වෙසක් දන්සැලේ ඉතිහාසය සොයා


 

බෞද්ධ සැදැහැවතුන්ට සිත් සේ හැසිරිය හැකි ආකාරයට යෙදුණු මෙවර වෙසක් පුන් පොහෝ දිනයේ ලියාපදිංචි දන්සැල් පමණක් 7000 කට ආසන්න ප්‍රමාණයක් සහ සමස්ත දන්සල් 15,000 කට ආසන්න ප්‍රමාණයක් මෙරට ක්‍රියාත්මක වූ බව සංඛ්‍යා ලේඛන වලින් කියවුණි. මෙරට පැවති සමාජීය, ආර්ථික, වසංගත, තත්වයන් හේතුවෙන් දන්සැල් පැවැත්වීමට නොහැකි තත්වයක් පසුගිය වසර කිහිපයේ උද්ගතව තිබුණත් මෙම දන්සල් සංස්කෘතිය ආරම්භ වූයේ කෙසේද? යන්න සොයා බැලීම වැදගත් යැයි සිතුන හෙයින් එහි අතීතය හාරා ඇවිස්සීමට ඉරිදා ලංකාදීපය මෙම සටහන තබන්නේ මෑත ඉතිහාසයේ එහි ලිඛිත සාක්ෂි පදනම් කරගෙනය.


මෙරට ජනතාව භීතියට පත් කළ පාස්කු බෝම්බවැල හේතුවෙන් ආරක්ෂක හේතූන් මත වෙසක් උත්සවය සැමරීමට මෙරට බෞද්ධ ජනතාවට බාධක පැමිණීම හේතුවෙන් වෙසක් උත්සවය සැමරීමට නොහැකි පරිසරයක සිටියදී මුළු ලොවටම බලපෑ මහා ඛේදවාචකයක් වූ කොරෝනා වසංගතය හේතුවෙන් හා ඉන් පසුව උද්ගත ගත වූ ආර්ථික අර්බුද හේතුවෙන් වෙසක් උත්සවය පමණක් නොව වෙනත් සියලු‍ ආගමික සංස්කෘතික උත්සව ජනතාවට සැමරිය නොහැකි අවස්ථාවක සිටියේ දී මේ වසරේ එය අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට යෙදුණි.


වෙසක් උත්සවයට සමගාමීව අතීතයේ සිටි රජවරුන්ගේ නියමයන් පරිදි ජනතාව එම උත්තරීතර මහා මංගල්‍යය සැමරූ බව සටහන් වුවත් මෙරට දන්සල් ඉතිහාසයේ ආරම්භය නම් සටහන් වන්නේ වර්ෂ 1900 මුල් ආරම්භයත් සමඟයි.


එම දන්සල් ආරම්භයේ ඉතිහාසය සනිටුවන් වන්නේ පානදුරේ සිටි සිටුවරයකු බඳු ධනපතියෙකු වූ ජෙරමියෙස් දියෙස්නම් අතීතයේ සිටි කෝටිපති ව්‍යාපාරිකයකු හට රත්මලානෙ පරම ධම්මචේතිය පිරුවෙන් විහාරස්ථානයේ නායක හිමියන් වන පූජ්‍යවලානේ ධම්මානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි 1901 වසරේ වෙසක් පුන් පොහෝ දිනයේ දී බවයි සඳහන් වන්නේ.


අතීතයේ පානදුරේ ප්‍රදේශයේ සිටි මහා රේන්ද ව්‍යාපාරිකයෙකු වටා ගෙතුණු මෙම දන්සල් කතාව හරි අපූරු කතාවකි. 
රේන්ද මුදලාලි කෙනකු වශයෙන් හැඳින් වූයේ අතීතයේ මහා සැර පරුෂ ගති ගුණ ඇති මත්පැන් අලෙවි කරන පුද්ගලයන්ටයි.
මත්පැන් අලෙවියෙන් කෝටිපතියෙකුව සිටි ජෙරමියෙස් දියෙස් නම් වූ රේන්ද මුදලාලි සැර පරුෂ පුද්ගලයෙකු වුවද ඔහු රේන්ද ආදායමෙන් තොරව උපයන මුදලින් බෞද්ධාගමික කටයුතුවලට ද මුදල් පරිත්‍යාග කිරීමේ කටයුත්තක නිරතව සිටියේය.


