ලාංකීය සිනමාවට සීවලියෙන් රොකට් එකක්


ලංකාවේ පාසල් ඉතිහාසයේ ප්‍රථම වරට පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ පමණක් නිර්මාණ දායකත්වයෙන් නිෂ්පාදනය වන ප්‍රථම සිංහල දිගු  චිත්‍රපටය රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය විසින් නිර්මාණය කර තිබේ. එම චිත්‍රපටයෙහි ගී මුහුරත් උළෙල පසුගියදා රත්නපුර “Grand Guardian” හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණි. මෙම චිත්‍රපටය “රොකට්”‍ ලෙස නම් කර ඇති අතර මෙහි විශේෂත්වය වන්නේ චිත්‍රපටියට අදාළ සියලුම අංග එම විද්‍යාලයේ දරුවන්ගේ වීමයි.


පිටපත් රචනය, අධ්‍යක්ෂණය, සහාය අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණය, කලා අධ්‍යක්ෂණය, ආලෝකකරණය, සංස්කරණය, සංගීත අධ්‍යක්ෂණය, ගී තනු නිර්මාණය, පද රචනය, අංග රචනය, හඬකැවීම් අධ්‍යක්ෂණය, ග්‍රැෆික් නිර්මාණ, ගීත ගායනය සහ රංගන දායකත්වය දරුවන් විසින් සිදු කරනු ලබයි. මෙම චිත්‍රපටය, 2024 වර්ෂයේදී ලංකාවේ සියලු‍ම සිනමා ශාලාවල තිරගත කිරීමට නියමිතය.


ගීත එළිදැක්වීමේ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්  ප්‍රවීණ චිත්‍රපටි හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ රාජ්‍ය චිත්‍රපටි සංස්ථාවේ සිනමා පාඨශාලාචාර්ය හිටපු රැඟු‍ම් පාලක මණ්ඩලයේ සභාපති, ටවර් හෝල් පදනම හිටපු අධ්‍යක්ෂ ජනරාල් සරත් ධර්මසිරි මහතා සහභාගි විය.
මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමේදී දරුවන් සමග කටයුතු කළ එම විද්‍යාලයේ ආචාරිනී සීවලී ස්වර්ණ හරිත සිනමා සංගමය භාර ආචාර්ය,  සීවලී මධ්‍ය විද්‍යාලයේ නර්තන හා නාට්‍ය විෂයභාර එන්.ඒ. සකුන්තලා මුණසිංහ මහත්මිය එම චිත්‍රපටය පිළිබඳව අප හා මෙලෙස අදහස් දැක්වූවාය.


