සමාජ ජාලා ගිණුම නිසි ලෙස වසා නොදැම්මොත් මොකද වෙන්නේ?


ක්‍ෂණිකව තොරතුරු ලබාගත හැකි සහ තොරතුරු ලබා දිය හැකි මාධ්‍යයක් ලෙස අන්තර්ජාල සේවාව ප්‍රචලිතය. අධ්‍යාපනික, වෘත්තීයමය සේවා සඳහා අත්‍යවශ්‍ය වන එය, පෞද්ගලික තොරතුරු හුවමාරුවට ද නැතුවම බැරි මාධ්‍යයක් වී ඇත. 

ඒ, විද්‍යුත් ලිපින, සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ සංවේදී හා රාජකාරිමය සබඳතා බොහෝමයක් ගොඩනගා ගෙන ඇති බැවිනි. 

 
කාලවේලාවක් නොමැතිව, අදාළ ස්ථානයක් නොමැතිව සමාජ මාධ්‍ය භාවිත කරන බොහෝ දෙනා අතින් රහසිගතව සිය පෞද්ගලික දත්තයන් වෙනකෙකු අතට පත්වීම සිදුවන්නේය. එවැනි වාතාවරණවලදී මූල්‍යමය වංචා, මඩගැසීම් හා චරිත ඝාතන වැනි සිදුවීම්වලට මුහුණ දීමට ද සිදුවන්නේය. විශේෂයෙන්ම, සිය කාර්යාලයීය පොදු පරිගණක පරිශීලනය කරන බොහෝ දෙනා එම පරිගණක හරහා තම පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලට පිවිසිය ද, කාර්යාලයෙන් නික්ම යන විට ඉන් සමුගෙන ගිණුම වසා දැමීම (Logout) සිදු නොකරන්නේය.   


ඉන් සිය ගිණුමට වෙනත් අයකුට යා හැකි බව නොසිතන්නේය. මෙවර ලිපියෙන් අනාවරණය කරනුයේ ද එසේ අක්‍රමවත් ලෙස සමාජ මාධ්‍ය ගිණුම් භාවිත කළ පරිගණක පරිශීලිකාවක් මුහුණ දුන් ගැටලුකාරී තත්ත්වයක් පිළිබඳවය.   


උදේ සිට දිවා විවේකය පැමිණෙන තුරුම රාජකාරියේ නිරත වූ තරුෂි සිය අසුනෙන් නැගී සිටියේ, සිය යෙහෙළියගේ ආමන්ත්‍රණයෙන් පසුය.
“කෙල්ලේ, පුළුවන් නම් විතරක් එදා ඩිලාගේ වෙඩින් එක දවසේ ගත්තු ෆොටෝ ටික මගේ ෆේස්බුක් එකට එවපන්.”  
සිය අසුනේ වාඩි වූ ඇය, සිය මුහුණුපොතට පිවිසියාය. තිහාරිගේ පින්තූර ඇගේ මුහුණුපොතට යැවූ අතර, ටික වේලාවක් ඇයත් සමග සංවාදයේ ද යෙදුණාය.  
“තරුෂි මිස්ට බොස් කතා කරනවා.”  


ඒ, කාර්යාලයේ අත්උදව්කරුගේ හඬය. සිය මුහුණුපොත පරිගණක තිරයේ හකුළුවා දැමූ (Minimize) ඇය, සිය අංශ ප්‍රධානියා හමුවට ගියාය. ඔහු තරුෂිට තවත් ලිපි ගොනුවක් දුන්නේය.


හවස් වන තුරුම කාර්යාලයීය කටයුතු සිදු  කර අල්ලා ගැනීමට බැරි වේ දෝ යි සිතමින් කාර්යාලයෙන් නික්මුණු ඇයට, සිය පරිගණකය නිවා දැමීමට අමතක විය.
අලුත් දිනයක් උදා වූවේය. තරුෂි ද වෙනදා මෙන් කාර්යාලයට පැමිණියාය. එහෙත්, කුමක් දෝ වෙනසක් වී ඇතැයි ඇයට දැනුණි. කාර්යාලයේ බොහෝ දෙනා තරුෂි දෙස අමුතු සතෙකු දෙස බලන්නාක් මෙන් ප්‍රතිචාර දැක්වූහ. සමහරු තරුෂි දැක්කත් නොදැක්කා වගේ මගහැර ගියහ. මේ වෙනස කුමක්දැයි තරුෂි අන්දමන්ද වූවාය. 
“තිහාරි...” තරුෂි තිහාරිගේ මේසය ඉදිරිපස පුටුවේ වාඩි වූවාය.  
“ආ තරූ, ඔයා ආවා ද? මම ඒ පැත්තට එන්න හිටියේ. දැන් කමක් නෑ. අපි පොඩ්ඩක් එළියට යමු ද?”  
තිහාරි තරුෂිත් කැටිව එළියට ගියාය.  


