දවසට තුන්වතාවක් ආහාර ගත යුතු බව නියමයකි. නමුත් ඒ අතරින් පතර ද කෙටි ආහාරයක රස විඳීමට අප ගන්නා අතිරේක ආහාර වේල් රැසකි. ඉතින් මිනිසාට ආහාර කොයිතරම් වැදගත් ද එතරම්ම සූපශාස්ත්‍රයට ද තෙල් වටී කිව්වොත් නිවැරදිය. එසේ රස නහර පිනවන අයුරින් ආහාර පිසීමට මුළුතැන්ගෙයි භාවිත කරන තෙල් වර්ග රැසකි. තලතෙල් සහ ගිතෙල් යනු වැඩිහරියක් ඒ අතරින් භාවිත තෙල්ය.
තල තෙල් සියවස් ගණනාවක් තිස්සේ ආසියානු ආහාර පිසීමේ කලාව තුළ ප්‍රධාන අමුද්‍රව්‍යයක් වී ඇති අතර, ඉන්දියානු මුළුතැන්ගෙයි පාරිශුද්ධත්වයේ සහ සම්ප්‍රදායේ සංකේතයක් ලෙස ගිතෙල් ගෞරවයට පාත්‍ර වී ඇත. මෙම තල තෙල් සහ ගිතෙල් සඳහා ආවේණික රසගුණ තරමටම ඒ පිළිබඳව ඔබ නොදත් තොරතුරු ද රැසකි. පාඨක ඔබ නොදත් දේ දැනුවත් කිරීම අපේ වගකීම බැවින් - අපි මෙවර ලිපියෙන් තලතෙල් සහ ගිතෙල් පිළිබඳව ඔබේ අවධානය යොමු කිරීමට සිතුවෙමු.
- තල තෙල්
තල තෙල් තල ශාකයේ බීජ වලින් ලබා ගන්නා ශාකමය තෙල් වර්ගයකි. එය ප්‍රතිඔක්සිකාරක, විටමින් E සහ සෞඛ්‍ය සම්පන්න මේදවල පොහොසත් සාන්ද්‍රණයක් රඳවා ගනී. ළා කහපාට පැහැයෙන් යුතු තලතෙල් සුවඳය.
තල තෙල්වල ගුණ සහ භාවිත තෙල් වර්ග අතරින් අග්‍රගණ්‍යම තෙල් වන්නේ තල තෙල්. මූලාශ්‍රවලට අනුව මුල්ම බෙහෙත් තෙල ලෙස භාවිත වී ඇත්තේ තලතෙල් ය. එසේම හදන ඕනෑම තෙල් වර්ගයක මූලික තෛලය විදිහට භාවිත වන්නෙත් තලතෙල් ය. උදාහරණයක් ලෙස චන්ද්‍රකාන්ති තෛලය, සරස්වතී තෛලය, සිංහරාජ තෛලය වැනි බොහෝ තෙල් වර්ග වලට මූලික තෛලය විදිහට යොදා ගන්නේ තලතෙල් ය. ආයුර්වේදයට අනුව තලතෙල් උෂ්ණ ගුණය ඇති තෙලකි. මෙහි කැල්සියම්, මැග්නීසියම්, විටමින් E,A,K, ප්‍රෝටීන්, මේදය, යකඩ, පොස්පරස් පවතී. විශේෂයෙන්ම කැල්සියම් ඇති බැවින් අස්ථි රෝගවලට ආයුර්වේද කැඬුම් බිඳුමවලට බොහෝ විට තලතෙල් භාවිත කරයි.
තල තෙල්වල ගුණය, එළකිරි පෝෂණයට වඩා 8 ගුණයකින් වැඩි වන අතර මස්වලට වඩා 8 ගුණයකින් පෝෂණය ඉහළයි. එසේම තලතෙල් රුධිරනාළවල මේදය අඩු කරයි. ඒ වගේම තලතෙල් තුවාල වේළීමටත් හොඳ ඖෂධයකි. ශරීරය පෘෂ්ටිමත් කරන, ශරීරය ශක්තිමත් කරන ගුණයෙන් ද යුක්තයි. මාස් ශුද්ධියේ දී අධික රුධිර වහනය වැළැක්වීමට සමත් ඖෂධයක් ලෙසත්, තලතෙල් වැඩිවියට පත් වූ පසු ගැහැනු ළමයෙක් ගේ පෝෂණ ගුණය ඉහළ දැමීමටත් යොදා ගනියි. ඒ වගේම ගර්භණී කාලයේ දී ගබ්සාවීම් වැළැක්වීමට, කිරි දෙන මව්වරුන්ට කිරි නිෂ්පාදනය වැඩි කරගැනීමට, ගැහැනු ළමයින්ට සම දීප්තිමත් වීමටත් තල තෙල් භාවිත වේ. තල තෙල්වලට වේදනා නාශක ගුණයක් ද පවතී. ඊට අමතරව තුවාල සුව කිරීමේ ගුණයක් සහ පිරිසිදු කිරීමේ ගුණයක් ද ඇත. තවද ලප කැළල් ඉවත් කිරීමට, සම රැලි වැටීම පාලනයටත් තල තෙල් ඉතා හොඳයි. ඒ නිසා තල තෙල් සම්බාහන කටයුතු වලටත් යොදා ගනී. මීට අමතරව තල තෙල් වලින් කොණ්ඩෙ දිගට වවන අතර කොණ්ඩෙහි දීප්තිය වැඩි කිරීමටත් හැකියාව තිබේ.