“අපේ පාසලේ  සිනමා සංගමයක් තියෙනවා සිවලී ස්වර්ණ හරිත කියලා. ඒ සංගමයෙන්  මුලින්ම කළේ  “සේයා”‍ කියලා කෙටි චිත්‍රපටයක්.  අපි ඒක ජාතික පුවත්පත් කලාවේදීන්ගේ සංගමයට ඉදිරිපත් කළා. ඒක විනාඩි විස්සක විතර එකක්. ඊට පස්සේ   “සේයා”‍  කෙටි චිත්‍රපටයේ තිර පිටපත ලියපු පුතාම යෝජනාවක් ගෙනාවා. මිස් අපි මීට වඩා ලොකු චිත්‍රපටයක් කරමු කියලා. පාසලේ සිනමා සංගමයේ අදහස් විමසීමෙන් පස්සේ දරුවන් තුළින් තමයි දිගු චිත්‍රපටයක් කරමු කියන අදහස ආවේ. චිත්‍රපටය පටන් ගන්න මුල් කාලයේ පාසල්වල ළමයින් වැඩි වශයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා තිබුණේ. ඒ නිසා අපි හිතුවා ඒ වගේ දෙයක් පාදක කරගෙන චිත්‍රපටය කරමු කියලා. අපි ව්‍යංගයෙන් තමයි මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වන හානිය සිනමා පටයෙන් හෙළිදරව් කරන්නේ. නව තාක්ෂණය සමග මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි නොවී තමන්ගේ ඉලක්කවලට යන්නේ කොහොමද කියලා කියන එක තමයි මේ සිනමා පටයෙන් කියැවෙන්නේ. මෙම චිත්‍රපටය පැය දෙකකට ආසන්න ප්‍රමාණයක් තිරගත වෙනවා.
“2022 නොවැම්බර් මාසයේ තමයි මෙම චිත්‍රපටයේ වැඩ පටන් ගන්නේ. අගෝස්තු මාසයේ රූගත කිරීම් අවසන් කළා. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්න ලොකු වියදමක් ගියා. මේ පාසල මමත් ඉගෙන ගත්ත පාසල. මට ඕනි උනා මේ දරුවන්ගේ හැකියාවන් එළියට ගන්න. ඒ නිසාම මම, මට  ලැබෙන ගුරු වැටුප සම්පූර්ණයෙන් මේ චිත්‍රපටය සඳහා යෙදෙව්වා. මගේ මහත්මයා, මහත්මයගේ තාත්තා, මුදල් ලබා දුන්නා මේ කටයුතු සඳහා. ඒ වගේම අපේ ආදි ශිෂ්‍යයන්, ව්‍යාපාරික ආයතන, චිත්‍රපටයට සම්බන්ධ දරුවන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා දායකත්වය ලබා දුන්නා. අපේ පාසලේ, කලා, තාක්ෂණ, විද්‍යා, වානිජ, ඇතුළු හැම දරුවෙක්ම මේ කටයුතුවලට සම්බන්ධයි.


සිනමා සංගමයේ නිලධාරි මණ්ඩලය විසින් නිෂ්පාදක කණ්ඩායම තෝරාපත් කිරීමෙන් අනතුරුව නිෂ්පාදක කණ්ඩායම විසින් සම්මුඛ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූවා. ඉන්පසු විදුහල්පතිතුමා වෙත මෙම ව්‍යාපෘතිය ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගත්තා. පාසලක ක්‍රියාත්මක කිරීමට අපහසු තරම් විශාල ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබා දීම අප ලැබූ ජයග්‍රහණයක්.
ඉන් අනතුරුව රූගත කිරීම් සඳහා ස්ථාන නරඹා අපට අවශ්‍ය වූ ස්ථාන තෝරා ගැනීමට කටයුතු කළා. ඒ අනුව 2022 දෙසැම්බර් මාසයේ පිරිස සමග එකතු වී සාකච්ඡා කොට දිගු චිත්‍රපටයක් නිර්මාණය කිරීමට තීරණය කළා. 
පිටපත ලියා අවසන් වූ පසු පෙබරවාරි මාසයේ මුල සිට රූගත කිරීම් ආරම්භ කළා. ඊට අවශ්‍ය කැමරා, ආලෝක උපකරණ සපයා ගැනීම අභියෝගයක් වූ නමුත් කැමරා ආදි ශිෂ්‍ය සම්පත් ගුණසේන මහතා වෙතින් හා කුලියට ලබාගෙන ආලෝක උපකරණ අප කණ්ඩායම විසින්ම සකසා ගත්තා.”‍


“බාධක, අභියෝග රැසක් මැද පාසල් අධ්‍යයන කටයුතු අතපසු නොවන ලෙස මෙම සිනමාපටයේ රූගත කිරීම් මාස 7 ක් වැනි කෙටි කාලයකින් අවසන් කිරීමට අප කණ්ඩායමට හැකි වුණා.


