කොල්ලුපිටියේ අරලියගහ මැදුර නුදුරින් පැවති ‘ගේබ්‍රියල්ගේ බාබර් සාප්පුව’ කොළඹ ඉහළ නාගරික සමාජයේ කා අතරත් ජනප්‍රිය ස්ථානයක් විය. ජේත්තුවට සිටීමට කැමති කාටත් හිතට අල්ලන ලෙස කොණ්ඩය කැපීමටත් රැවුල බෑමටත් ගේබ්‍රියෙල් සමතෙකි. නිතරම පාහේ මෙහි පැමිණීමට පුරුදුව සිටි ගැමි පෙනුමකින් හෙබි එක්තරා තැනැත්තෙකි. සුදු සරමකින් සහ එම වර්ගයේම අත් දිග මේස් බැනියමකින් සැරසුණු උඩු රැවුලකින් යුතු ප්රතාපවත් පෙනුමකින් යුත් මොහු තම වාරය එන තුරු පෝලිමේ වාඩිවී සිටී.
ඔහු හඳුනාගත් පෝලිමේ මුලින් සිටි මහතෙක් ‘ඔතැනට මම එන්නම්. මට ටිකක් වෙලා ගියාට කමක් නැහැ. ඔබතුමා මගේ වාරයට ඇතුළට ගිහින් කොණ්ඩය කප්පවා ගන්න’ යැයි කීවේය. එහෙත් ඔහු එයට එකඟ නොවීය. මෙම දෙබස ඇසී ගේබ්‍රියල් හැරී බැලීය. එහෙත් අමුත්තාගේ හැටි දන්නා නිසා කිසිවක් නොදොඩා ඔහු තමාගේ කාර්යයෙහි යෙදුණේය. සියල්ල සාමාන්‍ය පරිද්දෙන් සිදුවිය. සුදු සරමෙන් සහ මේස් බැනියමෙන් සැරසී කොණ්ඩය කපා ගැනීමට ගිය ගැමි පෙනුමෙන් යුතු මෙම තැනැත්තා එවකට අගමැති පදවිය දැරූ ඩී. ඇස්. සේනානායක මැතිතුමාය. කොපමණ රාජකාරි බහුල වුවත් කිසි දිනක ගේබ්‍රියෙල්ව අරලියගහ මන්දිරයට ගෙන්වාගෙන එම කාර්ය ඉටුකර ගැනීමට අගමැතිවරයා කිසි දිනෙක උත්සාහ කළේ නැත.
පා ගමනින් බාබර් සාප්පුවට එන එතුමා තම වාරය එනතුරු පෝලිමේ රැඳී සිටියි. මෙය සුළු සිදුවීමකි. එහෙත් මතුපිටින් පෙනෙනවාට වඩා ගැඹුරු සත්‍යයක් එමගින් ගම්‍ය වේ. එවැනි ඉවසීමක් සංයමයක් සහ නිහතමානීකමක් ඇති අයෙකුගේ රාජ්‍ය පාලනයේ හරය වටහා ගැනීම කෙනෙකුට දුෂ්කර නොවේ. ඒ එදා පැවති මහත්මා දේශපාලනයේ ගති සොබාවකි. එකී පාලකයෝ අන්‍යයන්ගේ අයිතිවාසිකමට යුක්තියට ගරු කළහ. තනතුරෙන් සුළු හෝ වාසියක් බලාපොරොත්තු නොවීය.
පිළියන්දල කොළමුන්න වලව්වේ දොන් ගිමෝරිස් ආටිගල මුදලිතුමා රටේ නමගිය ධනවතෙකි. දානපතියෙකි. ලංකාවේ ප්රමුඛ පෙළේ මිනිරන් පතල් හිමියෙකි. ඔහුට දියණියන් තිදෙනෙකි. එක් පුතෙකි. මෙම දියණියන් තිදෙනා පිළිවෙළින් පොලිස් පරීක්ෂක ජෝන් කොතලාවල, කර්නල් ටී. ජී. ජයවර්ධන සහ ඇෆ්. ආර්. සේනානායක යන ප්‍රකට පුද්ගලයන් තිදෙනා සමග විවාහ වූහ.