ගිතෙල් හෙවත් එළඟිතෙල් ගිතෙල් සහ දුන්තෙල් එළ ගවයා ගෙන් සහ මී ගවයා ගෙන් ලබාගන්නා කිරි වලින් සකසන තෙල් වර්ග වෙයි. එළදෙන ගෙන් ගන්නා කිරි වලින් හදන බටර් උණු කර එහි ඇති ජලවාෂ්ප, කිරි ප්‍රෝටීන ඉවත් කිරීමෙන් පසු එහි ඉතිරිවන තෙල් කොටස ගිතෙල් නම් වෙයි. මෙම ගිතෙල් කහ පැහැයක් ගනී.
සාමාන්‍යයෙන් මැද පෙරදිග, ඉන්දියාව, අග්නිදිග ආසියාවේ විශාල වශයෙන් ආහාර පිසීම සඳහා ගිතෙල් භාවිත කරයි. ලංකාවේ නම් බහුලව භාවිත නොවේ. ණය වී හෝ ගිතෙල් කන්න යනුවෙන් කියමනක් ඇත්තේද ගිතෙල් එතරම් ගුණදෙන තෙල් වර්ගයක් නිසාවෙනි. පොල් තෙල් වලට වඩා ගිතෙල් භාවිතය යහපත් වේ. මන්ද යත් ගිතෙල් ගැඹුරු තෙලේ සෙන්ටිග්‍රේට් 250 තෙක් රත් කළ හැකි බැවින්, ශරීරයට එකතු වෙන විෂ ප්‍රමාණය අඩු වේ.
ගිතෙල්වල ගුණ සහ භාවිත ගිතෙල්වල වැඩි වශයෙන් මේදය, ප්‍රෝටීන්, විටමින් A,D,E,K, ඔමේගා 3, ඔමේගා 6 පවතී. ආයුර්වේදයට අනුව ගිතෙල් ශීත ගුණ තෙලක් විදිහට සළකයි.
ගිතෙල් අපේ රුව, සුවය වැඩි කරගැනීමට ද උපකාරි වෙයි. පිරිසුදු කරගත් බටර් විශේෂයක් වන ගිතෙල් ඉරානය, අරාබිය, පාකිස්තානය, ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල කෑමට බීමට අමතරව තව බොහෝ කටයුතුවලට යොදා ගනී. සාම්ප්‍රදායික ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී නැතිවම බැරි ඔසුවකි.
ගිතෙල්වල සංතෘප්ත මේදය අඩංගුවී තිබුණත් ආහාර පිසීමට ගන්නා අනෙක් සන්තෘප්ත මේදය මෙන් නොව මේවා ඍජුවම ශක්තිය බවට පරිවර්තනය වෙයි. ගිතෙල් ආහාර ජීර්ණයට උපකාර වන අතර, අන්ත්‍රවල ප්‍රදාහයන් වළක්වන ගුණයකින් ද යුක්තයි. ආයුර්වේදයට අනුව ගිතෙල් වලින් මතක ශක්තිය ඉහළ නංවාගත හැකිය. පිරිමින්ගේ ශ්‍රක්‍රාණුවල ගුණාත්මකබව ඉහළ යයි.
නවීන විද්‍යාත්මකව ගිතෙල්වල අඩංගු ප්‍රතිඔක්සිකාරක මගින් ප්‍රතිශක්තිකරණය හෙවත් රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ යයි. සියවස් ගණනාවක් පුරා ගත සිත සමතුලිත කරන රසායනයක් ලෙස ගිතෙල් යොදාගනී. පිළිකා සෛල නසන, ආමාශ තුවාල සුවපත් කරන ගුණයක්ද මෙහි ඇත. ගැඹුරු තෙලේ බැදීමේ දී ගිතෙල් ඉතා සුදුසු තෙල් වර්ගයක් වන්නේ එළවළු තෙල් හෝ වෙනත් ඇටවලින් නිෂ්පාදිත තෙල්වලට වඩා අඩු විස රසායන ප්‍රමාණයක් බැදීමේ දී පිටවන නිසයි.