ඔක්තෝබර් මාසයේ මුල සිට අප සංස්කරණ කටයුතු හා හඬකැවීම් කරමින් ඉන්නවා. ඒ අතරතුර අප සිනමාපටයේ ගීත දෙකක් එළිදැක්වීම ඔක්තෝබර් 21 සෙනසුරාදා  කුරුවිට “ග්‍රෑන්ඩ් ගාඩියන්”‍ හෝටල් පරිශ්‍රයේ දී උත්සවාකාරයෙන් සිදු කළා.
මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමේදී, පාසල් ප්‍රජාව, ආදි සිසුන්, දෙමාපියන්, ව්‍යාපාරික ප්‍රජාව, රත්නපුර හා ඇලපාත පොලීසියේ කාර්ය මණ්ඩලය, ග්‍රෑන්ඩ් ගාඩියන් සහ ලේක් සෙරනිටි හෝටල්, ජාතික චිත්‍රපට සංස්ථාව, තිස්ස නාගොඩවිතාන පදනමේ විධායක නිෂ්පාදක, කොළඹ විශ්වවිද්‍යාලයීය නීති පීඨයේ කථිකාචාර්ය විසාකේස චන්ද්‍රසේකරන්, ආදී බොහෝ පිරිසක් තම ශ්‍රමයෙන්, ධනයෙන්, භෞතික සම්පත්වලින් ආදී නොයෙක් ආකාරයෙන් මීට අනුග්‍රහය දැක්වූවා.
අපි චිත්‍රපටය පටන් ගන්නකොට මුලින්ම කැමරාවක් ලබා දුන්නේ ආදි ශිෂ්‍යයෙක්. පස්සේ කුලියට කැමරා ලබා ගත්තා. ලොකු අභියෝග හමුවේ තමයි මේ සිනමා නිර්මාණය දරුවන් නිර්මාණය කළේ. අපේ පාසලේ විදුහල්පතිතුමා ඇතුළු සියලු‍ම ගුරුවරුන්, කාර්ය මණ්ඩලය, රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය, හොටෙල් ආයතන ඇතුළු විශාල පිරිසක් මේ සඳහා උදව් උපකාර කළා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි.”


සිවලී මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති නීල් වතුකාරගම මහතා මෙම චිත්‍රපටය පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය.
සිනමා පටයක් කියන්නේ ලේසියෙන් කරන්න පුළුවන් කටයුත්තක් නෙමෙයි. එහෙත් අපි දරුවන් වෙනුවෙන් ඒ අභියෝගය බාර ගත්තා. මේ සඳහා මග පෙන්වීම කළේ අපේ පාසලේ නාට්‍ය හා රංග කලා අංශයේ සකුන්තලා මුණසිංහ ගුරු මහත්මිය.
මෙම චිත්‍රපටය සඳහා දායක වූ දරුවන් පොදුවේ ප්‍රකාශ කළේ අභියෝග මැඩගෙන ඉදිරියට යන්නට මුල සිට සිවලීයන්ට හුරු කර ඇති බවයි. පවතින වාතාවරණය මත මෙවැනි කටයුත්තක් සිදු කිරීමම ලැබූ ජයග්‍රහණයක් බව ඔවුහු පැවසූහ. කෙටි චිත්‍රපට නිෂ්පාදනයෙන් පසුව මෙවැනි දැවැන්ත සිනමා කාර්යක් සිදු කිරීම අදහස් කළ බවත් ඒ සඳහා විද්‍යාලයෙන් හා බොහෝ පිරිසක් උදව් උපකාර කළ බව ඔවුහු පැවසූහ.


දෙස්, විදෙස් ජනතාවගේ ආදරය දිනාගත් ජෝ අබේවික්‍රම ඇතුළු කලාකරුවන් විශාල පිරිසක් සිවලී විද්‍යාලය විසින් සමාජයට දායද කර තිබේ. දරුවන්ගේ හැකියා හඳුනාගෙන එය අභියෝගයක් කර නොගෙන ඔවුන්ට ඉදිරියටත් මෙවැනි කාර්යන් සිදු කිරීමට ශක්තිය ලැබේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.

 

 

■ කලවාන උපේන්ද්‍ර
 ප්‍රියංකර   ජාතුංග සහ
රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා