සියක් බිලිඳුන් දෝතට ගත් නෝනම්මාගේ සියවැනි උපන් දිනය


නෝනම්මාට තෑගි බෝග ගෙන ඇගේ ‘දරුකැළ’

 

දරු උපත් සිය ගණනකට වින්නඹු අම්මා වූ නෝනම්මාගේ සියවැනි උපන් දිනය මෙවර නිකිණි පෝදා සැමරුවේ අමුතුම ආකාරයටය. ඇයවත් බලාපොරොත්තු නොවූ ආකාරයටය. මෙවන් උපන්දින සැමරුමක් ලංකාවෙන් වාර්තා නොවූ ආකාරයක් ගැනීම මෙහි ඇති විශේෂත්වයකි.


වයස අවුරුදු සියයක් වුව ද තමාගේ කටයුතු තමා විසින්ම සිදුකර ගනිමින් උදේ හවා මල් පහන් පුදා තෙරුවන් නමදින නෝනම්මාගේ උපන් දිනය අපූරුවට සැමරීමට තරුණ ප්‍රජාව ඇතුළු ප්‍රදේශවාසී සියලු‍‍ දෙනාම සූදානම් වී තිබූ බව නෝනා අම්මාවත් දැනගෙන සිටියේ නැත. ඇයගේ සිය වැනි උපන් දිනය එදිනට යෙදී තිබූ බවවත් ඇය දැනසිටියේ නැත. වෙනකක් තබා  නෝනම්මා හෙවත් කේ.ඩබ්. ආරියවතී මාතාව අපූරු කාන්තාවකි. යකෙකුටවත් බය නැති යන්ත්‍ර මන්ත්‍ර, ප්‍රගුණ කර ඇති ඇය රාත්‍රි දොළහට වුවද වැදුම්ගේකට තනියම යාමට කිසිදු බියක් නොදැක් වූවාය.


එලෙස යාමට අවශ්‍ය වුවහොත් ඇය ළඟ පොල් කොළපුවලින් සාදාගත් හුළුඅතු පන්දමක් වූයේ අද මෙන් විදුලි පන්දම් එදා නොතිබූ බැවිනි. ඇතැම් දිනවල ඇය කැඳවා ගැනීමට පැමිණි අය හඳුනා නොගත්ත ද කිසිදු පැකිළීමකින් තොරව ඕනෑම රැයක නිවසින් පිටත්වීමට ඇය සැදී පැහැදී සිටියාය. ඉක්මනින් එම කටයුත්තට යාමට අවශ්‍ය අඩුමකුඩුම ඇය වෙනම සකස් කර තිබිණි.


මේ සියල්ල ඇය සිදු කළේ දුම්කොළ නැට්ටක තරම් හෝ  වාසියක් බලාපොරොත්තුවෙන් නොවේ. ඇය මෙම කිසිදු කටයුත්තකට සත පහක්වත් අය කළේ නැත. කවුරුන් හෝ චීත්ත රෙද්දක් හෝ බුලත් විටක්  දුන්නොත්  එය ඇය ප්‍රතික්ෂේප කළේ ද නැත. 
කෙසේ වුවද වඩුමුල්ල ප්‍රදේශවාසීහු ඇයගේ සියවෙනි උපන් දිනය සැමරීමට මනාසේ  සංවිධානය වූහ. හිටපු  ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වූ වැල්ලගේ වික්‍රමතුංග, තිලක් අය්යා ඇතුළු ගමේ ප්‍රභූවරු එක්ව නෝනා අම්මා වෙනුවෙන් අපූරු උපන් දින උත්සවයක් සංවිධානය කළහ.