මුදලිතුමාගේ එකම පුත්‍රයා වූ ප්‍රැන්සිස් ඩික්සන් ආටිගල තරුණයා හදිසියේම ඝාතනයවීම නිසා එතුමා සතු අති විශාල ධනස්කන්ධය බෑනණුවන් තිදෙනා යටතට පත් විය. එයින් බාලම දියණිය වූ ඇලන් ආටිගල මෙෙනවිය විවාහ කරගත් ඇෆ්. ආර්. සේනානායක තරුණයා පසුකාලීනව තම ධනයෙන් වැඩි කොටසක් රටේත් ජනතාවගේත් සුබසිද්ධිය වෙනුවෙන් සහ ජාතික නිදහස් අරගලය වෙනුවෙන් වැය කළේය. 1915 සිංහල - මුස්ලිම් අරගල සිදුවීමේදී බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් විසින් සිදු කරන ලද දරදඬු අත්තනෝමතික අපරාධයන්ට එරෙහිව ගත් සෑම පියවරක් සඳහාම වැය කළේ ඇෆ්. ආර්. සේනානායක මැතිතුමාගේ පෞද්ගලික ධනය බව සඳහන් වේ. විශේෂයෙන්ම මෙම සිද්ධියට අදාළව රාජනීතිඥ ඊ. ඩබ්ලිව්. පෙරේරා වටිනා රහසිගත ලියවිලි රැසක් තම සපත්තු තුළ සඟවාගෙන බ්‍රිතාන්‍යයේ වගකිවයුත්තන් අතට පත්කිරීම සඳහා ඉටු කළ සුවිශේෂී ක්‍රියාදාමය සඳහා ද වැය වූ අතිවිශාල මුදල් සම්භාරයේ බරපැන දැරුවේ ඇෆ්. ආර්ය. එහෙත් නිදහස් සටනේ හෝ ක්‍රියාකාරී දේශපාලනයේ කිසිදු තනතුරක් එතුමෝ බලාපොරොත්තු නොවූහ. යටත් පිරිසෙයින් එවකට ක්‍රියාත්මක වෙමින් පැවති ව්‍යවස්ථාදායක මන්ත්‍රී මණ්ඩලයේ ආසනයක් දිනාගැනීමට හෝ එතුමා උනන්දුවක් දැක්වූයේ නැත. ඔහුගේ අඩිපාරේ පෙරට පැමිණි බාල සොහොයුරු ඩී. ඇස්. සේනානායක එම ක්ෂේත්රයේ දිගු ගමනක් යමින් බලවතෙකු බවට පත් වුවද කිසි විටෙකත් දේශපාලනයෙන් අයුතු ප්‍රයෝජනයක් නොගත්තේය. තමන් සතු පරම්පරික ධනය රටේත් ජනතාවගේත් සුබසෙත වෙනුවෙන් යෙදවූවා විනා ජාතික ධනය හෝ සම්පත් අයුතු අන්දමින් පරිහරණය කිරීමක් කිසිවිටෙක සිදු නොකළේය.
දේශපාලන ඉතිහාසය ගැන විශාරද දැනුමක් ඇති සම්භාවනීය පුද්ගලයෙක් වරක් රසවත් කතාවක් මා සමග කීවේය. ඩී. ඇස්. මැතිතුමා අගමැතිව සිටියදී විදේශගත වන අවස්ථාවක් ඇති විය. ඔහුට සුබ ගමන් පැතීම සඳහා ඇමතිවරු, මන්ත්‍රීවරු මෙන්ම ඥාති මිත්රාදීහු රත්මලාන ගුවන් තොටුපොළට පැමිණෙති. මෙසේ පැමිණෙන අය අතර නොවැරදීම සිටින එක් පුද්ගලයෙකුද වේ. කොළඹ ව්‍යාපාරික කටයුතුවල නියැළී සිටි ඔහු නමින් ඩේවිඩ්ය. ඔහුගෙන් සමුගන්නා විට අගමැතිතුමා “ඩේවිඩ්! මම එනකල් ලංකාව බලා ගනින්” යැයි කියයි. ඩේවිඩ්ට එය ලොකු දෙයකි. ඔහු පසුදින සිටම උදේ අරලියගහ මැදුරේ මිදුලට පැමිණේ. සවස් වනතුරු මිදුලේ සිටගෙන එන යන අය සමග කතා බස් කරමින් සිට දිවා ආහාරයට ගෙදර යයි. අගමැතිතුමා ආපසු එනතුරු ඒ දින කීපයේම ඩේවිඩ් ඒ ආකාරයෙන් ‘ලංකාව බලාගනී’.