වර්ෂ 1800වසරේ අග භාගයේ මේ මහා ධනපතියා ජීවත් වූ”‍එඩ්මන් හවුස්”‍ නම් වූ මන්දිරය ආසන්නයේ විහාරස්ථානයක් ඉදි වෙමින් තිබුණි. රන්කොත් විහාරය නම් වූ එම විහාරස්ථානයට සෑම මසකම එහි ඉදිකිරීම් කටයුතු සඳහා යම් මුදලක් යැවීම ජෙරමියෙස් දියෙස් ධනපතියාගේ සිරිතක්ව පැවතිණි.


මෙම ධනපතියාට පුතුන් තිදෙනකු සිටියත් බාල පුත්‍රයා තම පියාගේ ව්‍යාපාරයට එතරම් කැමැත්තක් නොදැක්වීය. එසේ හෙයින් තම බාල පුත්‍රයා ඔහු යෙදවූයේ තම ආගමික කටයුතු සඳහායි. තම නිවස ආසන්නයේ ඉදිවන විහාරස්ථානයට මුදල් යැවීම සඳහා යොදා ගනු ලැබුයේ ඔහුගේ බාල පුත්‍රයායි. බාල පුත්‍රයාට එසේ ලබා දෙන මුදල් නායක හිමියන්ට බාර දීමේ දී ‘‘මේවා අරක්කු සල්ලි නොවෙයි’’ යනුවෙන් නායක හිමියන්ට දැනුම් දෙන ලෙස තම පුත්‍රයාට අණ කිරීමට ජෙරමියෙස් දියෙස් මුදලාලි මහතා අමතක නොකළේය.
මේ ආකාරයට සෑම මසකම තම නිවස ආසන්නයේ ඉදි වන රන්කොත් විහාරයේ ඉදිකිරීම් කටයුතු සඳහා මුදල් යවමින් සිටිය දී එක්තරා දිනයක දී එම විහාරස්ථානයේ නායක හිමියන්ට එහි ඉදිකිරීම් කටයුත්තක් සඳහා හදිසි මුදල් අවශ්‍යතාවයක් ඇති වූ හෙයින් දියෙස් මුදලාලිට පණිවිඩයක් එවා තිබුණේ මාසිකව ලබාදෙන මුදල කලින් ලැබුණොත් හොඳ යැයි කියාය.


එම පණිවිඩය ලද දින දියෙස් මුදලාලි තම බාල පුත්‍රයා අත පණිවිඩයක් යැව්වෙ අද මුදල් නොමැති බැවින් තවත් දින කිහිපයකින් මුදල් ලබාදෙන බවයි.
මෙම පණිවිඩය රැගෙන යන දියෙස් මුදලාලිගේ බාල පුත්‍රයා කල්පනා කරන්නේ තම පියාගේ අරක්කු වෙළඳාමෙන් දිනපතා කරත්තවලින් ගෝනි ගණන් රැගෙනවිත් නිවසේ විශාල කාමරයකට ඇද දමන මුදල් ගෝනි ගණන් තිබිය දී තම තාත්තා පන්සලට මුදල් ලබාදීමට නොහැකි යැයි කියන්නේ මන්ද යැයි සිතමිනි.


එම පණිවිඩය ලබා දී නැවත නිවසට පැමිණ බාල පුත්‍රයා නිවසේ සිටින විට තම පියා සේවකයකු අත කිසියම් අයෙකුට පණිවිඩයක් යවන ආකාරය ඔහුට අසන්නට ලැබුණි. ඉන් කිය වුණේ මාසය අන්තිමට එවීමට තිබෙන මුදල් මදක් කල් තියා එවන ලෙසයි.


