ලොව විශ්මිතම ගොතික් මාළිගා


 

 

  • ජර්මනියේ කොලෝන් නුවර ‘කොලෝන්’ ආසන දෙව්මැඳුර, තවත් ලෝක ප්‍රකට සංචාරක ආකර්ෂණයක් ලෙස සැලකෙන විශිෂ්ට ගොතික් නිර්මාණයකි. එය උතුරු යුරෝපයේ විශාලතම ගොතික් දෙව් මැඳුර ලෙස ද සැලකෙයි. අඩි 515 ක් උසැති දැවැන්ත ද්විත්ව කුලු‍නුවලින් එය සමන්විතය. 

ගොතික් ගෘහ නිර්මාණ සියවස් ගණනාවක් තිස්සේ නරඹන්නන් ආකර්ෂණය කර ගැනීමටත්, විස්මයට පත් කිරීමටත් හේතුවක් වී ඇත. දෙව් මැඳුරුවල සිට ගාම්භීර මාලිගා දක්වා, මෙම විස්මයජනක ව්‍යුහයන් අද අතීතයට නෙත් යොමු කරන දොරටු වැනිය. යුරෝපයේ සිට උතුරු ඇමරිකාව දක්වාත්, ලොව පුරා බොහෝ ආකර්ෂණීය ගොතික් ගෘහ නිර්මාණ දකින්න ලැබේ. 


ගොතික් වාස්තු විද්‍යාත්මක ගෘහ නිර්මාණ ශෛලිය 12 වැනි 16 වැනි සියවස් අතර යුරෝපයේ ප්‍රචලිත එකකි. යුරෝපයේ පුනරුදය සමයේ ඉතාලි ලේඛකයන් විසින් නිර්මාණය කළ ‘ගොතික්’ යන වදනින් ඔවුන් හැඳින් වූයේ යල් පැනගිය මධ්‍යකාලීන යුගයට අයත් ගෘහ නිර්මාණ හා ඒ ආශ්‍රිත විසිතුරු හැඩතල, ප්‍රතිමා, සංකීර්ණ චිත්‍ර රටා යෙදූ අභ්‍යන්තර ගෘහ අලංකරණ ඇතුළත් කලා සම්ප්‍රදායට ය. 5 වන සියවසේ දී රෝම අධිරාජ්‍යය ආක්‍රමණය කළ ගොතික් ගෝත්‍රික බාබේරියන්වරුන් විසින් එහි පැවති පැරණි රෝම කලා සම්ප්‍රදායන් විනාශ කොට ඒ මත ගොඩනැඟූ සම්භාව්‍ය නොවූ ‘අවලස්සන සම්ප්‍රදාය’ ඉතාලි ලේඛකයන් හැඳින්වූයේ ගොතික් කලා සම්ප්‍රදාය ලෙසයි.


ගොතික් ගෘහ නිර්මාණ ගැන සිහියට නැගෙද්දී, කාගේත් අවධානයට ලක් වන ලෝක පූජිත ගොතික් නිර්මාණ කීපයකි. ඒ අතරින් අංක එකට කැපී පෙනෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවර ‘නොත්‍රදාම්’ දෙව් මැඳුරුය. ‘නොත්‍රදාම්’ දෙව් මැඳුර ගැන කතා කරද්දී අපගේ සිහියට නැගෙන්නේ හික්ටර් හියුගෝ රචිත ‘හන්ච්බෑක් ඔෆ් නොත්‍රදාම්’ එසේත් නැතිනම් ‘නොත්‍රදාමයේ කුදා’ගේ කතාවය. මෙම නවකතාව ඇසුරින් බිහිවුණු සිනමා නිර්මාණ කීපයක් ද වෙයි. 


පැරිසියේ නොත්‍රදාම් ආසන දෙව්මැඳුර, එහි අලංකාර ගොතික් ගෘහ නිර්මාණ ශිල්පය සහ සංකේතාත්මක ලක්ෂණ සඳහා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ විදෙස් සංචාරකයන් ද ආකර්ෂණය කර ගනිමිනි.  පැරිසියේ රදගුරු මොරිස් ඩී සුලිගේ මෙහෙයවීමෙන්, වර්ෂ 1163 දී මෙම තේජාන්විත ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ වූ අතර, එය බොහෝ දුරට 1260 වන විට නිම කරන ලදී. ඉන්පසු අවස්ථා ගණනකදී දෙව් මැඳුර වෙනස්කම්වලට ලක් විය. ‘නොත්‍රදාමය’ පැරීසියේ දේශපාලන, ආර්ථික, බුද්ධිමය සහ සංස්කෘතික බලය දේශීය මෙන්ම  විදේශීය වශයෙන් සංකේතයක් බවට පත් වූ අතර, වාර්ෂිකව මිලියන 13 ක් පමණ නරඹන්නෝ මේ දෙව් මැඳුර නැරැඹීමට පැමිණෙති. ප්‍රංශයේ ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් ද වන නොත්‍රදාමය යුනෙස්කෝ ලෝක උරුමයකි. විස්මය දනවන නොත්‍රදාම් ආසන දෙව්මැඳුරේ දිග අඩි 420 කි. පළල අඩි 157 කි. උස අඩි 115කි. මධ්‍යම ගර්භයේ වහලේ උස මීටර් 35 කි.

