ලන්දේසි ආණ්ඩුකාරයාගේ හිතගිය කුමාර වීදිය


කමකට නැති ගිනි මද්දහනකි. ඉහින් කනින් දාඩිය උතුරන අණක් ගුණක් නැති මේ ග්‍රීස්ම සෘතුවේ හැටි මෙහෙමය. කොළඹ වීදි දිගේ මෙවර අපගේ සංචාරය වූයේ හරි අපූරු වූ මාවතකය. ඒ යුගයක මතක සුරකින, සුද්දන් තවමත් හොල්මන් කරන ලන්දේසි ආණ්ඩුකාරවරයාගේ නිවහන අදටත් වැජඹෙන කුමාර වීදියයි.   

ජනප්‍රවාදයේ ලියවී තියෙන විදිහට අනුව ලන්දේසින් කුමාර වීදිය ලෙස නම තබා ඇත්තේ මහනුවර දෙවැනි රාජසිංහ රජු​ෙගේ පුත් කුමරු සිහිපත් කිරීමට බව පොත පතේ සඳහන්ය.   


කොළඹ වීදි අතුරින් අදටත් මෙම වීදිය හඳුන්වන්නේ කුමාර වීදිය නොහොත් Prince Street යනුවෙනි. වීදුරු වෙෙළඳසැල් ඇතුළු සාප්පු බහුල කුමාර වීදියේ දෙමහල් විශාල ඕලන්ද ගොඩනැගිල්ල වන ලන්දේසි ආණ්ඩුකාරවරයාගේ නිවස අද කෞතුකාගාරයකි එය ප්‍රථමයෙන් අනාථ නිවාසයක් මෙන්ම පසුව තැපැල් කාර්යාලයක් ලෙසත් භාවිතා කළ බවට ඉතිහාසයේ සඳහන් වේ. කෙසේ වෙතත් මෙම ලන්දේසි ආණ්ඩුකාරවරයාගේ නිවස ඇරෙන්නට එදා ලන්දේසින් තැනූ ගොඩනැගිලි අද පිටකොටුවේ දක්නට නැත.   
පෘතුගීසින් ප්‍රථමයෙන්ම කොටුව තනා ඇත්තේ වෙෙළඳ ගබඩා පිහිටුවීමට බව ලේඛනවල සඳහන්ය. එකල කපිතාන් රෝ ආඕ සිල්වේරාගේ නායකත්වයෙන් යුතු සේනාංකයට නිතර පාහේ මුස්ලිම් බැටෑලියන් වලින් පහර එල්ල විය. 1524 දී පෘතුගීසින් කළේ බුවනෙකබාහු රජුගේ සිත සතුටු කිරීමට කොළඹ කොටුව වෙෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමය. 1551 දී රජුගේ ඝාතනයත් සමඟ කොළඹට පත්වූ ආණ්ඩුකාරයාගේ අදහස වූයේ නව කොටුවක් තැනීමය. එහෙත් 1656 වන විට පෘතුගීසි ආධිපත්‍යය බිඳ වැටෙන බව පෙනී ගියේය.   


ලන්දේසින් කොළඹ අල්ලා ගැනීමේදී කොටුවේ පවුරු බොහෝමයක් බිමට සමතලා විය. එකල ඇඳි සිතියම් නිරීක්ෂණයේදී පෙනී යන්නේ කොටුව සහ පිටකොටුව වෙන්වෙන්ව හඳුනා ගැනීමට ඒ දෙක අතර වූ හිස් බිම් තීරු ඉවහල් වූ බවය. පසුව මේ හිස් බිම් කඩ ද වැව් ජලය මගින් පොකුනක් බවට පත්කර තිබූ බව ද එම සිතියම්වල සඳහන්ය.   
1691 දී ලංකාවට පත්කරනු ලැබූ ලන්දේසි ආණ්ඩුකාරයා වූයේ ‘තෝමස් වෑන් රී’ ය. එකල යටත් විජිත වල ආණ්ඩුකාරවරුන් පත්කිරීමේ බලතල සතුව තිබී ඇත්තේ VOC හෙවත් පෙරදිග ඉන්දීය වෙ​ෙළඳ සමාගමටය. කොළඹ නැව් තොටින් මේ සුන්දර භූමියට පා තැබූ තෝමස් වෑන් රී මුලින්ම කර ඇත්තේ ළඟ පාත ඇති වීදි වල පයින් ඇවිද නිරීක්ෂණය කිරීමය.   


