සමාජ මාධ්‍ය සහ තාරුණ්‍ය


නැතිව උත්තර කුමට පැලැස්තර 

වහල් මානසිකත්වයෙන් මිදෙමු 

නිදහස ලබා අවුරුදු 75ක් ගතව ගොස් හමාරය. එහෙත් අප රට පාලනය කළා වූ කිසිදු නායකයකුට, පක්ෂයකට මෙය හරි හමන් දිශානතියකට හරවන්නට දූරදර්ශී බුද්ධියක් පහළ වී නොමැත. බොහෝ දේශපාලන නායකයින් මෙය පාලනය කළේ තම තමන්ට දෙමාපියන්ගෙන් ලැබුණා වූ බූදලයක් ලෙසය. දසක, 4, 5 පළපුරුද්දෙන් කෙළ පැමිණියේ වුවද රට අඳුරෙන් අඳුරටම මිස යන්තමින් හෝ සිත් සනසා ගන්නට තරම් දෙයක් ඉටුවී නොමැත්තේමය. කෙසේ වෙතත් අප යන මාවත වැරදි බව බහුතර ජනතාවක් තේරුම් ගෙන හමාරය. එහෙත් අවාසනාවක මහත තවමත් ඒ යථාර්ථය තේරුම් ගන්නට තරම් බුද්ධියක් නොමැත්තා වූ ඔලමොට්ටලයින් පිරිසක් අප අතර සිටිති. එදා මෙන්ම අදත්      අද මෙන් හෙටත් එම බඩගෝස්තරවාදීන් ආපසු හරවන එකනම් ලේසිපාසු කටයුත්තක් වනු නොහැකිය. ඔවුනට බ්‍රේන් වොෂ් එකක් කළ යුතුමය.   


අවුරුදු 75ක නිදහස සැමරූ මොහොතක අපේ රටේ ආර්ථික තත්ත්වය ඉතා බැරෑරුම් කඩාවැටීමකට ආසන්න තැනකට පත්ව ඇත. එය වහාම නිවැරදි කළ යුතුව ඇත. පමා වන සෑම තත්පරයකින්ම වන්දි ගෙවන්නට සිදු වනවා මිස දෙවියන්ගේ බැල්ම වැටී නිවැරදි වන්නේ නොමැත. එය නිවැරදි කරන්නට හැකි වන්නේ දේශපාලන අධිකාරියට නොවනවගත් ඉර හඳ මෙන් විශ්වාසය. එසේ හෙයින් ඔවුන් කෙරේ තවතවත් බලාපොරොත්තු තබා ගැනීම රෑ වැටුණු වළේ දවල් වැටීමකි. මේ රට ගොඩනැගිය හැක්කේ එළකිරි මෙන් සුපිරිසිදු විද්වත් මණ්ඩලයක් පාර්ලිමේන්තුවට ඉහළින් ස්ථාපිත කර ගතහොත්ම පමණි යන්නයි මගේ අදහස. එය ආන්දෝලනාත්මක වන්නට පිළිවන. ප්‍රඥාගෝචර ද නොවන්නට හැකිය. එසේ නම් කුමන හෝ විකල්පයක් තිබිය යුතුය. පළාත් පාලන මැතිවරණයක් කරළියට පැමිණ ඇත්තේ මෙවන් වූ මොහොතකය. දිනකට තුන්වේලෙන් එක් වේලක් මොනවා හෝ ගිලදමා දවස ගත කරන දුගී දුප්පත් ජනතාව මිලියන ගණනකි. දින තුනකට එක වේලක් මොනවා ​හෝ ලෙවකා පණ කෙන්ද රැක ගන්නා ජනතාව ද දස දහස් ගණනකි. දරුවන්ගෙන් භාගෙන් භාගයකට මන්ද පෝෂණය සෑදී ඇත. විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප, පිං පඩිය ගෙවා ගන්නට අපහසු වී ඇත. මෙවන් වූ දහසකුත් එකක් හැලහැප්පිලි මතින් ආර්ථිකය බිංදුවටම වැටී ඇති ​ මොහොතක මැතිවරණය සඳහා  සත දහයක් හෝ වියදම් කිරීම සාධාරණ වන්නේ නොවේ. මැතිවරණයක් කල් දැමීම හෝ එය නොපවත්වා සිටීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි. එය සැබෑවකි. එහෙත් කුමන බාධක පැමිණියද අපේ රට අද පවත්ව ඇති ආර්ථික කඩා වැටීමට මෙම පළාත් පාලන ක්‍රමයද, මැතිවරණ ක්‍රමය ද බොහෝ සෙයින් යටිතල පහසුකම් සපයා ඇත.   