මේ කතාව විහිළුවක් විය හැකිය. එහෙත් එම යුගයේ රට පාලනය යනු එතරම්ම සරලය. හොරු නොවූහ. කව්රුත් අවංකය. නායකයෝ මහත්වරු වූහ. එනිසා අරලිය ගහ මැදුරේ මිදුලේ සිටගෙන ඩේවිඩ්ට වුවත් ලංකාව බලාගත හැකිය.
කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සහ බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් සරසවියෙන් ලබන ලද අධ්‍යාපනයෙන් පසු ඩී. ඇස්. සේනානායකයන්ගේ පුත් ඩඩ්ලි සේනානායක බැරිස්ටර්වරයකු ලෙස සමත්ව 1930 දී ලංකාවට පැමිණියේය. ඒ වනවිට තම පියා ශ්‍රී ලංකා දේශපාලන අඹරේ සුදිලෙන තරුව බවට පත්ව සිටියද ඩඩ්ලි එම ක්ෂේත්රය ගැන උනන්දුවක් දැක්වූයේ නැත. සර්වජන ඡන්ද බලය ලැබී 1931දී ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් වෙද්දී එයට ඉදිරිපත් වන ලෙස කොතෙකුත් ඉල්ලීම් සහ බලපෑම් පැවතියද ඔහු ඒ ගැන ආශාවක් දැක්වූයේ නැත. එවකට ක්‍රියාත්මකව පැවති ප්‍රබලම දේශපාලන ව්‍යාපාරය වූ ලංකා ජාතික සංගමයට බැඳී ක්‍රියා කරමින් එහි සම ලේකම්වරයෙකු ලෙස ද පසුව පත් වූවේය.
1936 දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී ඔහුට ඉදිරිපත් නොවී මගහරින්නට කොහෙත්ම බැරිවිය. නොයෙක් අතින් එල්ල වූ බලපෑම් සුළුපටු නොවීය. අවසානයේ දැදිගම මන්ත්‍රීවරයා ලෙස තේරී පත්විය. එවකට මතුවුණ විවිධ දේශපාලන අර්බුදවලදී පියාගේ මතයෙහිම එල්බ සිටීමට ඩඩ්ලි සේනානායක ක්‍රියා කළේ නැත. තමාට හරියැයි සිතෙන ස්වාධීන තීරණ ගැනීමට කිසි විටෙකත් පසුබට නොවීය. ඒවාට විරුද්ධව තමා අනුගමනය කරන්නැයි පියා බල කළේද නැත. ඔවුන්ගේ මහත්මා දේශපාලනය ඒ අයුරින් ක්‍රියාත්මක වූවේය. එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාට අසීමිත බලතල පැවරෙන නියෝගයක් එංගලන්ත මව් රජයෙන් ලැබුණු අවස්ථාවේදී එයට පක්ෂ වීමට මෙරට පැමිණි ප්‍රධාන පෙළ නායකයන්ට සිදුවිය. ඩී. ඇස්. සේනානායකටත් එම පියවර ගැනීමමට සිදුවිය. එහෙත් එවකට දුම්බර මන්ත්‍රීවරයාව සිටි ඒ. රත්නායක එම නියෝග හෙළා දකිමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට යෝජනාවක් ඉදිරිපත් කළේය.
තරුණ දැදිගම මන්ත්‍රීවරයාද
රත්නායකයන්ගේ යෝජනාවට පක්ෂ වූවේය. මෙය පිය–පුතු ආරවුලක් කර ගැනීමටද ඩඩ්ලි කැමති නොවීය. මේ අතරවාරයේ ඩී. ඇස්. සේනානායකට තැපෑලෙන් ලිපියක් ලැබුණි. එය එවා තිබුණේ එකම නිවසේ වෙසෙන සිය පුත්‍රයා වූ ඩඩ්ලි ගෙනි. ඔහු එමගින් පවසා තිබුණේ “පියාට වෙනස් මගක ගමන් කිරීම යෝග්‍ය නොවන නිසා දේශපාලන බිමෙන් ඉවත්වීමට තමාට අවසර දෙන” ලෙසයි. එහෙත් පියා එම කරුණ නිවැරදිව වටහා ගත්තේය. “ඔබේ හෘදය සාක්ෂියට එකඟව කටයුතු කිරීමට මගෙන් බාධාවක් නැත. එසේ කිරීම ගැන මම ආඩම්බර වෙමි. එනිසා ඉවත්වීමක් ගැන සිතීමට අවශ්‍ය නැත. දිගටම කටයුතු කරගෙන යන්න” පියා පිළිතුරු යැවීය. එසේ අන්‍යොන්‍ය අවබෝධයෙන් යුතුව හිතට එකඟව තම ජාතික වගකීම ඉටු කළහ.
1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වීමෙන් පසු ඩී. ඇස්. සේනානායක නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් වූවේය. රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ වසර දහසයක් මුළුල්ලේ තමා දැරූ කෘෂිකර්ම ඇමැති ධුරය මෙවර භාර දුන්නේ ඩඩ්ලි සේනානායකටය. තමා ආරම්භ කර සාර්ථකව ඉදිරියට ගෙනා ගොවි ජනපද ව්‍යාපාරය නිසි පරිදි මෙහෙයවීම එහි අරමුණ වූවේය. ගතවූයේ කෙටි කාලයකි. 1952 මාර්තු 22 වැනිදා අගමැතිතුමා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූවේය. අගමැති ධුරයේ පුරප්පාඩුවට රජයේ වැඩි දෙනාගේ කැමැත්තෙන් පත්කර ගනු ලැබුවේ ඩඩ්ලි සේනානායකය. ඔහුට මන්ත්‍රී ධුරයේ වසර පහළොවක්ද සිව් වසරක් ප්‍රබල අමාත්‍ය ධුරයක් සාර්ථකව මෙහෙයවා තිබුණි. එහෙත් රජයේ තවත් ප්‍රබලයකු වූ සර් ජෝන් කොතලාවලගේ හැඟීම වූයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව අගමැති ධුරයට සුදුස්සා තමා බවය. එවැනි විරෝධතාවක් මැද අගමැති ධුරය හෙබවීම ඩඩ්ලි සේනානායකට රුචි නොවීය. ඔහු වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.
06 වැනි පිටුවට...
05 වැනි පිටුවෙන්...
පියා ලැබුවාටත් වඩා විශාල ජනවරමක් ලබමින් නැවතත් බලයට පැමිණියේය. ඔහු අගමැති විය. මෙවැනි මහත්මා ගුණයක් ප්‍රකට කළ දේශපාලනඥයෝ ඉතිහාසයේ විරලයහ.
1953 වනවිට නැවතත් අර්බුදයක් පැන නැගුණි. ලෝක වෙළෙඳපොළේ සහල් මිල ඉහළ යාම නිසා ලංකාවේද සහල් මිල වැඩි කිරීමට රජයට සිදුවිය. තවත් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කීපයක මිල ඉහළ ගියේය. මෙය මහජනයාට පීඩාවක් ලෙස පෙනී ගියේය. මේ තත්ත්වය හමුවේ වාමාංශික දේශපාලන පක්ෂවල මෙහෙයවීමෙන් මෙම සිදුවීමට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ විය. එය හඳුන්වන ලද්දේ 1953 මහා හර්තාලය නමිනි. මෙම අරගලයේදී රටේ නීතිය හා සාමය පිහිටුවීම පිණිස ආරක්ෂක අංශවලට බලය පවරන ලදී. යම් යම් ස්ථානවල ඇතිවූ සිදුවීම්වලින් නවදෙනෙක් පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූහ.
මෙම මරණවලට අගමැතිවරයාගේ සෘජු සම්බන්ධයක් නොවුණද එම සිදුවීමේ පූර්ණ වගකීම තමා වෙත පවරා ගනිමින් ඩඩ්ලි සේනානායක අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය. ප්රජාතන්ත්රවාදී දේශපාලන සංකල්පයේ අගනා ආදර්ශයක් සැපයූ එම ක්‍රියාව වර්තමාන දේශපාලන සමාජයෙන් කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකි පරමාදර්ශී සිදුවීමක් ලෙස සටහන් කළ හැක.
අප එසේ කියනුයේ පසුකාලීනව මිනිසුන් අනූ දහසක් ඝාතනය වුවත් මෙවැනි පියවරක් ගැනීමට අවශ්‍යතාවක් ඒ පිළිබඳ වගකීම් දැරූ නායකයන් අපොහොසත් වූ බව සැලකිල්ලට ගනිමිනි.
