
‘ටීචර්  ඔය පංතියෙ ළමයි නම් ලේසි වෙන්නෙ නැහැ. අමාරුකාරයො ටිකක් ඉන්නෙ. හුඟ දෙනෙකුට අකුරුටික හරියට ලියාගන්නත් බැහැ”  
ඇයට පංතිය බාරදෙන විටම ලැබුණේ එවන් උපදෙසකි. 


එහෙත් ඇයට ඒ පංතිය ද ඒ ළමයි ද තවත් ළමයි පිරිසක්ම වූහ. කලින් කියැවුණ පරිදිම හරියට අකුරක් ලියාගන්නටත් බැරි ඒ දරුවන් විභාග වලින් පාස් කරන්නට බැරිය. එහෙත් ජීවිතය නමැති විභාගයෙන් ඔවුන් ගොඩ දැමිය හැකිය. නාට්‍ය හා රංග කලාව යනු  ජීවත් වීමේ කලාවයි.
‘‘ළමයි කියන්නෙ වතුර.  ඒ වතුර දාන භාජනයෙ හැඩයටයි ළමයි  හැඩ ගැහෙන්නෙ” 
ගුරුවරයෙකු වූ ඇගේ පියා ඇයට කියාදුන් පාඩමක් ඇයට මතක් විය. ඒ දරුවන්ට ආදරය ඉගැන් වූ විට සියලු‍ අභියෝග ජයගත හැකි බව ඇය දැන සිටියාය. එබැවින් ඇය මේ මුරන්ඩු දඟකාර ළමයින්ට පළමුවෙන්ම දුන්නේ ආදරයයි. ටික දිනකින්ම ඒ ආදරය තේරුම්ගත්  පංතියේ ළමයි හැමෝම පාහේ ඔවුන්ගේ ප්‍රශ්න කියන්නට ආවේ ඇය වෙතටය. දිනක් එක් දැරියක් ඇය වෙත ආවේ ලියුම් මිටියක් රැගෙනය.


‘‘ අනේ ටිචර්  මේ ලියුම් ටික කියවන්න’‘
‘මොනවද මේ ?”
ඇය ඇසුවේ කුහුලිනි.
‘‘ලියුම් වගයක් ටිචර්. අනේ කියවන්නකො’’
දැරිය ඉල්ලා සිටියාය.
එහෙත් ඒවා කියවූයේ ඇය නොවේ.
පසුදා  දැරිය ඇය හමුවට ආවේ ‘ටීචර් ලියුම් කියෙව්වාදැයි ?’ අසමිනි.
‘‘තාම නැහැ පුතේ”
‘අනේ ටීචර්. මට ඉන්නෙ ටීචර් විතරයි. ඔය ටික කියවල මට ජීවිතේ දෙන්න”
දැරිය ආයාචනාත්මකව කීවාය.


අන්තිමේ දී ඇය ඒ ලියුම් මිටිය කියෙව්වාය. එහි සිටියේ පරපීඩක කාමයෙන් පෙළුණ පෙම්වතෙකි.
‘‘ටීචර් මට මේ කරදරෙන් බේරෙන්න ඕනෑ. ඒත් මට බයයි. අනේ ටීචර් මට උදව් කරන්න”
ඇය මුලින් මේ දැරිය සමඟ කතා කළාය. පසුව ඇගේ පරපීඩක කාමී පෙම්වතා සමඟ ද කතා කළාය. ඊළඟට දෙදෙනාම කැඳවා දෙදෙනා සමග ද කතා කළාය. අන්තිමේ දී ඔවුන් දෙදෙනාටම ඉගෙනීමේ වටිනාකම තේරුම් කර දී නොගැළපෙන ප්‍රේමයෙන් ඒ දෙදෙනා මුදා ගත්තාය.
දැන් ඔවුහු උසස් පෙළ විභාගයෙන් ද උසස් ලෙස සමත්ව ජීවිත විභාගයෙන් ද උසස් ලෙස සමත්කම් ලබා සිටිති.
තවත් සංවේදී කතාවක් තිබේ. ඒ පංතියට කිසියම් මත් ද්‍රව්‍යයක් ගෙනා සිසුවකු පිළිබඳවය. මේ ගැන දැනගත්දාම මේ ගුරුතුමිය ඔහුට කතා කළේය.
‘පුතා නරක දේවල් කළොත් නතර වෙන්නෙ පොලිසියෙන්. හිරගෙදරින්. ඒනිසා හොඳ ළමයෙක් වෙන්න”
එහෙත් පසුදා උදෑසන ඇය පාසලට එනවිට දුටුවේ පොලිසියේ දෙදෙනෙක්  අර ළමයාව රැගෙන යන අයුරුය. ඇය දුටුවිට ඔහුත් ඔහු දුටු විට ඇයත් දෙදෙනාම නෙත්වල කඳුළු පුරවා ගත්හ.