 


ප්‍රංශයේ මධ්‍යකාලීන ගොතික් ගෘහනිර්මාණ ශිල්පයේ ශක්තිය සහ අලංකාරය ඉස්මතු කරමින් නොත්‍රදාම් දෙව්මැඳුරේ ඔරොත්තු දීමේ හැකියාව, ගුරුත්වාකර්ෂණය නොතකන එහි සැලසුම මෙන්ම සවිස්තරාත්මක ඉතිහාසය හේතුවෙන් එය නැරඹිය යුතුම සංචාරක ගමනාන්තයකි. වසර 100 ක ඉතිහාසය පුරා, නොත්‍රදාම් දෙව්මැඳුර යුද්ධවලටත්, විප්ලවවලටත් මුහුණ දුන්නේය. ඒ කිසිවකින් දෙව් මැදුරට හානියක් සිදුනොවිණි. 2019 දී අවාසනාවන්ත දෙයක් සිදුවිය. ඒ, දෙව් මැඳුරේ, ගින්නක් හට ගැනීමය. කෙසේ නමුත් දෙව් මැඳුර  ගින්නකට හසුවුණු පළමු අවස්ථාව මෙය නොවෙයි. එහෙත් 2019 ගින්නෙන් සිදුවුණු හානිය අතිමහත්ය. එම සිද්ධිය මුළු ලොවම කම්පා කළේය. ඒ අවස්ථාවේ දී නොත්‍රදාමය පැවති අයුරින්ම යළි පිළිසකර කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ප්‍රතිඥා දුන්නේය. ඒ අනුව, දෙව්මැඳුරේ පිළිසකර කටයුතු ලහිලහියේ සිදුවෙමින් පවතී. එම කටයුතුවලට සහභාගී වන ශිල්පීන්ගෙන් බොහෝ දෙනකු ඔවුන්ගේ සේවය නොමිලේ ලබා දෙන බවද පැවැසෙයි. 


තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි ‘හගියා සොෆියා’ පුරාණයේ, රෝමානු කතෝලික දේවස්ථානයකි. ඔටෝමාන් අධිරාජ්‍ය  සමයේ එය මුස්ලිම් පල්ලියක් බවට පත් කෙරුණි. තුර්කි ජනරජය බිහිවීමෙන් පසු එය කෞතුකාගාරයක් ලෙස නම් කෙරුණි. ඒ අනුව, වසර 1,500 ක් පැරණි, හගියා සොෆියා යුනෙස්කෝ ලෝක උරුමයක් විය. 2020 වසරේ දී ‘හගියා සොෆියා’ යළිත් මුස්ලිම් පල්ලියක් ලෙස නම් කරන්නැයි තුර්කියේ අධිකරණයක් තීන්දු කළේය. ඒ අනුව, හගියා සොෆියා මුස්ලිම් පල්ලියේ දේව මෙහෙයක් පැවැත් වුණු අතර එය සිදුවූයේ පල්ලිය තුළ ඇති ජේසු තුමන්ගේ සහ මරියා මවුතුමියගේ ප්‍රතිමා ආවරණය කරමිණි.  