ඇයට ද හොරෙන් රහසිගතවම තෑගි භෝගත් රැගෙන මහ පෙරහරින් නිවසට ගොස් සෙත් පිරිත් කියා සෙත්පතා ආශිර්වාද කිරීමට ප්‍රදේශවාසී සියල්ලෝම පෙළ ගැසී සිටියෝය. වෙනදා සිල් සමාදන් වන උවසු උවැසියන් ද මෙම කටයුත්තට සූදානම් වූයේ මෙය පින් කටයුත්තක් නිසා විය යුතුය.
මෙම සිද්ධිය පිළිබඳව දැනගත් මාධ්‍යවේදීන් ද මෙම ස්ථානයට පැමිණියේ ඔවුන්ට ද මෙය  අපූරු අත්දැකීමක් බැවිනි. 
අප ඒ ගමට යන විටත් තැන තැන  පාර දෙපස ගම් වැසියන් විවිධ දේ අත රුවා ගනිමින් සිටින අයුරු දුටු විට සිදුවන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට අසීරු වූයේ නැත. ඇතැමුන්ගේ අත හාල් මිටියකි. තවත් අය අත පෙට්ටිවල අසුරන ලද ආහාර ද්‍රව්‍යයය. මෙම පිං කටයුත්තට කොට්ට පැදුරු ඇඳ ඇතිරිලි ඇතුළු සියල්ල ගම්වැසියන් විසින් රැගෙන විත් තිබූ අයුරු ප්‍රශංසනීයය. නිවසට අවශ්‍ය භූමිතෙල් බූලිය පවා ඔවුන් අත විය. දිවා කාලය වන විට සියලු‍‍ පිරිස පෙරහරක් මෙන් නෝනම්මාගේ නිවසට සේන්දු වූහ. සිද්ධිය සැලවූ ඇතමුන් වටිනා මෝටර් රථවලින් පවා පැමිණ නෝනම්මාගේ දෙපා වැඳ තෑගි දුන්නේ අපි යුතුකම් දන්නවායි කියන්නාක් මෙනි.


මෙසේ සියලු‍‍ම දෙනා එකවර මහ පෙරහරින් නිවසට පැමිණෙන විට ඇයගේ දුවණියක වන 74 හැවිරිදි නන්දාවතී මේ ගැන ඇයට පවසන්නට ඇත. සිදුවන්නේ කුමක්දැයි දැන ගත් නෝනම්මා සතුටු කඳුළු වගුරුවමින් පසු වූවාය. ඇයගේ තවත් දරුවකු වන ආරියපාල (64) යන අය ද මෙම අවස්ථාවේ මහත් සතුටින් සිටින අයුරු දැකගත හැකි විය.
‘‘මට අද හරි සතුටුයි. ගමේ රත්තරන් දරුවො මම අමතක කරල නෑ. අද වෙනකොට මම දරුවෝ සිය ගණනක් මේ දෝතට අරන් ඇති. ඒ දරුවෝ මගේ දරුවෝ වගේ. මම සත පහක් බලාපොරොත්තු වෙන් නෙවෙයි මේ කටයුතු කළේ. මගේ ඇස් තාම හොඳට පේනවා. ඉදිකටුවෙ නූල දාන්න මට පුළුවන්. කන් ඇහෙනව නම් අඩුයි. මම බේත් ජාති බොන්නෙ නෑ. මට ලෙඩ නෑ. කොළ ජාති එළවළු වර්ග කනවා. මස් මාළු මට අවශ්‍ය නෑ. මේ තරම් තෑගි කන්දරාවක් මට මොකට ද දරුවනේ’’ යි කියමින් ඇය මහත් වූ සතුටින් ඉකි බින්දාය.
කෙසේ වුවද අපේ ඉල්ලීම මත බුදු ගුණ කවි හා ගාථා කීපයක් ද අපූරුවට  ගායනා කිරීමට ඇය කාරුණික විය. පැමිණි පිරිස සෙත් පිරිත් කියා  නූල් බැඳ උපන්දින ආසිරි පතා දෙපා නැමද පිටත් වන විට තෑගි භෝගවලින් ඇය වැසී ගොස් තිබුණි.


මේ සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වූ වික්‍රමතුංග වැල්ලගේ මහතා මෙසේ කීය. 
“මේ නෝනම්ම ගැන අපේ පැරැන්නන් කතා කරන්නේ මහත් ගෞරවයෙන්. ඒ කාලෙ අද වගේ රෝහල් තිබිලා නෑ. බඩ දරු අම්මලා මේ අම්මගෙ පිහිට තමයි පතල තියෙන්නෙ. මේ පළාතෙ ඉන්න වයස්ගතම අම්මා තමයි මේ. මෙයා යකෙකුටවත් බය නෑ. යන්ත්‍ර මන්ත්‍ර ගොඩක් දේ දන්නවා. තෙල් සාත්තු කිරීම, තෙල්  මැතිරීම, විතරක් නෙවෙයි උලු‍‍ක්කු ඇදීම‍ටත් ඇය හපනියක්. කිරිගහට ඇන්න වගේ හරි යනවා

.
දරුවෙක් ලැබෙන්න විලිරුදාව හැදෙනකොට ඉස්සර මේ පළාතෙම මිනිස්සු ඇවිත් තියෙන්නෙ මේ අම්මා හොයාගෙන. රෑ 12 ට තනියම හරි යනවා. අදිමදි කරන්නෙ නෑ. එයා ඒක කරන්නෙ දේව කාරියක් වගේ.”