ඔස්ටියෝආතරයිටිස්, ආතතිය, නින්ද නොයාම, ආඝාතය වැනි තත්ව වලදී ගිතෙල් සම්බාහනයෙන් සහනයක් ලද හැකිය.
ගිතෙල් ඇස්වලට ඉතා ගුණදායක ඔසුවකි. විටමින් A යහමින් ඇති නිසා ගිතෙල් ආහාරයට එක් කිරීමෙන් ඇස්වල පෙනීම වැඩි දියුණු කර ගැනීමට පුළුවන් වේ. ගිතෙල් පරිභෝජනය රාත්‍රී අන්ධතාවයට ද හොඳ විසඳුමකි. ඇස්වල වියළි බව නැති කිරීමටත් සිසිලසක් ගෙන දීමටත් ගිතෙල්වල ඖෂධීය ගුණය උපකාරී වෙයි. ආයුර්වේදයේ අක්ෂි දර්පණවලදී අක්ෂි ප්‍රතිකාරවලට ගිතෙල් යොදා ගනී. දිගු වේලාවක් පරිගණකය දෙස බලා සිටීමෙන් දෑසට දැනෙන වෙහෙසට ගිතෙල් පිළියමක් වන අතර, ඇස් වටා ගිතෙල් ගැල්වීමෙන් සහනයක් ලැබේ.
එමෙන්ම ගිතෙල් හිස් කබලේ ගැල්වීමෙන් කෙස්වලට පෝෂණයක් ලැබෙන අතර වියළි බව දුරුවෙයි. ගිතෙල් හැන්දක් රත් කර දියවෙන්නට ඇර ඇඟිලි තුඩුවලින් හිස් කබල සහ කොණ්ඩය සම්බාහනය කර පැය කීපයකට පසු මෘදු ෂැම්පු වර්ගයකින් සෝදා හැරිය හැක. එසේම රැයක් පුරා ගිතෙල් ගල්වා ෂවර් කැප් එකකින් ආවරණය කර පසුවදා ෂැම්පු ගල්වා සෝදා හැරි විට මෙය කදිම කන්ඩිෂනරයකි. ගිතෙල් මගින් සම්බාහනය කිරීමෙන් හිස් කබලට හොඳින් රුධිරය සංසරණය වෙයි. හිසකෙස්වලට ඝනව දිගට වැඩීමට උත්තේජනයක් ලැබේ. හිසකේවල නම්‍යශීලීබව වැඩිවෙයි. සමට, තොල්වල කළු පැහැය දුරු කිරීමට ද ගිතෙල් භාවිත වේ.
ගිතෙල් ආහාරයට ගැනීමෙන් තරබාරු වෙනව ද?
ඇතැම් පුද්ගලයන් ගිතෙල් කෑමෙන් වැළකී සිටීමට ප්‍රධාන හේතුවක් තමයි ගිතෙල් කෑවොත් මහත් වෙනවා කියන මතය. ඒක ඇත්තටම වැරදි මතයක්. නමුත් අපි කෘශ අයට කියනවා ගිතෙල් රටඉඳිත් එක්ක මිශ්‍ර කරලා කන්න එතකොට මහත් වෙනවා කියලා. එහි ප්‍රධානම දේ මහත් වීමම නෙවෙයි. ශරීර ශක්තිය වර්ධනය, සමේ දීප්තිය වර්ධනය සහ සමේ වියළි බව අඩු වීමත් එහිදී සිදු වෙනවා. ඒ වගේම අහිතකර මේදය අඩු කිරීමේ ගුණයක් ද ගිතෙල්වලට පවතිනවා. ඒ නිසා අධික භාවිතය තරබාරු බවට හේතු විය හැක. කොයි තරම් ගුණ වුවත් ගිතෙල් දිනකට මේස හැන්දකට දෙකකට වඩා පරිභෝජනය නොකිරීම නුවණට හුරුයි.