සමහර වීදිවල පොල් අතු සෙවිලි කළ කඩ වීදිය, ගල්බදාම බිත්තිත් පේළියට ඉදිකළ කුලුනුත් සහිතව වීදි දෙපසින් සමාන්තරව ගොඩ නගා උළු සෙවිලි කළ වෙළඳසැල් එකල දිවා රාත්‍රිය දෙකේදීම විවෘතව තිබී ඇත. 

 


එකල උස ගොඩනැගිලි කිසිවක් වරායේ සිට බැලූ විට තිබී නැති අතර කොටුවේ වීදි අතරින් ආණ්ඩුකාරවරයාගේ සිත් ගත්තේ කොළඹ නැව් තොටේ සිට ‘හූ’ වක වත් දුරක් නැති කුමාර වීදියේ මලින් පිරී ගිය සුන්දර පරිසරය බව ඉතිහාසයේ සඳහන්ය.   
පාර දෙපස මල්වලින් පිරී ගිය මෙම මාවත එදා ලන්දේසි කාන්තාවන්​ ද ඉතාම ඇලුම් කළ මාවතක් විය. මේ සුන්දර පරිසරයෙන් වශීකෘත වූ ආණ්ඩුකාරවරයා එහි මන්දිරයක් ගොඩනැගුවේය. ඒ 1692 වසරේදීය.   
කුමාර වීදියේ අයිනක ලොකු කණුවල බර දරාගෙන සිටින ඕලන්ද කෞතුකාගාරයේ පහත් වහල, දිග ඉස්තෝප්පුව, එකවර දහපහළොස් දෙනෙකුට විතර ඇතුළු විය හැකි දොර උළුවස්ස. 


උස බිත්ති, ගඩොල් ඇතිරූ සීතල බිම මේ සියලුම සංකලනයන්ගේ ඒකරාශී වූ කුමාර වීදියේ කෞතුකාගාරය අදටත් මහා අභිමානයකි. එමෙන්ම මෙය ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයේ ලක්ෂණ කදිමට දැකගත හැකි අපූරු කැඩපතක් කිවහොත් නිවැරදිය.   


කුමාර වීදියේ  වෙළෙන්දන් ලොකු තරගයකය. එදා මෙන් නිස්කලංක මල් මාවත අද නැත. අද ඕලන්ද කෞතුකාගාරය නැරඹීමට ඔබට ඇති ප්‍රධාන බාධාව වෙන්නේ ද එයට පිවිසීමය. අද කුමාර වීදියේ වාහන නවත්වන්නේ වම්පස බැවින් ඕලන්ද කෞතුකාගාරයට පිවිසීම ඔබට බිහිසුණු අත්දැකීමක් වනු නියතය. මෙම කෞතුකාගාරයට ළංවන්නට දේශීය සංචාරකයින් නොව විදේශීය සංචාරකයින් දරන උත්සාහය ඉතා කටුකය.   