රටට හෙණයක් වුවද, ඒ ඒ දේශපාලන පක්ෂවලට මෙම ක්‍රමය බොහෝ වටිනාකමින් යුක්ත විය. ඒ ඔවුන්ගේ බිම් මට්ටමේ ප්‍රචාරක කටයුතුවල සිට පසු පෙළ නිර්මාණය කර ගැනීමේ ක්‍රියාදාමයන්ට බොහෝ පහසු විය. එමෙන්ම මනාප ඡන්ද ක්‍රමය ද අප වරද්දා ගත් සංධිස්ථානයකි. මනාප ක්‍රමය ද විදේශවල මේ මොහොත වනවිටත් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වුවද අප එය අනාගෙන ඇත. මා දන්නා තරමින් විදේශවල එකම පක්ෂයෙන් අපේක්ෂකයින් කීප දෙනකු මැතිවරණයට ඉදිරිපත් කළ විට ඉන් නියම සුදුස්සා තෝරා ගැනීමයි එහිදී සිදු කරනු ලැබූයේ. එවන් වූ පිළිකාවක් තවදුරටත් පවත්වා ගෙන යාමද එසේ නොමැතිව එය ද මේ අවස්ථාවේම ඉවත් කිරීම ද වඩා වැදගත් වන්නේය.   
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, විවෘත ආර්ථිකයට දොරගුළු විවර කිරීම ද, රාජය ආයතන පුද්ගලීකරණය කිරීම ද මේ රටේ ආර්ථික පරිහානියට හේතු පාදක වූ දේවල්ය.   
අවුරුදු 75ක නිදහස සමරන්නට පෙර මෙම අභියෝගයන් ජයගෙන සියලු ප්‍රශ්න පත්‍රයටම පිළිතුරු ලබාදීම නොවන්නේ ද? මේ රට යථාතත්වයට පත් කිරීමට කළ යුත්තේ. එහෙත් මේ සම්බන්ධව දැනුම් තේරුම් ඇති අය වැල යන පැත්තට මැස්ස ගැහීම එදා මෙන්ම අද ද සාධාරණ නොවේ. මැතිවරණයක් අවශ්‍ය යැයි ගෝරනාඩු කරන කිසිවකු මේ ගැන නිසි විසඳුම් සොයනවා වෙනුවට තම දේශපාලනය ශක්තිමත් කරගනු වස් සියලු බලපරාක්‍රමය භාවිතා කිරීම කනගාටුදායකය. එසේ නම් අවුරුදු 75ක් නොව තවත් අවුරුදු 100ක් ගියද රට ආගාධයෙන් ආගාධයට, අඳුරෙන් අඳුරටම මිස මේ සියලු විසඳුම් පැලැස්තර විසඳුම්ය.   


පියසිරි අජිත් ලියනගේ දික්වැල්ල.

 

සමාජ මාධ්‍ය යනු නවීන තාක්ෂණික දියුණුවත් සමඟ ලෝකයට හඳුන්වා දුන් තවත් එක් මාධ්‍ය, සම්ප්‍රදායකි. ලෝකයේ සියලු ප්‍රජාවන් එකට එකතුවී තම තමන්ගේ අදහස් චින්තන, මත, තොරතුරු, රුචිකත්වයන්, වෙනස් ප්‍රකාශන, නිර්මාණ එකිනෙකා අතර හුවමාරුවට පහසුකම් සැපයිමේ අන්තර් ක්‍රියාකාරීත්වයකින් යුතු දියණු එමෙන්ම විවෘත මාධ්‍යයකි.   

එම ක්‍රමය ලෝකයට හඳුන්වා දුන් බුද්ධිමතුන් යහපත් චේතනාවෙන් එම මාධ්‍ය ලෝකයට හඳුන්වා දුන්නත් මෙරට දී එම වැදගත් සොයා ගැනීම වඳුරාට දැලි පිහිය දුන්නා වැනිය. එනිසාම සමාජ මාධ්‍ය මෙරට භාවිතයේ දී නගරයේ පොදු වැසිකිළියේ බිත්තියට සමාන කරන්නට සමහරු පෙලඹී ඇත. එම බිත්තියේ ද නැති දෙයක් නැත. ලැජ්ජාව, හිරිකිතය නැතිවුන් එහි ඕනෑම දෙයක් ලියති. මානසික රෝගීන්ට තම උන්මත්තක භාවය සන්සිඳවා ගන්නට එය තෝතැන්නකි. 


මෙරට දේශපාලන කල්ලි එකිනෙකාට සිත්සේ මඩ ගසා ගැනීමට සමාජ මාධ්‍ය මඩ ගොහොරුවක් කරගෙන ඇත. කාන්තාවන් පිරිමින් බේදයකින් තෙරව තමන්ගේ විකෘති මානසික ආශාවන් එ් හරහා ලෝකයට පෙන්වයි. 