හගියා සොෆියා කෞතුකාගාරය මුස්ලිම් දේවස්ථානයක් ලෙස නම් කිරීමට තුර්කි රජය පියවර ගැනීම බොහෝ දෙනාගේ අප්‍රසාදයට හේතු විය. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් පවා ඒ ගැන කනස්සල්ල පළ කළේය. වර්ෂ 330ත් 395ත් අතර කාලයේ, රෝම අධිරාජ්‍යයේ අගනුවර වූයේ කොන්ස්තන්තිනෝපලයයි. රෝම අධිරාජ්‍යය පැවැති සමයේ 1923 දී තුර්කි ජනරජය ස්ථාපිත කරද්දී, තුර්කියේ අගනුවර ලෙස තෝරා ගනු ලැබුවේ අන්කාරා නුවරය. 1930 දී, කොන්ස්තන්තිනෝපලය වෙනස් විය. ඒ, ඉස්තාන්බුල් ලෙසිනි. කොන්ස්තන්තිනෝපලය ඉස්තාන්බුල් ලෙස වෙනස් කරනු ලැබුවේ තුර්කි ජනරජය පිහිටුවීමෙහිලා පුරෝගාමියා පමණක් නොව තුර්කියේ ප්‍රථම ජනාධිපතිවරයා ද වූ මුස්තාෆා කමාල් අටාටුක්ගේ මූලිකත්වයෙනි. කිතුනුවන්ට පමණක් නොව ඉස්ලාම් බැතිමතුන්ට ද වැදගත් ස්ථානයක් බව වටහා ගනිමින්, ‘හගියා සොෆියා’ කෞතුකාගාරය කෞතුකාගාරයක් කළේත්, එය ලෝක උරුමයක් ලෙස නම් කරන්නැයි ඉල්ලීමක් කළේත් අටාටුක් ය. ඒ අනුව, 1934 දීය. හගියා සොෆියා කෞතුකාගාරයක් ලෙස නම් කෙරුණි.   
තුර්කියේ ඉස්තාන්බුල් නුවර ‘හගියා සොෆියා’ යනු ගොතික් පමණක් නොව, ඉස්ලාමීය ගෘහ නිර්මාණ ශිල්පය ද මුසුවුණු ගොඩනැගිල්ලකි. හය වැනි සියවසේ බයිසැන්තියානු අධිරාජයා වූ ජස්ටිනියන් විසින් ‘හගියා සොෆියා’ ඉදිකරනු ලැබූ බව පැවැසෙයි. ‘හගියා සොෆියා’ සියවස් ගණනාවක් පුරා බයිසැන්තියානු ගෘහ නිර්මාණ ශිල්පයේ අත්‍යවශ්‍ය සංකේතයයි. ඔටෝමාන්වරු එහි මුල් ව්‍යුහයෙහි සැලකිය යුතු ලෙස වෙනස් නොකර, පවතින ගෘහ නිර්මාණ ශිල්පයට මිනාර හතරක් සහ මිහ්රාබ් වැනි ඉස්ලාමීය ලක්ෂණ එකතු කළහ. ‘හගියා සොෆියා’ වසර දහසකට ආසන්න කාලයක් ලොව විශාලතම ආසන දෙව්මැඳුර විය. ‘හගියා සොෆියා’ හි බයිසැන්තියානු සහ ඉස්ලාමීය ලක්ෂණ ඒකාබද්ධ වී සංස්කෘතියේ සහ අලංකාරයේ අද්විතීය සම්මිශ්‍රණයක් නිර්මාණය කර තිබේ. රන් දොරටුව, මොසෙයික් සහ කිරිගරුඬ කුලු‍නු ‘හගියා සොෆියා’ සිත් ඇදගන්නා ස්ථානයක් බවට පත් කර අවසන්ය.


ජර්මනියේ කොලෝන් නුවර ‘කොලෝන්’ ආසන දෙව්මැඳුර, තවත් ලෝක ප්‍රකට සංචාරක ආකර්ෂණයක් ලෙස සැලකෙන විශිෂ්ට ගොතික් නිර්මාණයකි. එය උතුරු යුරෝපයේ විශාලතම ගොතික් දෙව් මැඳුර ලෙස ද සැලකෙයි. අඩි 515 ක් උසැති දැවැන්ත ද්විත්ව කුලු‍නුවලින් එය සමන්විතය. 1996 වසරේ දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කෙරුණි. දෙව්මැඳුරේ බාහිර පෙනුම විස්මිතය. දෙව් මැඳුර ඉදිකර නිමා කිරීමට වසර 600 කට වැඩි කාලයක් ගත වූ බව පැවැසෙයි. ආසන දෙව්මැඳුර ඇතුළත පටු මධ්‍යම අන්තරාලයකින් සමන්විතය. දෙපසින් තවත් අන්තරාල දෙකකි. විනිවිද පෙනෙන ආකාරයේ, නවීන ලෝකඩ පූජාසනයකින් සමන්විත වෙයි. ඊට පිටුපසින්, ගායන කුටි 1308 සිට 1311 දක්වා කැටයම් කර තිබේ. අනෙකුත් අරුම පුදුම දේ අතර, පුරාණ, ස්වර්ණාභරණ සහිත සර්කෝෆගස්, තුන් ශුද්ධ රජවරුන්ගේ සිද්ධස්ථානය ද දෙව්මැඳුරට ඇතුළත් කර තිබේ.

 

 

ලු‍සිත ජයමාන්න