සමහර නාට්ටාමිලාගේ කරත්ත මේ ඉදිරිපිට නවත්වා ඇත්තේ තඩි දම්වැල් දමාය. මෙහි කෞතුකාගාරය වම්පස ඇත්තේ සපත්තු සෑදීමට ගන්නා සම්, අඩි, බොත්තම්, නූල් විකුණන වෙළඳසැල්ය. ඉදිරිපිට ඇත්තේ සෙල්ලම් බඩු, ඉමිටේෂන් බඩු ස්ටේෂනරි තොග සහ සිල්ලර කඩය. මේ ජනාකීර්ණ කඩ අතරේ ඕලන්ද කෞතුකාගාරය පසුකර යන කාටත් මේ කෞතුකාගාරයක් යැයි අදහසක් පහළ නොවන්නේ එහි ඇති වාණිජමය කලබල භාවය නිසාමය.   
“VOC කියන තඹ කාසි, මහන මැෂින්, ලාම්පු තමයි ඕලන්ද කාලේ මේ විදියේ වැඩි ඉල්ලුමක් තිබිලා තියෙන්නේ. ලන්දේසිකාරයෝ ඒ කාලේ කළු පැහැති පූසන්ට දැඩිව ප්‍රිය කළා කියලත් ඔය ඉතිහාස කතාවල තියෙනවා. ඒ කාලේ මේ ආණ්ඩුකාරයාගේ ගෙදරත් එක්ක මේ වීදියේ තිබිලා තියෙන්නේ හරිම නිස්කලංක බවක්. දැන් ඉතින් හරිම කලබලකාරී....’   
වීදියේ සැරිසරන අතරතුර මුණ ගැසුන රිෆාඩ් පැවසීය.   


ඕලන්ද ආණ්ඩුකාර තෝමස් වෑන් රී සිය නිල නිවාසය ලෙස ඉදිකළ මෙම ගොඩනැගිල්ල සිය නිල කාලය අවසන් වීමත් සමඟ ඕලන්ද පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) වෙත විකුණා ඇති අතර ඉන්පසුව අනත්දරු නිවාසයක් හා දෙව්සත්හලක් ලෙස ලංකාවේ ඕලන්ද පාලන කාල පරිච්ඡේදය අවසානය තෙක්ම එනම් 1796 දක්වා පවත්වා ගෙන ගොස් ඇත.   


අනතුරුව බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙම ගොඩනැගිල්ල හමුදා රෝහලක්, යුදඅවි ගබඩාවක්, පොලිස් පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ද අවසානයේ පිටකොටුවේ තැපැල් කාර්යාලය හා විදුල සන්දේශ මධ්‍යස්ථානයේ කොටසක් ලෙස මෙම ගොඩනැගිල්ල පවත්වාගෙන ගොස් තිබේ.   


පසුකාලීනව මෙම ගොඩනැගිල්ලේ කෞතුක වටිනාකම සැලකිල්ලට ගනිමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතට පවරා ගත් අතර 1982 ජූලි 10 වැනි දින සිට ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ‘යුග කෞතුකාගාරයක්’ වශයෙන් හා ‘එළිමහන් කෞතුකාගාරයක්’ වශයෙන් මහජන ප්‍රදර්ශනයට විවෘත කර ඇත.  ලන්දේසි හමුදාව භාවිතා කළ අවි ආයුධ මැදිරිය මෙහි තවත් සුවිශේෂි අංගයකි. ලන්දේසි යුගයේ භාවිතා කළ කාලතුවක්කු සහ කඩු කස්තාන සහ සෙසු අවි ආයුධ මෙම යුගයේ භාවිතා කළ ආයුධ අතර ප්‍රධාන වේ.   


ඒ අතර ශ්‍රී ලංකාවේ ඕලන්ද පාලන යුගයේ උඩරට රාජධානියේ පැවැති සංස්කෘතික හා කලා ශිල්ප පිළිබඳ මනා අවබෝධයක් ලබාගත හැකි පරිදි රිදියෙන් හා පබළුවලින් නිර්මිත ආභරණ ආදී කලා භාණ්ඩ රැසක් ද ඕලන්ද ජාතික ඇඳුමින් සැරසුණු ඕලන්ද ජාතික යුවළගේ අනුරුවක් ද තැන්පත් කර ඇත.   
ඕලන්ද පාලන සමයෙන් අපිට ලැබුණු දෑ බොහෝය. ඒ බොහෝ දේ අපට අමතකය. එහෙත් ඔවුන්ගෙන් අපට ලැබුණු අමතක කළ නොහැකි දායාදයක් ඇත. ඒ අන් කිසිවක් නොව මුද්‍රණ තාක්ෂණයයි.   