බල්ලන් මරා හෝ සල්ලි සොයන්නට හදන පිරිසට මෙය කොටුවේ පදික වේදිකාව වැනිය. එහිදී ඕනෑම මළ ජරාවක් විකිණීමට ඇති සේ ප්‍රසිද්ධියේ අලෙවියට    තහනම් ඕනෑම දෙයක් මෙහි ද අ​ෙලවි කෙරේ. ප්‍රසිද්ධියේ අ​ෙලවි කළ නොහැකි දේ අ​ෙලවියට එම මාධ්‍ය තුළ ගෙන යන ප්‍රචාරණය ද අන්ත නොසන්ඩාල හිරිකිත ඒවාය. 


මිනි මැරීමට කොන්ත්‍රාත් දීම සඳහා මිල ගණන් කැඳවීමට ඉදිරියේ දී මෙකී මාධ්‍ය යොදා ගතහොත් ඊට ද පුදුම විය යුතු නැත. 


ගස් දෙකක් එකට ඇතිල්ලීමෙන් හෝ අකුණු සැරයකින් ඇතිවූ ගින්නකින් මහා වනාන්තර දැවි විනාශ වී යන විට එය දුටු ආදී මානවයා සිතුවේ එය දෙවියන්ගේ හෝ මළගිය වුන්නේ හෝ අන්භූත බලවේගයක ක්‍රියාවක් ලෙසටය. දිනක් එක් මානවයකු ගල් දෙකක් එකට අතුල්ලමින් සිටින විට ගිනි පුපුරු මතුවීමත් සමග ගින්දර යනු තමන්ට ද සැකසිය හැකි දෙයක් බව මානවයා දැන ගත්හ. එසේ ගින්දර සැකසු විකෘති මානසිකත්වයක් ඇති මානවයන් එය නරකට යොදා ගත් අතර හොඳ මානසිකත්වයක් ඇත්තෝ එයින් හොඳ ප්‍රතිඵල ලැබූහ. 


ජයන්ත ඒකනායක යක්විල. 

සොබා දහමේ අපූර්ව නිර්මාණයක් වන මිනිසාගේ ජීවන රටාව දෙස ඉතිහාසයේ සිට බලන විට පෙනී යන ප්‍රබලම කරුණක් වන්නේ ඔවුන් ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩත්වයට ඇල්මක් දක්වන බවයි. මේ නිසාම මානව සිත තුළ නිරන්තරයෙන් වෛරීය ප්‍රකාශ, භාව ප්‍රකෝප වන සිදුවීම් පිළිබඳ කැමැත්තක් නිරායාසයෙන්ම ඇති වේ. 


විශේෂයෙන් නුතන ප්‍රේම කතා ද සුහුරු දුරකථනයක සිර වුණු ස්වභාවයක් දක්නට ලැබේ. එබැවින් මානව හැඟිම් අද වන විට යාන්ත්‍රික වී හමාරයි. එබැවින් වත්මනය තුළ මේ කියන්නා වූ දියුණු සන්නිවේදන මාධ්‍යයන් නිසා පුද්ගල සබඳතා ඇති වන්නේ හතු පිපෙන්නාක් මෙනි කෙසේ නමුත් යාන්ත්‍රික මානසිකත්වයන්ගෙන් පෙළෙන බොහෝ දෙනාට ජීවිතය සම්බන්ධ තීරණාත්මක ගැටලු වලදී ද නිසි පිළිතුරක් සොයා ගැනීමට නොහැකිව ජීවිතයෙන් ද සමුගත් පුවත් ඕනෑතරම් ඇත.


කෙසේ නමුත් නූතන තාරුණ්‍යය සෑම අතින්ම දක්ෂයෝ වෙති. රටක කොඳු නාරටියවන් තරුණ ප්‍රජාවේ අනාගතය අඳුරු නොවී සොඳුරු කරන්නට නම් ඔවුන් තුළ ආකල්පමය වෙනසක් මෙන්ම මාධ්‍ය සාක්ෂරතාවය ද නංවාලීම සිදු කිරීම යහපත් වේ. එසේම ඔවුන්ට සුදුසු රැකියා අවස්ථා ද ස්ථාපිත වීමත් සිදු විය යුතු දෙයක් වේ. එවිට විවිධ අයගේ න්‍යාය පත්‍රයන්ට හසු නොවී ස්වාධීන තාරුණ්‍යයක් රට තුළ නිර්මාණය වේ. 


එබැවින් තවදුරටත් මාධ්‍යයේ වහලෙකු නොවී ප්‍රචණ්ඩත්වය ඇවිළෙන විට එය නිවන්නට හැකි තරුණ්‍ ප්‍රජාවක් බිහි කර හැකි එකම මග වන්නේ මාධ්‍ය සාක්ෂරතා දැනුම ඔවුන් තුළ වර්ධනය කිරීමේ ක්‍රම උපාය යෙදීම බව පැහැදිලිවම පෙනෙන කරුණකි. 


සමෝද්‍යා නිපුනි වත්තේගම.