“තරූ, උඹ ඊයේ රෑ ෆේස්බුක් ගියා ද?” තිහාරි ඇසුවාය.  
“නෑ බං. මම ඊයේ ගෙදර ගියෙත් රෑ වෙලා. හොඳටම මහන්සියි. නාලා, කාලා, නිදාගත්තා.”  
“හ්ම්... ඒත් උඹ ඊයේ රෑ 12.00ටත් ඔන්ලයින් හිටියා.”  
“ඒක වෙන්න බෑ තිහාරි. ඒ වෙලාවේ මම හොඳටම නිදි.”  
“වෙන්න ඇති. ඒත් උඹේ එකවුන්ට් එකේ හිටපු කෙනා නරක විදිහට බැනලා මැසේජ් කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි නරක පින්තූර වගයකුත් යවලා තිබුණා.”  
තරුෂිගේ දෑස් නිලංකාර විය.  


“එහෙනම් ඒකයි හැමෝම මම දිහා අමුතු විදිහට බැලුවේ. මාත් එක්ක කතා නොකර අහක බලාගෙන ගියේ.”
තරුෂිගේ දෑස් කඳුළින් තෙත් විණ.  
“අඬන්න එපා තරූ. අපි බලමු මොනවා ද කරන්න පුළුවන් කියලා.”  
තිහාරි තරුෂිගේ හිත හැදුවාය. දෙදෙනාම එක්වී තරුෂිගේ පරිගණකය පරීක්‍ෂා කළෝය. එහිදී දුටුවේ තරුෂිගේ මුහුණුපොත හා විද්‍යුත් ලිපිනය සක්‍රියව පවතින ආකාරයයි.  
“මට ඊයේ Logout වෙන්න බැරි වුණා. එහෙමම තියලා ගිහින් තියෙන්නේ.” තරුෂි පැවැසුවාය.  


“එහෙනම් කවුද මගෙ කම්පියුටර් එක පාවිච්චි කළේ? කවුද මගේ ගිණුම පාවිච්චි කරලා මේ කැත වැඩේ කළේ.”  


“ඊයේ කිහිප දෙනෙක්ම නයිට් වැඩ කළා.”  


තරුෂි කල්පනා කළාය. අවසානයේ ආයතන ප්‍රධානියාට ද මේ පිළිබඳ පැමිණිලි කිරීමට සිදු වූ අතර, සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂා කර, මෙය සිදු කළ පුද්ගලයා සොයා බැලීමට ද සිදු විණ.  


මේ සියලු දේ අවසන් වී වැරැදිකරුවා හසු වීමටත්, සිදු වූ දේ නිවැරැදි කරගැනීමටත් ටික වේලාවක් ගත විය. එහෙත්, මෙවැනි අකරතැබ්බකට තරුෂිට මුහුණ දීමට සිදු වූයේ ඇය ඇගේ අන්තර්ජාල ගිණුම්වලින් ඉවත් නොවී සිටීම නිසාවෙනි. මේ ආකාරයට ආයතනයේ තිබෙන පොදු පරිගණක ඔස්සේ සිය සමාජ මාධ්‍ය ගිණුම් භාවිත කරන ඔබ ද ඔබේ පෞද්ගලිකත්වය ආරක්‍ෂා කරගැනීම සඳහා සැලකිලිමත් විය යුතුය. මේ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු ගෙන ඒමට ශ්‍රී ලංකා හදිසි පරිගණක සංසදයේ ප්‍රධාන ආරක්‍ෂක ඉංජිනේරු රෝෂාන් චන්ද්‍රගුප්ත මහතා සම්බන්ධ කරගත්තෙමු.  පොදු ස්ථානවල පරිගණක භාවිත කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු  


