වැහෙන්න ගිය පාසලකින් හොඳම ප්‍රතිපල පෙන්වූ විදුහල්පති


 

බටදොලේ කන්ද රක්ෂිතය සිපගෙන හමන සුළඟ නිරතුරුවම සුවදායකය. කන්ද පාමුල පිහිටි රුග්ගස්සාගාර කනිටු විදුහලට ඒ සුළඟ දැනෙන්නේ  වසන්තයක් පරිද්දෙනි. එහෙත් අජිත් පුෂ්පකුමාර එකී විදුහලේ ගුරුවරයෙකු ලෙස 2012 වසරේදී පැමිණෙද්දී රුග්ගස්සාගාර විදුහල පැවතියේ ගිම්හාන අහස යටය, වැහෙන්නට ඔන්න මෙන්නය. 


එහි එක වසරේ සිට එකොළහ වසර තෙක් පන්ති තිබුණත් මුළු පාසලටම සිටියේ ළමයි විසිතුන් දෙනෙක් පමණකි. ගමේ ළමයි වැඩිදෙනෙක් ගියේ කිලෝ මීටර් දෙකකට පමණ දුරින් පිහිටි ජාතික පාසලටය. මෙම විදුහලට පැමිණියේ නගරයේ පාසලකට තම දරුවා යවාගන්නට තරම් වත්පොහොසත්කමක් නැති මව්පියන්ගේ දරුවකු පමණි. පාසල ගමෙන් පමණක් නොව ගිරිඋල්ල අධ්‍යාපන කලාපයෙන්ද කොන් වී තිබිණි. අවශ්‍ය තරම් ගුරුවරුද නොවූහ.


2014 වසරේදී විදුහල්පතිවරයා පාසලෙන් සමුගත්තේය. ඒ සමගම වැඩබලන විදුහල්පති ලෙස පාසල බාරගත්තේ අපේ කතානායකයා වන අජිත් පුෂ්පකුමාරය.
වැහෙන්නට යන විදුහල නොවැසී රැකගන්නට ඔහුට අවශ්‍ය විය. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයැයි ඔහුට වැටහිණි. එහෙත් ඒ වැඩපිළිවෙළ කුමක්ද? එය ක්‍රියාත්මක කරන්නේ කෙසේද? ඔහු අබියස ප්‍රශ්න කන්දකි. ඒ ප්‍රශ්න කන්ද ද බටදොලේ කන්ද තරම්ම උසය. එහෙත් මේ ගුරුවරයා මේ ප්‍රශ්න කන්ද නගින්නට තීරණය කළේය.  
“මේ වගේ බාරධූර වැඩපිළිවෙළක් තනිවම කරන්න බැහැ. ගුරුවරුන්ගෙ, මව්පියන්ගෙ, ගමේ ප්‍රජා නායකයන්ගෙ, අධ්‍යාපන කලාප බලධාරීන්ගෙ සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා  මම මුලින්ම මගේ ගුරු මණ්ඩලය එක්ක කතා කළා. වාසනාවකට ඒ හැමෝටම අවශ්‍ය වුණේ පාසල කොහොමහරි වැහෙන්න නොදී ගොඩගන්න. පස්සෙ අපි හැමෝම ගමේ පන්සලේ හාමුදුරුවොයි ගමේ ප්‍රජා නායකයොයි මුණගැහුණා. සාකච්ඡා කළා. මම වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. සියලු දෙනාම ඒ වැඩපිළිවෙළ පිළිඅරගෙන සහයෝගය දුන්නා.”
අජිත් පුෂ්පකුමාරට තිබුණේ වෙනස් වැඩපිළිවෙළකි. ආකල්ප සංවර්ධනය ඔස්සේ  විභාගයට මෙන්ම බාහිර ලෝකයටද උචිත පරිදි අලු‍තින් හිතන ක්‍රියාශීලී දරු පරපුරක් මේ පුංචි පාසලෙන් බිහිකරන්නටය.