කුඩා දරුවන්ට ගිතෙල් භාවිතය
ළදරුවන්ට මාස හයේ සිට ගිතෙල් ආහාර වලට එකතු කිරීම සිදුකළ හැකිය. වයස අවුරුදු දොළහට අඩු දරුවන්ට දිනකට ගිතෙල් තේ හැඳි එකක් පරිභෝජනය කිරීමේ හැකියාව පවතින බව කිව්වත් ඔබේ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය සහ වයස සඳහා ගිතෙල්වල ආරක්ෂිත සීමාව තීරණය කිරීමට ළමා වෛද්‍යවරයෙකු හෝ ළමා පෝෂණ වේදියෙකු ගේ සහාය ලබාගැනීම වැදගත්. එසේම ගිතෙල් දරුවන්ට ලබා දීමේදී,
1. දිරවීමට පහසු වීම: සමහර දරුවන්ට කිරි වල ඇති ලැක්ටෝස් අහිතකර වන අවස්ථා පවතී. ගිතෙල් සකස් කිරීමේ දී කිරිවල ඇති ලැක්ටෝස් සහ කැසීන් අන්තර්ගතය අඩු කිරීම නිසා ලැක්ටෝස් අහිතකර දරුවන්ට දිරවීමට ඉතා පහසු දෙයක් ලෙස ගිතෙල් හඳුන්වන්නට පුළුවන්.
2. හොඳ ශක්ති ප්‍රභවයක්: වැඩෙන දරුවන්ට මෙය ඉතා හොඳ ශක්ති ප්‍රභවයක් ලෙස සැලකෙනවා.
3. බර වැඩිවීම: සෞඛ්‍ය සම්පන්න ලෙස බර වැඩිවීම අපේක්ෂා කරන දරුවන් හට ගිතෙල් ලබාදීම ඉතා සුදුසුයි.
4. බහුල පෝෂ්‍ය පදාර්ථ: කුඩා දරුවන්ගේ වැඩීමට අවශ්‍ය කරන බොහෝ පෝෂ්‍ය පදාර්ථයන් ගිතෙල් වල අඩංගු වෙනවා. විශේෂයෙන්ම ගිතෙල් වල විටමින් E තිබීම ආහාර වල ඇති ප්‍රතිඔක්සිකාරක ප්‍රබලතම ප්‍රභවයක් බවට පත් කරයි.
5. අස්ථි සෞඛ්‍ය: ගිතෙල් අස්ථි වර්ධනයට සහ මාංශ පේශි වර්ධනයට උපකාරී වනවා. ගිතෙල් විටමින් D සහ කැල්සියම් ප්‍රභවයක් වන අතර ඒවා නිරෝගී අස්ථි පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ.
6. ආහාර ජීර්ණ ක්‍රියාවලිය: දරුවාගේ ආහාර වේලට ගිතෙල් තේ හැන්දක් එකතු කිරීම ආහාර ජීර්ණ පද්ධතියේ නිරෝගී වර්ධනයට උපකාරී වෙනවා.
7. ප්‍රතිශක්තිය: ගිතෙල් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කිරීම කෙරෙහි ධනාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
ඊට අමතරව කුඩා දරුවන්ගේ සමේ වියළි බව නැතිකිරීමට කකුල්වල ගාන්න ගිතෙල් යොදා ගන්නවා. ඒ වගේම ශරීර ශක්තිය, මතක ශක්තිය වැඩිවෙන්න, නින්ද යන එක වැඩිවෙන්න සහ ඇස් පේන එක වැඩි වෙන්නත් ගිතෙල් භාවිත කරනවා.
ගිතෙල් සහ තලතෙල් යොදන ආහාර ඉන්දියානු ආහාර පිසීමේදී, ගිතෙල් සෑම තැනකම භාවිත කරනු දක්නට ලැබේ. එය සරලම පරිප්පු ව්‍යංජනයේ සිට වඩාත් සංකීර්ණ ආහාර දක්වා භාවිත වේ. ඊට අමතරව ගිතෙල් ලඩ්ඩු සහ හල්වා වැනි බොහෝ පැණිරස ආහාරවලදී ද ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කරයි.
ගිතෙල් කුළුබඩු තෙම්පරාදු කිරීම සඳහා ඉවුම් පිහුම් මාධ්‍යයක් ලෙසද භාවිත කරයි.
තල තෙල් සහ ගිතෙල් දිගු කලක් තිස්සේ ලොව පුරා, විශේෂයෙන් දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ මුළුතැන්ගෙයි වැඩි තැනක් හිමි කරගෙන ඇත. තල තෙල් සහ ගිතෙල් රසය වැඩි දියුණු කිරීමට පමණක් නොව, බොහෝ පෝෂණ ප්‍රතිලාභ ලබා දෙන බලගතු අමුද්‍රව්‍ය ලෙස ද කැපී පෙනේ.