ඔබ භාවිත කරන ඔබගේ පෞද්ගලික පරිගණකය (Laptop), ටැබ්ලටය හෝ ජංගම දුරකතනය ක්‍රියා විරහිත හෝ භාවිතයට ගත නොහැකි තත්ත්වයක පවතින අවස්ථාවක ඔබට පොදු ස්ථානයක පරිගණකයක් හෝ වෙනයම් උපාංගයක් භාවිත කිරීමට සිදු වේ. නිදසුන් ලෙස, අන්තර්ජාල කැෆේ (Internet Cafe), ගුවන්තොටුපොළ, විශ්වවිද්‍යාලවල පවතින පරිගණක විද්‍යාගාර, කාර්යාලයීය පරිගණක වැනි පොදු ස්ථාන ඒ අතර වේ. එවැනි ස්ථානවල ඔබ පරිගණක භාවිත කිරීමේදී පහත කරුණු පිළිබඳව ඔබගේ අවධානය යොමු කිරීම අතිශයින්ම වැදගත් වේ.  


පොදු ස්ථානයක ඇති පරිගණකයක් භාවිතයෙන් ඔබ ඔබගේ සමාජ මාධ්‍ය ගිණුමකට (Social Media Account) හෝ විද්‍යුත් ලිපින ගිණුමකට (Email) ඇතුළු වීමේදී වෙබ් Browser හි Save Password යනුවෙන් දිස්වන තීරුවේ “Don't Save” ලෙස සටහන් කිරීමට වගබලා ගන්න. මන්දයත්, ඔබ Save Password ලෙස සටහන් කළහොත්, ඔබගේ මුරපදය එම වෙබ් Browser හි තැන්පත් වන අතර, එම පරිගණකය භාවිත කරන වෙන යම් පුද්ගලයකුට වුව ද එම මුරපදය භාවිත කරමින් ඔබගේ ගිණුමට අනවසරයෙන් ඇතුළු විය හැකිය. පොදු ස්ථානයක ඇති පරිගණකයක් භාවිතයෙන් ඔබ ඔබගේ සමාජ මාධ්‍ය ගිණුමකට ඇතුළු වුවහොත්, සැමවිට ඉන් Logout වීමට වගබලා ගන්න.  


එමෙන්ම, සැම විටම ද්වී සාධක සත්‍යාපනය (Two Factor Authentication) සක්‍රිය කිරීම වඩාත් සුදුසුය. මෙය සක්‍රිය කිරීමේදී ඔබ සන්තකයේ පවතින ජංගම දුරකතන අංකයක් මේ සඳහා භාවිත කරන්න.  


ශක්තිමත් මුරපදයක් භාවිත කිරීමට පුරුදු වන්න. නිදසුනක් ලෙස, ඔබ මුරපදය ලෙස saman123 භාවිත කිරීම නුසුදුසුය. මන්ද, එය වෙන යම් පුද්ගලයකු හට පහසුවෙන් අනුමාන කළ හැකිය. එම මුරපදයම 5@m@n123 ලෙස භාවිත කිරීම මගින් එම මුරපදයේ ශක්තිමත් බව වැඩි වන අතර, එය වෙන යම් පුද්ගලයකු හට අනුමාන කිරීමට අපහසු වේ.  
එමෙන්ම, පොදු ස්ථානයක ඇති පරිගණකයක් භාවිතයෙන් ඔබ විද්‍යුත් මුදල් ගනුදෙනු (Online Transaction) සිදු කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්න. එවැනි අවස්ථාවක ඔබගේ Credit or Debit Card details Web Browser හි තැන්පත් වීමට ඉඩ පවතින හෙයින්, එම දත්ත මකා දැමීමට (Clear History) සැලකිලිමත් වන්න. වෙබ් Browser හි පවතින New Private Window හෝ New Incognito Window භාවිත කිරීම මගින් එම තොරතුරු Web Browser හි සටහන් නොවේ.  


එමෙන්ම, ඔබ විද්‍යුත් මුදල් ගනුදෙනු (Online Transaction) සිදු කිරීමේදී ඇතැම් වෙබ් අඩවි On Screen Keyboard (පරිගණක තිරයේ යතුරුපුවරුව දිස් වේ) විශේෂාංගය අන්තර්ගත කර ඇති අතර, එය භාවිත කිරීම වඩා ආරක්‍ෂිතය. මන්ද, පොදු ස්ථානවල පවතින පරිගණකවලට ඇතැම් විට Key Loggers ස්ථාපනය කර තිබීමට පුළුවනි.

 

 

සටහන : 
කුමාරි හේරත්