“නෝනම්ම එක්ක ගිහින් ආපසු ගෙනත් ඇරලන්න කවුරවුරුවත් ඕනෙ නෑ. ඕන රැයක  තනියම හුළුඅත්තක් පත්තු කරන් එනවා. එයාට දවසක් පාර වැරදිලා ගම වටේම ඇවිදල ඇවිදලා උදේ පාන්දර තමයි ගෙදර ඇවිත් තියෙන්නේ. සමහරු කියන්නෙ යක්ෂ දිෂ්ටියකින් පාර වැහුව කියලයි. කොහොම උනත්  ඔය මැටි ගහපු ටකරං සෙවිලි කළ කුඩා කාමරයක තමයි ජීවත් වෙන්නේ. වැසිකිළි පහසුකම්වත් හරියට නෑ. ආදායමක් නෑ. ඒ නිසා මේ අම්මාගෙ අවසන් කාලෙ හරි සතුටෙන් තියන්න කවුරු හරි උපකාර කරනවා නම් ලොකු දෙයක් කියලයි මම කියන්නෙ. දරුවෝ පුළු‍‍වන් හැටියට සලකනවා. අපි රජයෙන් ආධාර මුදලක් අරන් ගෙයක් හදලා දෙන්න උත්සාහ ගත්තා. පසුගිය වකවානුවේ තිබිච්ච ප්‍රශ්න අනුව එය අපහසු වුණා. ”

 


ඇයගේ පුත් එච්. ආරියපාල (64) මෙසේ කීය.


 අපේ අම්මා මුළු පළාතටම විශාල සේවයක් කළා. අම්මා ලොකු පිනක් කරගෙන තියෙනවා. අපි කවුරුත් අපිට පුළුවන් විදියට අම්මට සලකනවා. අම්ම වැදුම් ගෙවල්වලින් සල්ලි අය කලානම් අද  අපි ලොකු ගෙවල්වල ඉන්නෙ. ඒත් අපිට දැන් සතුටුයි.
දියණිය වන එච්. නන්දාවතී (74) මෙසේ කීවාය.
 අම්මගෙ වැඩ ටික තාම එයා කරගන්නවා. අපිට කරදර කරන්නෙ නෑ. අපි අම්මට සාත්තු කරනවා. ඒත් අපිට ජීවත් වෙන්න ආදායමක් නෑ. කොහොම උනත් අපි අම්ම බඩ ගින්නෙ තියන්නේ නෑ. සියලු‍‍ම සාත්තු සප්පායම් කරනවා. ඒ කාලේ දේවල් කියමින් අම්ම හරියට සතුටු වෙනවා. ඒ කාලේ අම්මා වින්නඹු කම් කරල ගත්ත දරුවෝ අද ගොඩක් දෙනා මිය ගිහින්. ඒත් අම්මා තාම ජීවතුන් අතර ඉන්නවා. 


මේ වයෝවෘද්ධ මව ගැන දන්නේදැයි බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසූ විට එහි ප්‍රකාශිකාවක් මෙසේ කීවාය. 
“ඔව් අපි ග්‍රාම නිලධාරිනිය මගින් නිවසට ගොස් තොරතුරු ලබා ගෙන තිබෙනවා. ඇය වෙනුවෙන් ලබා දිය හැකි සහනයන් ඉදිරියේදී ලබා දෙනවා.”
මෙවැනි සේවාවක් කළ මෑණියන්ට දීර්ඝායු පතා අපි පැමිණියෙමු. එමෙන්ම වත්මන දහසක් ප්‍රශ්න මැද ජීවත් වන ගම්වැසියන් ද මෙවැනි කෘතගුණ දැක්වීමක් කිරීම සුළුපටු දෙයක් නොවන බව පැහැදිලි කළෙමු. මෙවැනි සත්කාරයන් පිළිබඳ මාධ්‍ය මගින් හෝ දැනගෙන තව පිරිසක් ලංකාවේ කොතැනක හෝ මෙවැන්නක් සිදු කරන්නේ නම්  එය අගැයීමට මාධ්‍ය පසුබට නොවනු ඇත.


සියක් වසක් ආයු ලැබ තවමත් සුවසේ සිටින වඩුමුල්ලේ වැන්දඹු අම්මා වන නෝනම්මාට තවත් සිය වසක් නොව තවත් කාලයක්ම ජීවත්වීමේ වාසනාව ලැබේවායි ඉරිදා ලංකාදීපය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු.

 

 

■ කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
■ රජ්ගම විශේෂ - ධර්මදාස සිරිවර්ධන