“මම මුලින්ම කළේ ළමයින්ගෙ ආකල්ප සංවර්ධනය කිරීම. මොකද විභාග ප්‍රතිඵල පෙන්වන්නෙ නැතුව වෙන මොනවා කළත් පාසලකින් වැඩක් නැහැනෙ. පාසලක් හොඳ පාසලක් වෙන්නෙ ළමයි විභාග පාස්වුණොත් විතරයි.  ඒ වගේම ගුණගරුක නීතිගරුක දරුවනුත් පාසලක අවශ්‍යතාවක්. වාසනාවකට වගේ මේ ඉස්කෝලෙ ළමයින්ට නාගරික පාසල්වල ළමයින්ට වගේ අනවශ්‍ය ප්‍රශ්න තිබ්බෙ නැහැ. ළමයි අහිංසකයි. ගුරුවරු අම්මා තාත්තා කියන දේ හොඳට අහන, කීකරු විනය ගරුක ළමයි. තිබ්බෙ ආර්ථික ප්‍රශ්න විතරයි. ඒ නිසා මගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න පහසුවුණා. 


මුලින්ම කළේ පාසලේ බාලදක්ෂ කණ්ඩායමක් හදන එක. මේ ළමයි තමා පස්සෙ, පාසලේ විවිධ වැඩ කටයුතු වලදි දුවල පැනලා හැමදේම කළේ. 


ඊළඟ පියවර බෑන්ඩ් කණ්ඩායමක් හදන එක. මේ කටයුත්තෙදි අපිට සහයෝගය දෙන්න පාසලේ ආදි ශිෂ්‍යයො කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා.  


අපි හැමදාම උදේට පාසල් රැස්වීමක් තිබ්බා. සඳුදාට ප්‍රධාන රැස්වීම. අනිත් දවස්වලත් රැස්වීම් තිබ්බා. මෙමගින් අපිට අවශ්‍ය වුණේ ළමයින්ගෙ ආකල්ප සංවර්ධනය කිරීමයි.  ඉස්කෝලෙ තියෙන්නෙ බටදොලේ කන්ද පාමුල. ලස්සන පරිසරයක්. පාසල වටේටම රක්ෂිත වනාන්තරේ. ඒ වගේම වන ළැහැබක් පාසල් භූමියෙත් තිබුණා. අපි වනාන්තරේ මැදින් පෙත්මගක් හැදුවා. හැමදාම උදේට ගුරුවරුයි  ළමයි ඔක්කොමයි මේ පෙත් මග දිගේ කැලේට ඇවිදගෙන යනවා. අපි හැමෝම යන්නෙ පරිසරයට කන් ඇරගෙන. අපිට ඇහෙන්නෙ වනන්තරේ හඬ විතරයි. විවිධාකාර කුරුල්ලො ලස්සනට සිංදු කියනවා. සුළඟට ගස්වල කොළ හෙළවෙන හඬ. වෙලාවකට සුළඟ හෝ ගාගෙන හමා යනවා. රෑ තිස්සෙ වැටුණු පිනි ගස්වල ඉහළ අතු වලින් බිමට වැටෙනවා. පිනි වැටෙන සද්දෙත් හරි අපූරුයි. ඉතිං  අපි ඔක්කොම මේ ලස්සන පරිසරය විඳිනවා.  


අපි එතනින් එළියට එන්නෙ වෙනස්ම මිනිසුන් වෙලා.   හැමෝම ප්‍රබෝධයෙන්. ආපහු ඇවිත් අපි ළමයි එක්ක වනන්තරේ ලස්සන ගැන වනන්තරේ නිසා හිත නිවුණු හැටි. වගේ දේවල් කතාකරනවා. එහෙම වනාන්තරයක් උරුම වුණු අපේ පාසල කොයිතරම් වාසනාවන්ත ද? අපි මොනතරම් වාසනාවන්ත ද කියලා අපි කතාකරනවා. අපි දුප්පත් නැහැ, අපිට සම්පත් තියෙනවා.  ඒ නිසා අපි හොඳට ඉගෙනගෙන මේ ඉස්කෝලෙත් දියුණු කරනවා කියන ආකල්පය අපි හැමෝම හිතේ අවධාරණය කරගත්තා. 