අල්ලස දූෂණය වංචාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ නායකයකු වූ ඩඩ්ලි සේනානායක මැතිතුමා කිසි විටෙකත් එවැනි දෙයට වචනයකින්වත් අනුබල නොදුන්නේය. 1960 දෙසැම්බරයේදී නිකුත් වූ වෝල්ටර් තල්ගොඩපිටිය අල්ලස් කොමිසමේ වාර්තාව අනුව පස්දෙනකු වැරදිකරුවන් කර තිබුණු අතර දෙදෙනක් එම පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු වූහ.
එම මන්ත්‍රීවරුන් දෙදෙනා ඉල්ලා අස්වීමෙන් පමණක් සිද්ධිය යටපත් වීමක් සිදුවන බව එදා විපක්ෂ නායකවරයා වශයෙන් කටයුතු කළ ඩඩ්ලි සේනානායකට පෙනී ගියේය. අල්ලස් වැරදිවලට අසු වූවන්ගේ ප්‍රජා අයිතිය අහිමි විය යුතු බවට පනතක් ගෙන එමින් ඔහු එයට ප්‍රතිචාර දැක්වීය. දේශපාලන ක්ෂේත්රය නිරන්තරයෙන්ම පරිශුද්ධ ස්ථානයක් විය යුතු බවත් සොරුන් පගා මරුවන් එයින් දුරින් දුරු කළ යුතු බවත් ඔහු නිර්භවය ප්‍රකාශ කළේය. විරුද්ධ පක්ෂයෙන් පාර්ලිමේන්තුව හමුවට පනතක් ගෙනවුත් සම්මත වූ විරල අවස්ථාවක් ලෙස ඉතිහාසයට එක්වූවේය.
1965 දී පක්ෂ හතකින් සමන්විත සභාග රජයක් පිහිටුවා පූර්ණ පාර්ලිමේන්තු කාල සීමාවම එම ආණ්ඩුව පවත්වාගෙන යාමට එම පක්ෂ හත අතර සමගිය පවත්වාගෙන යාමේ එකම පොදු සාධකය වූවේ ඩඩ්ලි සේනානායකගේ අවංක බව සහ ජනප්‍රිය භාවයයි. එය එසේ නොවන්නට එම රජය මාසයක්වත් පවත්වාගෙන යාම අසීරුවනු නිසැකය. ප්‍රතිපත්තිමය වශයෙන් ඔවුන් එපමණටම පරස්පර විරෝධී මත දැරූ බැවිනි.
කෙසේ වුවද එම පස් අවුරුද්ද අවසානයේ පැවති මැතිවරණයෙන් ඩඩ්ලි සේනානායක රජය පරාජයට පත්විය. එම අවස්ථාවේදී මහත්මා ලීලාවෙන් පරාජය පිළිගත් ඩඩ්ලි තමාගේ නායකත්වය ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි ප්‍රකාශ කරමින් විපක්ෂයේ නායක පදවිය භාර නොගෙන එය පක්ෂයේ නියෝජ්‍ය නායක ජේ. ආර්. ජයවර්ධනට පිරිනැමුවේය. පදවි ලෝභය හෝ බල තණ්හාව කිසි විටෙකත් එතුමා තුළ නොවීය.
දැදිගම මන්ත්‍රීධුරය පමණක් දරමින් සිටියදී 1973 අප්‍රේල් 13 වැනිදා හදිසියේ අභාවප්‍රාප්ත වූවේ පක්ෂ විපක්ෂ සියලු දෙනාම සෝ සයුරේ ගිල්වමිනි. එතුමාට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ජනකාය එතෙක් මෙතෙක් අවමඟුලකට සහභාගි වූ විශාලම ජනරාශිය විය. මෙහි වූ තවත් වටිනාම ප්‍රවෘත්තියක් වූවේ සිව් වරක් මේ රටේ රාජ්‍ය නායකයා බවට පත්වූ විශාල පාරම්පරික ධනයකටද උරුමකම් කියූ මෙම කීර්තිමත් නායකයාගේ අභාවය සිදුවන විට ඔහුගේ බැංකු ගිණුමේ ශේෂය වූවේ රුපියල් හාරසිය ගණනක් බවය. අවසන් වශයෙන් මෙවැනි අවංක දේශපාලකයන් වර්තමානය වනවිට අතිශය විරලවීම ජාතියේම ඛේදවාචකයක් බව නම් සඳහන් කළ යුතුමය.
සෝමසිරි වික්‍රමසිංහ