කෙසේ හෝ විදුහල්පතිතුමාගේ මැදිහත්වීමෙන් බේරාගත් අර ළමයාව පාසලෙන් ඉවත් කළේ ද නැත. එහෙත් ඉන්පසු ඒ ළමයා දෙස මුළු පාසලම බැලු‍වේ නොපහන් දෑසිනි.
‘මම ආයෙ ඉස්කෝලෙ එන්නෙ නැහැ ටීචර්” 
දිනක් අර දරුවා පැවසුවේය. ‘‘හැමෝම මා දිහා බලන්නෙ අප්පිරියාවෙන්. යාළු‍වොත් මාව කොන් කරනවා ටීචර්”.
‘‘ඉස්කෝලෙ නෑවිත් ඉන්න එපා පුතේ. ඔයා එන්න. මම ප්‍රින්සිපල් සර්ගෙන් අවසර අරගෙන ඔයාට හැම පාඩමක්ම කියලා දෙන්නම්. ඔයා පංතියට යන්න එපා ඩ්‍රාමා රූම් එකට එන්න.” ඇය කාරුණිකව කීවාය.
මං කිව්ව විදිහටම ඒ ළමයා ‘ඩ්‍රාමාරූම්’ එකට ආවා. ඊට පස්සෙ මේ ළමයට විෂයයන් ඔක්කොම ඉගැන්නුවෙ මම. කොහොම හරි විභාගෙන් පාස්වෙලා උසස් පෙළ පංතියට ඇතුළු වුණා.  


ඇය කියද්දී අසා සිටි මගේ දෙනෙත ද කඳුළු පටලයකින් වැසී ගියේය. 
‘‘ඒ ළමයා දැන් ව්‍යවසායකයෙක්. ලොරි කිහිපයක් කුලියට අරගෙන පලතුරු එළවළු ප්‍රවාහනය කරනවා. කඩ දෙකකුත් දාගෙන. ඒ ළමයා වැරැද්දක් කරපු වෙලාවෙ අත්ඇර දැම්මානම් අද ඒ ළමයා කුඩුකාරයෙක් වෙලා’


ඇය පැවසුවේ රටේම අවධානය යොමුවිය යුතු කතාවකි. එක පාසලක් ඇරුනු විට හිර ගෙයක් වැසේ යනුවෙන් ඇති කියමන මට සිහිපත් විය.
‘අධ්‍යාපනය කොටස් තුනක් තියෙනවා. විධිමත් නොවිධිමත් අවිධිමත් කියලා. විධිමත් කියන්නෙ පාසලෙන් ලැබෙන අධ්‍යාපනය. නොවිධිමත් කියන්නෙ පරම්පරාවෙන් ලැබෙන ඉගෙනුම. අවිධිමත් කියන්නෙ සමාජයෙන් ලැබෙන දේ. ජීවිතයකට මේ හැම දෙයින්ම පෝෂණයක් ලැබෙන්න ඕනෑ. මම ළමයින්ට කියාදුන්නෙ ඒ දේ. මගෙ විෂයය  නාට්‍ය හා රංග කලාව. ඒ කියන්නෙ එතන තියෙන්නෙම ජීවිතයේ ලලිත කලාව. ඉතිං මම ළමයින්ට කියා දුන්නෙම ජීවිතය. හැබැයි මට ප්‍රශ්න ගොඩක් ආවා. මොකද මට පත්වීම ලැබෙද්දී මගෙ වයස අවුරුදු විසිපහයි. එතකොට මා සහ ළමයි අතරෙ ලොකු වයස් පරතරයක් නැහැ. ඒ නිසා සමහර ගුරුවරු පවා මා දිහා වැරදි ඇහැකින් බැලු‍වා. නමුත් මම වැරදි නැති නිසා මම මගේ වැඩේ කරගෙන ගියා.  මම ළමයින්ට පොත්වල පාඩම් කියාදුන්නා වගේම ජීවිත පාඩම් කියාදුන්නා. මට තේරුණ දේ තමයි හුඟක් ළමයින්ගෙ ජීවිත අඳුරුයි. ඒ අඳුරු ජීවිතවලට සඳක් වෙන්න ඕනෑ ගුරුවරු කියලයි.”


මෙසේ පවසන මධුභානි රත්නායක ගුරුතුමිය නමැති සුපුන් සඳ අද පායා ඇත්තේ කොට්ටාව ධර්මපාල විදුහලටය. 

 

 

■ ශාන්ත කුමාර විතාන