එම මුදල් ලැබුණ පසු දියෙස් මුදලාලි තම බාල පුත්‍රයා අත යවන මුදල් එදින ඔහු අතේ නොයවා තම බාල පුත්‍රයා සමග පන්සලට ගියේය. එහිදී දියෙස් මුදලාලි නායක හිමියන් සමග පැවසූයේ හරි අපූරු කතාවකි .


තමන් අරක්කු ව්‍යාපාරයට සම්බන්ධ වීමට පෙර විවිධ ව්‍යාපාර කොට දැහැමි මුදලින් මිලදී ගත් අක්කර 80ක පොල් ඉඩමෙන් ලැබෙන ආදායමෙන් මෙතෙක් කල් රන්කොත් විහාරය ඉදි කිරීම් කටයුතු සඳහා මුදල් ලබා දුන් බව ද එහිදී තම පුත්‍රයා ඉදිරියේ පවසා තිබේ.


ඓතිහාසික පානදුරා වාදය තුළින් මිථ්‍යා දෘෂ්ටිකයන් පරාජය කරමින් මහත් වූ බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද තෙද වැදි සිටී පානදුර ප්‍රදේශයේ එවකට සිටි ප්‍රධාන පෙළේ රේන්ද බලපත්‍ර ධාරි ධනපතියකු වූ දියෙස් මුදලාලිගේමෙම අමද්‍යප බෞද්ධ චේතනා පිළිබඳව එදා බණ පොලේ පිරිත් පොලේ මහා සංඝරත්නය අතර සංඝායනාවට පාත්‍ර විය.
මෙම ආරංචිය ලද රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙන් විහාරයේ පූජ්‍ය වලානේ ධම්මානන්ද හිමියන් ජෙරමියෙස් දියෙස් නම් වූ කිසිවෙකුටත් අණක් ගුණක් නොමැති මහා රේන්ද මුදලාලි ජීවත්වන එඩ්මන් හවුස් මන්දිරයට වැඩම කළේ ඒ අතරතුරය. දියෙස් සිටු පවුල උඩු යටිකුරු වූයේ ඉන් අනතුරුවය.


වලානේ ධම්මානන්ද හිමියන් සාදරයෙන් පිළිගත් එඩ්මන් හවුස් අධිපතිනි සෙලස්තිනා ජෙරමියෙස් දියෙස් අධිපතිනිය ඇතුළු පුතණුවන් පිරිස උන්වහන්සේගේ දේශනාවන් ශ්‍රවණය කරන්නට විය.


උන් වහන්සේගේ දේශනාව වූයේ මෙම මත්පැන් ව්‍යාපාර කටයුත්ත අතහැර දමා දැනට තිබෙන දේපොළ ඔස්සේ යම් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සුදුසු බවයි. දැනට මෙම ව්‍යාපාරය මගින් ජීවත් වෙන සේවකයන්ට ජීවත් වීමට මාර්ග පහදා මෙම අධාර්මික කටයුත්තෙන් ඉවත් වන ලෙසත් ඉදිරි වෙසක් පොහෝ දිනයේ (1901) සෙලෙස්තිනා මැතිනියත් ජෙරමියෙස් දියෙස් මහතාත් රන්කොත් විහාරයේ අටසිල් සමාදන් වන ලෙසත් තම දූ දරුවන්ට දානය රැගෙන එන ලෙසත් යෝජනා කළේය .


ධම්මානන්ද හිමියන්ගේ මෙම යෝජනාවෙන් දියෙස් මුදලාලි මහතාසහ සෙලෙස්තිනාමැතිණිය බුද්ධාලම්භන ප්‍රීතියට පත්වතම පවුලේ සාමාජිකයන්ට අණ කළේ රන්කොත් විහාරයේ අටසිල් සමාදන් වන තමන් දෙදෙනාට පමණක් නොව එහි සිල් සමාදන් වන සියලු‍ දෙනාටත් රන්කොත් විහාරය වන්දනාමාන කර ගැනීම සඳහා පැමිණෙන සියලු‍ දෙනාටත් එදින ආහාර ලබා දී දිය යුතු බවත්ය .


