ලොවක් දිනන පිඟන් භාණ්ඩ හදන ගමේ තරුණිය


 

ගමේ තරුණියක් පිඟන් භාණ්ඩ නිෂ්පාදනය කරනව කියන එක  වනිතා පරපුරටම ලොකු අභිමානයක් වගේම ආදර්ශයක්. ඌව පළාත වගේ දුෂ්කර පළාතක මේ වගේ නිෂ්පාදනාගාරයක් ඇතිවීමත් විශේෂත්වයක්.


ඉරිදා ලංකාදීපය වෙනුවෙන්, මෙම ව්‍යවසායිකාව සොයාගෙන ගියා.


බදුල්ල,දමන්වර ගම්මානයේ  ජීවත්වෙන  මෙම ව්‍යවසායිකාවගේ නම ජයසුන්දර මුදියන්සේලාගේ දිල්හානි ප්‍රියංගිකා. ඇය තම නිවසට යාබදව කුඩා කාමර දෙකක මෙම පිඟන් භාණ්ඩ නිෂ්පාදනය කරනවා.


සුහද පිළිගැනීමකින් පසු, අපි කුඩා නිෂ්පාදනාගාරය නැරඹුවා.


පිඟන්. වතුර ජෝගු, ඩිනර් සෙට්,  ටී.සෙට්, නිවාස හා උද්‍යාන අලංකරණ, සමරු තිළිණ, මූර්ති යනාදි බොහෝ නිර්මාණ ඉතා උසස් ප්‍රමිතියෙන් නිපදවා ඇති අයුරු දක්නට ලැබුණා. ඒවා නිෂ්පාදනය කරන අයුරු පිළිබඳව  ක්‍රියාකාරකම් මගින්ම අප දැනුවත් කළ දිල්හානි,  අප සමග කතාබහ ඇරඹුවා.


ප්‍ර : කොහොමද?  මේ වගේ නිෂ්පාදනයට යොමුවුනේ ?


උසස්පෙළ ප්‍රථිපල අනුව මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරුණා. විශ්ව විද්‍යාලයට යන්න කලින් මම හිතුවේ චිත්‍ර හෝ මූර්ති  යන විෂයන් දෙකෙන් එකක් කරන්න. විශ්වවිද්‍යාලයට යන කල් දැනගෙන හිටියෙ නැහැ ඒ පාඨමාලාව ඇතුළෙ විෂයන් 9 ක් තියෙනව කියල. රොටේෂන් පීරියඩ් එකක් දෙනවා.  ඒ කාලය තුළ  විෂයන් 9 ක් ඉගෙනගන්න තියෙනවා. සෙරමික් කියන විෂයට තමයි මාව තේරිලා තිබුණේ.මට වැඩියෙන්ම ලකුණු තිබුණෙත් එම පාඨමාලාවට. 
ගුරුවරු කිව්වෙ  මේ පාඨමාලාව ඇතුළෙ චිත්‍ර සහ මූර්තිත් තියෙනවා කියලා. මං උස්සපෙළ දක්වා චිත්‍ර විෂය ඉගෙන ගත්තා. ඊට අමතරව  ඉස්කෝලෙ යන දවස්වල ඉඳලම  විවිධ අත්කම් නිර්මාණ කළා. මගේ තාත්තා චිත්‍ර වලට  දක්ෂයි. තාත්තා දැව ගෘහ භාණ්ඩ හා මූර්ති නිපදවනවා. ඉතින් තාත්තා යතු ගාල ඉවත දාන දැව සුබුළු වලින් මම විවිධ චිත්‍ර නිර්මාණය කළා.   


මේ හැමදේම  එක්ක  මම  එම පාඨ මාලාව තෝරාගත්තා. ඒක අවුරුදු 4ක උපාධි පාඨමාලාවක්. 


ප්‍ර : නිෂ්පාදන කරන්න පටන්ගත්තේ  කවදද ?


විශ්වවිද්‍යාලයේ  අධ්‍යයන කටයුතු කරන අතුරතුරදීම  නිවසේ සිට අත්හදා බැලීම් කළා. ඒවා සාර්ථක වුනා. ඒවගේ ගෙදරදි කරපු පිඟන් නිෂ්පාදනයක් ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කළ ශිල්ප   අභිමානි තරගාවළියට ඉදිරිපත් කළා. ඇත්තෙන්ම තාත්තා  තමයි ඒකට උනන්දු කළේ.
එම නිර්මාණයට ඌව පළාත් ප්‍රථම ස්ථානය (රන් සම්මානය) සහ ඌව පළාත් සමස්ත ප්‍රදර්ශනයේ ප්‍රථම ස්ථානය හිමිවුණා. ඒ සමගම මට ලොකු හයියක් හිතට දැනුණා. මං හිතාගත්තා කවදාහරි විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත්තට පස්සේ රජයේ රැකියාවක් නොකර  ස්වයං රැකියාවක්  හැටියට මගේම පිඟන් භාණ්ඩ නිෂ්පාදනාගාරයක් පටන් ගන්න. මං ඒ විදිහටම කළා. 


ගෙදර කාමරයක මුලිළින්ම නිෂ්පාදනය පටන්ගත්තා. මගේ නිෂ්පාදනාගාරයට GLEAM CERAMIC COMPLEX  යන නමත් දැම්මා. ජාතික ශිල්ප සභාව, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මගේ නිෂ්පාදන බලන්න ආවා. ඔවුන් මට නිෂ්පාදනය දියුණු කරන්න උදව්කරන්න පොරොන්දු වුණා.නිෂ්පාදන සඳහා වෙළෙඳද පොළක් සොයාගැනීමට   ජාතික ශිල්ප සභාව විසින් හදුන්වාදුන් CSRYSALIS  නැමති ආයතනය  සහාය වුණා.