ලන්දේසි බල ව්‍යෘප්තිය සඳහා අවශ්‍ය මෙවලමක් ලෙස මුද්‍රණ යන්ත්‍රය මෙරටට හඳුන්වා දුන්නද, පසුකාලීනව අවසාන යටත් විජිත පාලකයන් වූ බ්‍රිතාන්‍යයන් පලවා හැරීම සඳහා දියත් කෙරණු නිදහස් අරගලයේ ප්‍රමුඛ භූමිකාවක් නිරූපණය කළ. ‘සිංහල පුවත්පත්’ බලවේගය ගොඩනැගෙන්නේ ලන්දේසි ජාතිකයන් ලංකාවට හඳුන්වා දුන් මුද්‍රණ යන්ත්‍රයේ සහ මුද්‍රණ තාක්ෂණයේ දිගුවක් ලෙසටය.   


එබැවින් 1983 වකවානුව වන විට මෙම කුමාර වීදියේ රජ කළේ කඩදාසි නාඩර්ලාය. ජාත්‍යාලයෙන් ඔද වැඩුනු අපේ ඊනියා දේශප්‍රේමීන් මෙම කුමාර වීදියේ කඩදාසි ස්ටෝරුවලට තැබූ ගින්න ඕලන්ද කෞතුකාගාරයේ වහලය දක්වා පැතිර ගිය අතර එය නිවා දමා ඇත්තේ කෞතුකාගාරයේ වහලයේ කොටසක්ද කඩා දමමින්. කෙසේ වෙතත් අදටත් මේ වීදියේ එක් කොනක රජ කරන්නේ කඩදාසිය. පිටකොටුවේ කුමාර වීදියේ කඩදාසි, ෆැන්සි පේපර්ස් පිළිබඳවත් වසර ගණනක සිට මේ ව්‍යාපාරයේ යෙදෙන ප්‍රවීණ රංගන ශිල්පී ලක්ෂ්මන් මෙන්ඩිස් මහතා සමග ද අප කතාබහ කළෙමු.   


කඩදාසි වැඩියෙන්ම ආනයන කරන්නේ බෝරා ජාතිකයෝ. ඒ වගේම නවසිය හැට ගණන්වල ද්‍රවිඩ ජාතිකයනුත් කඩදාසි ආනයනය කරන්න පටන් ගත්තා. කුමාර වීදියේ කඩදාසි කාඩ්බෝඩ් වෙළෙඳසැලක් මුලින්ම ආරම්භ කරන්නේ මගේ පියා. ඒත් එක්කම තවත් වෙළෙඳසැලක් තිබුණා. කුමාර වීදියේ කඩදාසි ව්‍යාපාරය මහා විශාලයට තිබුණේ නැහැ. හැබැයි කුමාර වීදියේ කඩසාප්පු හරිම ගණන්. මේ නිසා ඒ යාබදව තියෙන මයුරි ලේන් එකේ වෙළෙන්දෝ සම්පූර්ණ වත්තෙම දැම්මා කඩදාසි කඩ. අදටත් එහෙමයි ඒ වීදිය. අදටත් ලංකාවට කඩදාසිය, කාඩ්බෝඩ් ගේන අයගෙන් ප්‍රසිද්ධ බෝරා ජාතිකයෝ. මගේ තාත්තා පිටකොටුවට එන්නේ නවසිය තිස්ගණන්වල ඇවිල්ලා ලංකා සමසමාජය පක්ෂය බිහිවෙන්න ප්‍රධාන වෙන්නේ පිටකොටුව. ඇන්.ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, පිලිප් ගුණවර්ධන, මගේ පියා එකතුවෙලා ලංකාවේ පළමුවෙනි සර්ව සමිතියෙන් විදිහට පිහිටවන්නේ පිටකොටුව තරුණ සමිතිය. මගේ පියා තමයි එහි නායකත්වය දැරුවේ. එතකොට පිටකොටුව කුමාර වීදියේ තාත්තාගේ කඩේ තිබුණ කිට්ටුව තමයි ලංකාවේ සමසමාජ පක්ෂයේ පළමු පක්ෂ කාර්යාලය ආරම්භ කරන්නෙත්.   