පානදුරේ රන්කොත් විහාරයේ දී වර්ෂ1901 වසරේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ දී මහා දන්සලක් ආරම්භ වූ අතර එහි ආහාර ගන්නා සියලු‍ දෙනාට ශත 50 ක මුදලක් ද දියෙස් මුදලාලිගේ අතින්ම පිරිනැමුණි .


එය මේ ලංකා ඉතිහාසයේ ව්‍යාපාරිකයකු විසින් පිළිගන්වන ලද පළමු දන්සල වශයෙන් සැලකේ. එම පළමු වෙසක් දන්සල පිළිබඳ රටේ ඈත කොනේ විහාරස්ථානවල පවා කතා බහට ලක්විය.


පූජ්‍ය වලානේ ධම්මානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි රන් කොත් විහාරයේ පවත්වන ලද මෙම මහා දන්සල පිළිබඳව රටපුරා ආරංචි පැතිර යද්දී එය 1902වසරේ ඊටත් වඩා ඉහළින් එය පැවැත්වීමට කටයුතු සම්පාදනය කරමින් සිටිය දී ජෙරමියෙස් දියෙස්නම් මහාධනපතියා හදිසි හෘදයාබාධයකට ලක්ව1902 වසරේ මාර්තු මස 24 වැනිදා මිය ගියේය.
ඔහු මිය යන විට මිලදී ගත් විශාල වතු 185ක් දියෙස් පවුලට අයත්ව තිබුණි. පියාණන් ජීවතුන් අතර සිටිය දී වුව ද මත්පැන් ව්‍යාපාරයට තදබල අකැමැත්තක් දැක්වූ එඩ්මන් විල්සන් දියෙස් බාල පුත්‍රයා තම මව එම ව්‍යාපාරය පවත්වාගෙන යනවාට තදබල අකමැත්තක් දැක්වීය. 


එසේ හෙයින් දියෙස් මැතිණිය තම බාල පුත්‍රයා අමතා මත්පැන් ව්‍යාපාරයෙන් ටිකෙන් ටික ඈත් වෙමු යැයි යෝජනා කළේය. එම යෝජනාවෙන් මහත් සතුටට පත් බාල පුත්‍රයා තම මවට යෝජනා කර සිටියේ තම ව්‍යාපාරයෙන් ජීවත් වන සිය ගණනක් වූ සේවකයන්ට විකල්ප ආදායම් මාර්ග සකසා දී තම ඉඩකඩම්වල කොටස් ද ඔවුන්ට ලබා දී එම සේවකයන්ට ජීවත් වීම සඳහා මඟ සලසාදීමෙන් අනතුරුව දැහැමි දිවි පෙවෙතක් ගත කිරීම සුදුසු බවයි.


ඉන් අනතුරුව එය එසේම සිදු වූ අතර එතෙක් කල් ලංකාවේ ධනවත්ම කාන්තාව වශයෙන් සිටි දියෙස් මැතිණිය පානදුරේ විශාකාව යන නමින් හැඳින්වුණි. දියෙස් මැතිනියගේ ධන පරිත්‍යාගයෙන් වර්ෂ 1917 දී කොළඹ නගර සභාව අසල ආරම්භ කෙරුණ කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලය 1927 වසරේ දී එවකට සිටි ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි ආණ්ඩුකාරවරයා සහ එම ආර්යාව අතින් පසුව විවෘත කෙරුණේ බම්බලපිටිය විශාඛා විද්‍යාලය නමිනි.

 

 

 

■ ​ෙෂ්න් සෙනෙවිරත්න