ප්‍ර : ඉතිං ඊට පස්සෙ ?


ඊට පස්සේ තමයි‍ නිෂ්පාදනය වැඩිකළේ.  කාමරේ  ඉඩමදි නිසා තාත්තා දැව කර්මාන්තය කරගෙන ගිය පුංචි වැඩපොළ මට දුන්නා.


ඒකත් ගෙට යාබදව තියෙන්නේ. දැන් ඒ කොටසේ මගේ නිෂ්පාදනාගාරය පවත්වාගෙන යනවා. සේවක සේවිකාවන්  තිදෙනෙකුට රැකියාව දුන්නා. වැඩි වෙන ඉල්ලු‍ම සපුරාලීමේදී නිෂ්පාදනයට මෙම ඉඩකඩ දැන්නම් ප්‍රමාණවත් නැහැ. මොකද, දේශීය වෙළෙඳපොළට වගේම විදේශීය වෙළෙඳ පොළටත් ලැබුණ  ඇනවුම් අපි මේ  දවස්වල කරගෙන යනවා. සියළු නිර්මාණ මාගේම නිර්මාණ.


දේශීය වශයෙන්  පිඟන් සෙට්, ටී සෙට්, නිවාස හා උද්‍යාන අලංකරණ, සමරු තිළිණ, ඩිනර් සෙට්, වගේ නිෂ්පාදනවලට ලොකු ඉල්ලු‍මක් තියෙනවා. කෙටියෙන්ම කියනව නම්, අපි නිපදවන්නේ නැත්තේ නාන කාමර කට්ටල පමණයි.


ප්‍ර : දැන් මෙහෙම දියුණුව ලබද්දි  අගැයීමක් ලැබුණද ?


ඔව්. කාර්මික සංවර්ධන මණ්ඩලය  2023 වසෙරේ සංවිධානය කළ ජාතික කර්මාන්ත තරගාවලියේදී ක්ෂුද්‍රපරිමාණ  අංශයෙන් රන් සම්මානය  හිමිවුණා. මට  නොබෝදා ලැබුණු අලුත්ම සම්මාන දෙකක් තියෙනවා. වාණිජ හා කර්මාන්ත මණ්ඩලය හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය සංවිධානය කළ ඌව අභිමානී සම්මාන ප්‍රදානයේදී ක්ෂුද්‍ර නිෂ්පාදන අංශයේ ප්‍රථම ස්ථානයට හිමිවෙන රන් සම්මානයත් වසරේ විශිෂ්ඨතම නවෝත්පාදන අංශයේ විශිෂ්ඨතමයා හට හිමිවෙන රන් සම්මානයත් ලැබුණා.


ප්‍ර : අලුත් නිර්මාණ තියෙනවද ?

 
රතුමැටිවලින් නිෂ්පාදනය පටන්ගත්තා. ඒ මැටි මේ ගම්මානයේ තිබෙනවා. අපේ වත්තෙත් තියෙනවා. මම අලුතින්ම කරපු අත්හදාබැලීම නෙළුම්කොළය ‘ප්‍රෙස්’ කරලා කරන පිඟන් නිෂ්පාදනය. මේ පිඟන් සඳහා මේ වෙන විටත් විදේශීය රටකින්  ඇනවුමක් ලැබිල තියෙනවා.


ඒ වගේම ‍‘ෆ්‍රී හෑන්ඩ් ඩිසයින්’ දාල පිඟන් හදනවා. ඒකෙ විශේෂත්වය තමයි එක වගේ නිර්මාණ දෙකක් කවදාවත් හැදෙන්නේ නැතිවීම.


ප්‍ර : දැන් මොනවද හිතන්නේ ?


මේ දවස්වල මේ නිෂ්පාදනාගාරය පුළුල් කරන්න සැලසුම් කරගෙන යනවා.ඒ සඳහා  නව කර්මාන්ත ශාලා ගෙඩනැගිල්ලක් ඉදිකිරීමට බදුල්ල ප්‍රාදේශීය ලේකම්  කාර්යාලය හා  බදුල්ල දිස්ත්‍රික් ඉඩම් කාර්යාලය එකතුවී  ඉඩමක් ලබාදුන්නා. කාර්මික සංවර්ධන මණ්ඩලය, ජාතික ශිල්ප සභාව, NEDA ආයතනය CARYSALIS   ආයතනය  RDB  බැංකුව.  ඇතුළු රාජ්‍ය, රාජ්‍ය නොවන හා අර්ධ රාජ්‍ය ආයතන මට උදව් කරනවා.


ප්‍ර : මේ ඔක්කොම උදව් ලැබුණේ ඔබ වැඩ පෙන්නුවට පස්සෙ කිව්වොත් හරිද ?


ඔව්, මුලදි මට මේක සිහිනයක් වුණා. දැන් සිහිනය සැබෑ වෙලා.


නව කර්මාන්තශාලාව ආරම්භකළ පසු දිස්ත්‍රික්කයේ ගම්බද කාන්තාවන් 150 කට පමණ රැකියා දෙන්න මම බලාපොරොත්තු වෙනවා.
ඒ සඳහා තෝරාගන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ කාන්තා මූලික පවුල් වල  සාමාජිකාවන් බවත් පැමිණි ගමන් මගේ උදව් කළ සියළු දෙනාට පින්.

 

 

බදුල්ලේ 
පාලිත ආරියවංශ