ගිතෙල් සහ තල තෙල් වල ඇති මිශ්‍ර ගුණ මේ තෙල් වර්ග දෙකම හදවත් රෝග, වකුගඩු රෝග සහ ස්නායු පද්ධතියෙ රෝගවලට භාවිත කරයි. ඒවගේම ලේ වඩවන්න, අක්මාවට, ප්‍රතිශක්තිය සඳහා, මතක ශක්තිය ඇති කරගන්න සහ මොළේ වර්ධනයටත් යොදා ගනී. මොකද මේ දෙකේම කීටෝන් බොඩි නිෂ්පාදනය වීම සිදු වේ. ඊට අමතරව මේ දෙකම ප්‍රති ඔක්සිකාරක දෙකකි. අත් බෙහෙතක් ලෙස සම්බාහනය කිරීමේදී වැඩි වශයෙන් යොදා ගන්නෙත් ගිතෙල් හෝ තල තෙල්ය.
- අධි පරිභෝජනය
සාමාන්‍යයෙන් තෙල් වර්ග ශරීරයට හොඳ නැති නිසා දවසට ගිතෙල් හෝ තල තෙල් මේස හැඳි දෙකක් වෛද්‍ය නිර්දේශය වේ. ගිතෙල් සහ තල තෙල්වලින් හිතකර කලොස්ටරෝල් වැඩිවීම සිදු වුවද මේදය ශරීරයට අවශ්‍ය ප්‍රමාණයක් තිබෙන බැවින්, මේස හැඳි දෙකක් පමණක් දිනකට ප්‍රමාණවත් වේ. ඒ වගේම තල තෙල් ලඝු සහ ස්නේහ ගුණවලින් යුක්තයි. ගිතෙල් ස්නේහ වුණාට ගුරුයි. එනම් බර තෙල් වර්ගයක්. තල තෙල් වලින් ලොකූවට ශරීරය මහත් වීමක් වෙන්නේ නැහැ. නමුත් ගිතෙල් වැඩිපුර භාවිතය ශරීරය මහත් කරන්න පුළුවන්. ඒ වගේම ගිතෙල් ගැනීමේ දී එය උදෑසන කාලයේ දී ගැනීම රාත්‍රී කාලයේදී ගැනීමට වඩා හොඳයි. මොකද ගිතෙල් කියන්නේ ශීත තෙලක්. තවද සෙම් රෝග තිබෙන අය ගිතෙල් භාවිතය අඩු කරන එකත් සෞඛ්‍යට හොඳයි.
ඒ අනුව තල තෙල් සහ ගිතෙල් යනු මුළුතැන්ගෙයි අමුද්‍රව්‍ය පමණක්ම නොවේ. විටෙක ආහාරවලට රසයක් ද, තවත් විටෙක සෞඛ්‍යට ගුණයක් ද ලබාදෙන තල තෙල් සහ ගිතෙල් යන දෙකටම සෞඛ්‍ය ප්‍රතිලාභ ඉක්මවා යන සංස්කෘතික වැදගත්කමක් ද ඇත. බොහෝ සංස්කෘතීන්වල, ඒවා ආහාර චාරිත්‍ර, ආගමික උත්සව සහ සාම්ප්‍රදායික ඉවුම් පිහුම් ශිල්පීය ක්‍රම සඳහා ද කේන්ද්‍රීය වේ. ඉන්දියාවේ පහන් දැල්වීමේ සිට පූජනීය චාරිත්‍රවල කොටසක් ලෙස පූජා කිරීම දක්වා විවිධ අධ්‍යාත්මික පිළිවෙත් සඳහා ගිතෙල් භාවිත වෙන අතර ලංකාවේ ද ඇතැම් තැනක එවැනි ක්‍රියා දැකගත හැක.
එසේ නම් වෙන වෙනම හෝ එකට භාවිතා කළත්, තල තෙල් සහ ගිතෙල් යනු ස්වාභාවික අමුද්‍රව්‍ය වල බහුකාර්යතාවට සාක්ෂියකි. නමුත් කොතරම් රස ගුණ තිබුණත් ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෙ නෑ යන්නත් ඔබ අප සිහි තබා ගත යුත්තකි. වෙළෙඳපොළේ ප්‍රමිති සහතිකය තියෙන ආයතනයකින් නිපදවන ඕනැම තල තෙල් සහ ගිතෙල් පමණ දැන භාවිතය ඔබට දිව ඔසුවක් වන අතර පමණ නොදැනීම ශරීර සුවය පිරිහීමට මඟක් බවත්, දැන පරිභෝජනය වැදගත් බවත් මතක් කරන්නේ ඒ නිසාවෙනි.
කෞශල්‍යා ලක්ෂානි