තාත්තා මට කියලා තියෙනවා ඒ කාලේ ඉන්දියාවේ ඉඳලා ලංකාවට කම්කරුවෝ ආවලු‍. කාලයක් ඒ අයව කල්ලතෝනියෝ කියලා එලෙව්වලු‍. කේරලේන් මලයාලි කම්කරුවෝ රුවල් ඔරු වලින් ඇවිල්ලා ලංකාවේ නතර වුණාලු‍. ඒ අය හරිම ආසයිලු‍ ලංකාවේ රැකියාවන් කරන්න. ඉතින් ඒ කාලේ හරිම පිරිසිදුයිලු‍. ගල් අල්ලලා හරියට ටයිල් අල්ලලා වගේලු‍. ඉතින් මේ මලයාලි කම්කරුවෝ රෑට පණු කැලැත්ත වගේ එකාට එකා බදාගෙන රොත්ත පිටින් නිදාගන්නේ මේ කුමාර වීදියේ කියලා මගේ පියා කියලා තියෙනවා.   
මේ පිටකොටුව වීදි කියන්නේ හරි ලස්සන කතා ගෙතුන සුද්දන් අදටත් හොල්මන් කරන හරි අපූරු තැනක්. 

ඕලන්ද කෞතුකාගාරය

 
යුගයෙන් යුගය විවිධ ව්‍යාපාරවලට ජනප්‍රිය වූ කුමාර වීදියේ අද වැජඹෙන්නේ සෙල්ලම්බඩු, සපත්තු හදන ද්‍රව්‍ය, ලෙදර් ද්‍රව්‍ය, ඇස්කණ්ණාඩි, රූපලාවාන්‍ය ද්‍රව්‍ය, තොග වශයෙන් විකුණුම් සඳහා ඇති වෙළෙඳ සැල්ය. එකපෙළට එකම වීදියක නානාවිධ දේවල් දක්නට ලැබෙන කුමාර වීදියේ විවිධ ටෝයිස්, සෙල්ලම්බඩු වලට ඇත්තේ සුවිශේෂි තැනකි.   
“මගේ නම මොහොමඩ් ජිෆ්රි. මම මේ වීදියේ අවුරුදු 50ක විතර ඉඳලා ඉන්නවා. මේ වීදියේ ගොඩක් තිබුණේ සුද්දගේ කාලේ ඉඳලා තිබුණ ගොඩනැගිලි. පස්සේ පස්සේ අලු‍ත් අලු‍ත් කඩවල් ගොඩනැගිලි හැදුණා. ඉස්සර මේ විදියේ කඩ තිබුණේ බොහොම ටිකයි. එක කාලෙකදී ෆැන්සි කඩ වලට ලොකු තැනක් තිබුණා. දැන් ලොකු ඉල්ලු‍මක් තියෙන්නේ සෙල්ලම්බඩුවලට. පිටකොටුවේ වීදි අතරින් දිගම වීදියක් විදිහට කුමාර වීදිය හඳුන්වන්න පුළුවන්. ඉස්සර ව්‍යාපාර හොඳටම හොඳයි. දැන් නම් බිස්නස් ගොඩක්ම අඩුයි. ඉස්සර ඔරිජිනල් බඩු තමයි තිබුණේ. බය නැතුව දෙන්න පුළුවන්. ඒත් දැන් ලෝකල් බඩු වැඩියි.”   


පුංචි පුංචි ව්‍යාපාර පටන් ගන්නව නම් තොග වශයෙන් ෆැන්සි බඩු, සපත්තු හදන අමුද්‍රව්‍ය, ඇස්කණ්ණාඩි ෆ්රේම්, සෙල්ලම්බඩු මේ කුමාර වීදියට ආවොත් අඩු මුදලකට ලබාගන්න පුළුවන්.

 

සටහන :
නදීශා අතුකෝරළ
ඡායාරුප : චානුක කුලසේකර