ඒ වගේම අපි භාවනා වැඩසටහනක් පවත්වනවා. අපි කරන්නෙ මෛත්‍රී භාවනාව. පැය කාලක් විතර භාවනා කළාට පස්සෙ හිත සංසුන්. ඔන්න ඉතිං ඊට පස්සෙ පූර්ණකාලීනව ඉගෙනුමට තමා හිත යොදවන්නෙ.


සතියකට දවසක් අපි ගී රස වින්දන වැඩ සටහනක් කරනවා. ඒ වැඩ සටහනට පාසලේ හැම ගුරුවරයෙක්ම සහභාගී වෙනවා. එක දවසක් ගී රස විඳින්නෙ එක ගුරුවරයෙක්. අනිත් දවසෙ තව කෙනෙක්. ඉතිං තමන්ගෙ වැඩසටහන හොඳටම කරන්න තමා හැම ගුරුවරයෙක්ම උත්සාහ කරන්නෙ. වැඩසටහන ඉවරකරන්නෙ රස විඳපු ගීතය වාදනය කරලා. විනාඩි තුනකින් ඉවරවෙන පුංචි සිංදුවක කතාකරන්න කොයිතරම් දේවල් තියෙනව ද කියල තේරුම්ගත්ත ළමයි පුදුම වෙනවා. ඇත්තෙන්ම මේ වැඩෙන් ළමයින්ගෙ වින්දන හැකියාව වැඩිවුණා විතරක් නෙවෙයි ඒ අය සංවේදී පිරිසක් බවටත් පත්වෙනවා. පස්සෙ පස්සෙ අහපු  සිංදුවක නොතේරෙන වචනයක් එහෙම තිබුණොත් ළමයි ඇවිත් අපෙන් අහන්න පවා පෙළඹුණා. 


අපි තව වැඩක් කළා. ළමයින්ගෙයි ගුරුවරුන්ගෙයි නිර්මාණ එකතුකරලා සඟරාවක් පළකළා. මෙතැනදි ළමයින්ගෙ ලේඛන හැකියාවන් වර්ධනය වෙන්න පටන් ගත්තා. රචනා ලියද්දි ළමයින්ගෙ දක්ෂකම් කැපිලා පේන්න පටන්ගත්තා. ළමයි අලු‍තින් හිතන්න පටන්ගත්තා. මේ සඟරාව එළිදක්වන්න අපි ලොකු උත්සවයක් ගත්තා. ඒකෙන් ලිවීමේ වටිනාකම ළමයින්ට වගේම ප්‍රදේශයේ වැඩිහිටියන්ටත් තේරෙන්න වුණා. ළමයි පොත පත කියවන්න පොතපතට ආදරය කරන්න පෙළඹුණා. හැමදේකම ලොකු ප්‍රබෝධයක් පෙනෙන්න වුණා.  මේ දවස්වලත් අපේ නිම්තෙර සඟරාවෙ 2023 කලාපයෙ සංස්කරණ කටයුතු සිදුවෙමින් පවතිනවා. ඒ සඟරාවත් ලොකු උත්සවයක් තියලා එළිදක්වනවා.
වාර්ෂික ක්‍රීඩා තරගයක් පවා අපි කරනවා.

 
මේ මොන බාහිර වැඩ කළත් පාසලක අංක එක විභාග. ළමයි වැඩිපිරිසක් විභාගවලින් පාස් වෙන එක තමයි පාසලක සාර්ථකත්වය වෙන්නෙත්. දන්නවද? 2019, 2020, 2021, අවුරුදු තුනේම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වලින් අපි කලාපයෙන්ම එක. විභාගෙට ළමයි පහක් හිටිය නම් ඒ පස්දෙනාම පාස්.


විදුහල්පති අජිත් පුෂ්පකුමාර පවසන්නේ ප්‍රීතියෙනි. ඔහු දැන් විදුහල්පති විභාගයෙන් සමත්ව රුග්ගස්සාගාර විදුහලේ විදුහල්පති ලෙස සේවය කරයි. එසේම විදුහලට අවශ්‍ය තරම් ගුරු පිරිසක්ද සිටිති. පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාවද සියයකට ආසන්නය. සැබැවින්ම එය සුවිසල් ජයග්‍රහණයකි.


“2016 අවරුද්දෙ අපි තව ලොකු වැඩක් කළා. එතෙක් කලක් පාසලේ සේවය කරපු හැම ගුරුවරයෙක්ම ගෙන්නලා ගුරු උපහාර උළෙලක් පැවැත්තුවා. හැම ගුරුවරයෙකුටම අමරණීය සිහිවටනයක් පිළිගැන්නුවා. එහෙම දෙයක් මේ පාසලේ මීට කලින් තිබිලම නැහැ. ඒ නිසා පරණ ගුරුවරු වගේම ගමේ අයත් එදා පුදුම විදිහට සතුටු වුණා. ඒ සතුට ළමයි වින්දෙ ඊටත් වඩා සතුටකින්. එදාම අපි ගී රස වින්දන වැඩසටහනකුත් ලොකුවට කළා. වෛද්‍ය කපිල සූරියආරච්චි යි මිත්‍ර කපුගෙයි එදා ඒ වැඩසටහන කළේ... එයින් ලොකු ප්‍රබෝධයක් ඇතිවුණා.


තව දවසක් අපි පදලංගල ධම්මදේව හාමුදුරුවො වඩම්මගෙන ඇවිත් ධර්මදේශනා පිංකමක් කළා. රූපවාහිනියෙන් බණ කියන ඒ වගේ ප්‍රසිද්ධ හාමුදුරුනමක් මේ ගමට ආවමයි ඒ. එදා ගමේ විතරක් නෙමෙයි අවට ගම්වලත් කට්ටිය බණ අහන්න පාසලට එකතු වුණා. 


පහුගිය සිංහල අවුරුද්දට අපි ගමේ කවදාවත් නොතිබුණු විදිහෙ අවුරුදු උත්සවයක් කළා. ලොකු තෑගි දුන්නා. මේ අවුරුදු උත්සවය පාසලේ ළමයින්ටත් අලු‍ත් අත්දැකීමක්. 
අපි මේ අවුරුද්දෙ ළමයින්ව අධ්‍යාපන චාරිකාවකුත් එක්කගෙන ගියා. පුංචි ළමයි මහනුවරටත් ලොකු ළමයි සීගිරියටත් එක්ක ගෙන ගියා. මේ හුඟක් ළමයි කුරුණෑගලටවත් ගිහින් තිබුණෙ නැහැ. ඒවගේම ඒ චාරිකාවෙ බර අපි ළමයි පිටම පැටෙව්වෙත් නැහැ. වියදමින් භාගයක්ම දැරුවෙ ගුරු මණ්ඩලය.  


 මේ හැම වැඩකදිම මූලිකත්වය ගන්නෙ පාසලේ ළමයි. මේ නිසා ළමයින්ගෙ සංවිධාන හැකියාව වර්ධනය වෙනවා. ඒ ගොල්ල ප්‍රායෝගික මිනිසුන් විදිහට තමා පාසලෙන් එළියට යන්නෙ. විභාග පාස්කරනවා වගේම කාර්යදක්ෂ අවංක සංවේදී පිරිසක් විදිහට මේ අය සමාජයට ලොකු සේවයක් කරයි.


අජිත් පුෂ්පකුමාර සිය පැතුම පවසමින් අපේ පිළිසඳර නිමාකළේය. හෙට දවසේ මේ පුංචි රට තුළ රුග්ගස්සාගාර විදුහල අදටත් වඩා බැබළෙනු දැකීම අපගේද පැතුමයි.

 

 

■ ශාන්ත කුමාර විතාන